'වැඩිහිටි ස්ථුලභාවය සඳහා මූලික අත්තිවාරම යෙදෙන්නේ ළමා කාලෙදි'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, අමන්දා අබේසූරිය
- Role, බීබීසී සිංහල
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මොරිටේනියාවේ කාන්තාවන් සහ දැරියන් පමණක් පිළිපදිනා එක්තරා විශේෂ චාරිත්‍රයක් වෙයි.
ඒ, ශරීරය තරබාරුකර ගන්නා අරමුණින් දිනකට කීප වරක් අධිපෝෂිත ආහාර ලබාගැනීම ය. එරට සය හැවිරිදි දැරියකට දිනකට බටර් කෝප්ප දෙකක් හා මිශ්‍ර කළ කුරක්කන් කිලෝ දෙකක් සහ ඔටු කිරි ලීටර 20ක් බලහත්කාරයෙන් අනුභව කරවීම සාමාන්‍ය සිරිතකි.
අති දරිද්‍ර රාජ්‍යයක් වන මොරිටේනියාව තුළ රූමත්බවේ හා ධනවත්බවේ සංකේතය ලෙස සැලකෙන්නේ තරබාරුභාවය නිසාවෙන්, එරට දැරියන්ට වඩාත් හොඳ ස්වාමි පුරුෂයෙකු සොයාදෙන අටියෙන් දෙමාපියෝ ඔවුනට බලහත්කාරයෙන් කෑම කන්නට දෙති. මෙනිසා මොරිටේනියාවේ කාන්තාවන්ගෙන් 50%ක් පමණම තරබාරු බවින් හා ස්ථුලතාවෙන් පෙළෙයි.
නමුත් එවැනි කිසිත් චරිත්‍රයක් පිළි නොපදින ශ්‍රී ලංකාවේ ද කාන්තා ජනගහණයෙන් 48%කට ආසන්න පිරිසක් අධිබරින් යුක්ත ය. ලාංකික පුරුෂයින් අතරින් ද 30%ක් පමණ දෙනා අධිබරින් හා ස්ථුලතාවෙන් පෙළෙති.
ස්ථුලතාව බරපතල සෞඛ්‍යමය ගැටලුවක්බවට පත්ව තිබෙන්නේ එය දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය, පිළිකා හා ඇතැම් ශ්වසන රෝග වැනි බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාව විශාල වශයෙන් ඉහළ නංවන බැවිනි.
එනමුත් ස්ථුලතාව සඳහා ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වලින් නොමිලයේ ප්‍රතිකාර ලබාගත හැකි වග බොහෝදෙනා නොදනිති.
පෝෂණ වෛද්‍ය විශේෂඥ රේණුකා ජයතිස්ස, ලංකාවේ අධික ස්ථුලතාවට ප්‍රධානම හේතුවක් ලෙස දක්වන්නේ, අතීතයේ ආහාර රටාව එලෙසම අනුගමනය කරනවා විනා වර්තමානයට සරිලන ලෙස ආහාර වේලක සංයුතිය වෙනස් නොවීම ය.
බත් කන්දක් අනුභව කිරීමේ මානසිකත්වය
වර්තමානයේ ශ්‍රී ලංකාවේ බහුතර ජනයා ක්‍රියාශීලී නොවන දිවියක් ගත කරයි. නමුත් අපි අතීත ලාංකිකයා ශරීරය වෙහෙසවා ජීවිකාව සරිකරගත් සමයේ අනුගමනය කළ ආහාර රටාව තවමත් එලෙසින්ම පිළිපදිමු. ශ්‍රී ලාංකිකයින් අතර තරබරු බව වැඩිවීමට ප්‍රධාන හේතුව මෙය බව විශේෂඥ වෛද්‍යවරිය දකියි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"මොකද අපි ඔලුවට අරගෙන තියෙන්නේ බත් ගොඩාක්, 90%ක් බත් කාලා ඉතිරි [වැංජන] ටික තේ හැඳි ප්‍රමාණවලින් කන්න කියලා. දැන් ඒ කන්සෙප්ට් එක වෙනස් වෙන්න ඕනේ අලුත් ජීවන රටාව එක්ක යන්න නම්. අලුත් ජීවන රටාව එක්ක යන්න නම් බත් සාමාන්‍යයෙන් පිඟානෙන් බාගෙකටවත් අවම කරන්නම වෙනවා. ඉතිරි ඒවා එළවළු වගෙ ආහාරයට ගන්න ඕන. ඉතින් ඒ තත්ත්වෙට තවම ලංකාව ඇවිත් නෑ."
"ඉතින් මේක හින්දා තමයි, තාමත් අර බත් [ගොඩක්] කන මානසිකත්වයෙන් ඉන්න හින්දා තමයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ," විශේෂඥ වෛද්‍ය ජයතිස්ස පැවසුවා ය.
එසේම, තමාගේ බර ගැන තමා තුළ කිසිදු සැලකිල්ලක් නොමැතිවීම ද ස්ථුලභාවය සම්බන්ධයෙන් ලංකාව තුළ ඇති විශාලතම වැරැද්ද ලෙස ඇය දකියි.
"හුඟක් වෙලාවට, දරුවෙක් විදියට බර බැලුවට පස්සෙ වැඩිහිටියෙක් වුණාම තමන්ගේ බර කීයද කියලවත් තමන් දන්නේ නෑ. මං හිතන්නේ මේ යන [ජීවන] රටාවත් එක්ක හැම පුද්ගලයෙකුම අවුරුද්දට සැරයක් තමන්ගෙ බර බලාගෙන, තමන් ඉන්නේ මොන මට්ටමේ ද කියලා බලාගන්න එක වැදගත්," ඇය පැවසුවා ය.
"අපි අවුරුද්දට සැරයක් බර බැලුවොත්, අපේ බරේ වැඩිවීමක් තියෙනව නම් අපට ඒක අඩුකර ගන්න ලේසියි. මොකද කිලෝග්‍රෑම් දෙකක්, තුනක්, පහක් විතර අඩුකර ගන්න ලේසියි. නමුත් මේක කිලෝග්‍රෑම් විස්ස, තිහ, පනහ වුණොත් අඩුකර ගන්න අමාරු යි. ඉතින් පළවෙනි එක තමයි මේක වළක්වාගැනීම."
"දෙවැනි එක තමයි, අධිබර හා ස්ථුල අයට දැන් තියෙනවා ප්‍රතිකර්ම. ඒ ප්‍රතිකර්ම ලබාගැනීම ඉතාම වැදගත්. ප්‍රතිකර්ම කියන්නේ ඉන්ජෙක්ෂන් තියෙනවා, පෙති තියෙනවා, කරන්න පුළුවන් සැත්කම් තියෙනවා," වෛද්‍යවරිය පැවසුවා ය.
"ස්ථුලතාව නිකන්ම නිකන් එකක් කියලා සළකලා හිටියොත් තමයි අපට ඒකෙන් එන දියවැඩියාව හා අනිත් ඔක්කොම රෝග තත්ත්වවලට ගොදුරුවෙන්න තියෙන හැකියාව වැඩිවෙන්නේ."

පොඩි ළමයි මහත් කරන්න එපා!
"ලංකාවේ සාමාන්‍යයෙන් 'චබී' බබාලට ලොකු කැමැත්තක් දක්වනවනෙ. 'චබී බබාලා' කියන අය එච්චර සෞඛ්‍ය සම්පන්න ළමයි නෙවෙයි," විශේෂඥ වෛද්‍ය ජයතිස්ස ප්‍රකාශ කළේ ළමා ස්ථුලතාව සම්බන්ධයෙන් අප ඇසූ පැනයක් අරඹයා ය.
ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ මහාචාර්ය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ පසුගිය දා ස්ථුලතාව සම්බන්ධයෙන් සිදුකළ මාධ්‍ය හමුවක දී මෙසේ ප්‍රකාශ කළේ ය: "වැඩිහිටි ස්ථුලභාවය සඳහා මූලික අත්තිවාරම යෙදෙන්නේ ළමා කාලයෙදි. ළමා කාලයෙ ඇතිවෙන ස්ථුලභාවයෙන් 75%කට වඩා වැඩි පිරිසක් වැඩිහිටියන් ලෙස ස්ථුලභාවයට පත්වෙනවා. එතකොට ස්ථුලභාවය හා බැඳුනු විවිධ රෝග තත්ත්වයන් ඇතිවීම ආරම්භ වෙන්නේ වැඩිහිටි අවධියෙ දී නෙවෙයි, තමා ස්ථුලභාවයට පත්වූ අවස්ථාවෙ ඉඳලා."
"ළමා අවස්ථාවේ තියෙන ස්ථුලභාවය 75%ක්, 80%ක් පමණ ප්‍රමාණයකට නැවත යථා තත්ත්වයක තියෙන පෝෂණ තත්ත්වයකට පත්වෙන්න බැහැ. මොකද ඔවුන්ගේ තැන්පත් වෙන මේද ප්‍රමාණයට වඩා, මේද සෛලවල යි වැඩිවීමක් වෙන්නේ අවුරුදු 20කට වඩා අඩු දරුවන්ගෙ. එතකොට ඒ මේද සෛල ප්‍රමාණය අරන් දානවා මිසක්, ඒ මේද සෛල ව්‍යායාම තුළින්වත්, ආහාර පාලනය තුළින්වත් අඩු කරන්න පුළුවන් කමක් නැහැ," මහාචාර්යවරයා පැවසීය.
දරුවන්ගේ දිවියේ එක් එක් වයස් අවධිවල දී නිවැරදි පෝෂණය නොලැබුණු විට දරුවාගේ වර්ධනය බාල වේ. මෙය බර අඩුවීම සහ උස අඩුවීම යන දෙයාකාරයෙන්ම පිටතට පෙන්නුම් කරයි.
තරබාරුබව සම්බන්ධයෙන් ගත්කළ වඩාත්ම වැදගත් වන්නේ මේ උස අඩුවීමේ තත්ත්වය බව වෛද්‍ය ජයතිස්ස පැවසුවා ය. ලංකාවේ දරුවන්ගෙන් 15%ක් මෙම තත්ත්වයෙන් පෙළෙනබව ඇය සඳහන් කළාය.
"මේ දරුවන්ට වයසට නිසි උස නැහැ. එතකොට මේගොල්ලන්ට කන්න පුළුවන් [ආහාර] ප්‍රමාණය අවම යි. මෙයාලා අනිත් ළමයි තරම් ගොඩාක් කෑවොත් මේගොල්ලො ඉතාමත් ඉක්මණින්ම ස්ථුලභාවයට පත්වෙන්න තියෙන හැකියාව වැඩියි."
සම වයසේ දරුවන් දෙදෙනෙකු එකම ප්‍රමාණයන්ගෙන් ආහාර අනුභව කළත්, ඉන් එක් දරුවෙකු වයස් මට්ටමට නොගැලපෙන සේ මිටි නම් ඔහු ස්ථුලතාවට ගොදුරුවීමේ වැඩි අවදානමක් පෙන්වයි.
"අපි හුඟක් වෙලාවට උස ගැන සැළකිලිමත් වෙන්නේ නැහැ. උස කියන එක හරිම වැදගත්. උස තියෙනවා නම්, උසට නිසි බරක්නේ පවත්වාගෙන යන්න ඕන. ඒ බර පවත්වාගෙන යෑමේ දී [උස ළමයෙකුට] මිටි ළමයෙකුට වඩා ආහාර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ නිසා මිටිබව අඩුකර ගන්න එක හරිම වැදගත්."
"විශේෂයෙන්ම උස යන එක ගැන ගොඩක් අවධානය යොමුකර ගත්තොත් අපට හුඟක් වෙලාවට මේ ස්ථුලභාවය දරුවන් අතර අඩුකර ගන්න හැකියාවක් එනවා," වෛද්‍යවරිය පැවසුවා ය.
ලාංකික කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් තරබාරුකමෙන් පෙළෙයි
බෝ නොවන රෝග හා සම්බන්ධ අවදානම් සාධක හඳුනාගැනීම සඳහා 2021 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලංකාවේ පුරුෂයින්ගෙන් 30%ක් අධිබර හා ස්ථුල ගණයට වැටෙයි.
ලාංකික කාන්තාවන් අතර මෙම ප්‍රතිශතය 47.6%කි.
වඩාත් සරලව කිවහොත්, මඟතොටේ දී ඔබට හමුවන සෑම පුරුෂයින් තිදෙනෙකුගෙන්ම එක් අයෙකු ද, සෑම කාන්තාවන් දෙදෙනෙකුගෙන්ම එක් අයෙකු ද තරබාරු තැනැත්තන් ය.
"[එක්තරා කාන්තාවක්] තරුණ කාලේ බොහොම ලස්සනට, රූසපුව ඇතුව ඉන්නවා. ඊළඟට බබෙක් හම්බෙනවා. පළවෙනි බබා හම්බවෙනකොට එයාගෙ බර වැඩි වෙනවා. දෙවැනි බබා හම්බවෙනකොට තවත් [බර] ඩබල් වෙනවා. ඊට පස්සෙ මෙයාගේ රූසපුව එහෙමත් අඩුවෙනවා. එතකොට මොකද වුණේ? හස්බන්ඩ් යනවා වෙන ගෑණුකෙනෙක් එක්ක. එතකොට මෙයාට තවත් අප්සෙට්. සමහර වෙලාවට ස්ට්‍රෙස් වැඩිකමට තවත් කන්න පටන්ගන්නවා. එතකොට තවත් මහත්වෙනවා."
"ඒ වගේම මේකත් එක්ක මොකද වෙන්නේ? දියවැඩියාව හැදෙන්න පටන්ගන්නවා. අනිවාර්යයෙන්ම පළවෙනියෙන්ම එනවා දියවැඩියාව. ඊළඟට එනවා තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්නෙ... අනිත් එක කාන්තාවන්ට එන ලොකුම ගැටලුව තමයි පියයුරු පිළිකාව හැදෙනවා. පියයුරත් නැතුව තමයි ඊළඟට ඉන්න වෙන්නේ," වෛද්‍යවරිය ඇයට මුණගැසුණු රෝගියෙකුගේ කතාවක් අප හා බෙදාගනියි.
පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ බර වැඩිවීම අධිකවී ඇත්තේ හේතු කීපයක් නිසාබව වෛද්‍ය ජයතිස්ස අප වෙත විස්තර කළා ය. වයස අවු. 40න් පසු කාන්තාවන්ගේ ආර්තවහරණය (ඔසප් නැවතීම) සිදුවන සමයේ සිරුර තුළ ඇතිවන හෝමෝනමය වෙනස්කම් ඉන් එක් හේතුවකි.
තවත් ප්‍රධාන හේතුවක් නම් ගර්භනී සමයේ දී හා ඉන්පසු පිළිපදින වැරදි ආහාර රටා ය.
"මොකද අපේ මතයක් තියෙනවා 'බබෙක් හම්බවෙනකොට දෙන්නෙකුට විතර කන්න ඕනේ' කියලා. එතකොට සමහර වෙලාවට බබා ලැබෙන්න කලිනුත් එයා අධිබරෙන් ඉන්න අම්මා කෙනෙක් නම්, අර විදියට දෙගුණයක් කෑවම එයා තවත් තදබල විදියට ස්ථුලතාවයට පත්වෙනවා... ඊට පස්සෙ කිරි දෙන කාලෙත් අපේ [අදහසක්] තියෙනවා 'කිරි දෙන්න නම් දෙගුණයක් කන්න ඕනෙ' කියලා. ඉතින් එතකොට ඒවා හින්දා තවත් තරබාරු බව වැඩිවෙනවා."
"අපි හුඟක් දැකලා තියෙන්නේ, කාන්තාවන්ගෙ මේ තත්ත්වය ඇතිවෙන්නෙ දරු ප්‍රසූතියෙන් පස්සෙ. හැම දරු ප්‍රසූතියකටම පස්සෙ ලොකු බර වැඩිවීමක් සිද්ධවෙනවා."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
තරබාරුකම පාලනයකර ගැනීම සඳහා රජයේ රෝහල්වල ප්‍රතිකාර තිබේ
ස්ථුලතාව රෝගයකි. මේ සඳහා රජයේ සෞඛ්‍ය සේවය හරහා ප්‍රතිකාර ලබාගැනීමට ඔබට හැකි ය.
"අපි ක්ෂේත්‍රයේ ඉඳන්ම මේ සඳහා සායන පවත්වනවා. ෆීල්ඩ් එකේ තියෙනවා 'සුවදිවි සායනය' කියලා එකක්. එතකොට මේ ක්ලිනික්වල දී ඔය උස, බර මැනලා, වර්ගීකරණය කරලා, කොතැනට ද යන්න ඕනේ කියන එක තීරණය කරනවා... මෙයා සර්ජරි කරන්න ඕනේ කෙනෙක් ද, මෙයා ප්‍රතිකාර ලබාගන්න ඕනේ කෙනෙක් ද, එහෙම නැත්නම් සාමාන්‍ය උපදෙස්වලින් බර අඩුකර ගන්න පුළුවන් කෙනෙක් ද කියලා තීරණය කරනවා එතන දී. ඊට අමතරව 'පෝෂණ සායන' කියලා තියෙනවා රෝහල්වල," වෛද්‍ය ජයතිස්ස සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල (MOH) බල ප්‍රදේශයකම අවම වශයෙන් එක් සුවදිවි සායනයක් පැවැත්වෙයි. රට පුරා මෙවැනි සුවදිවී මධ්‍යස්ථාන 1000ක් පමණ පිහිටුවා තිබේ. ඒ පිළිබඳ තොරතුරු ඔබට ඔබේ ප්‍රදේශයේ MOH කාර්යාලයයෙන් ලබාගත හැකි ය.
සුවදිවි සායන ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන, ප්‍රාදේශීය රෝහල් හා දිස්ත්‍රික් රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක ය.
මීට අමතරව රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළුව රජයේ ප්‍රධාන රෝහල්වලින් ද ස්ථුලතාව සම්බන්ධ උපදෙස් හා ප්‍රතිකාර ලබාගත හැකි ය.
කාන්තාවන් මෙවැනි සායන සඳහා යොමුවීමට පෙළඹුනත්, පුරුෂයින් ඊට මැළිකමක් දක්වන වග පෙනී යන්නේයැ යි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කරයි. නමුත් වයස අවුරුදු 35ට වැඩි සියලුම තැනැත්තන් අනිවාර්යයෙන් මෙම සේවාවන් ලබාගැනීම කළ යුතුබව රජයේ නිර්දේශය යි.
එසේම, ඔබේ පවුලේ සාමාජිකයින්ට දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා රෝග, වකුගඩු රෝග ආදිය තිබුණේ නම් ඔබ වයස අවු. 20 - 34 අතරේ සිටිය ද සුවදිවි මධ්‍යස්ථාන වෙත යොමුවී අවදානම කල්තබා හඳුනාගැනීම යෙහෙකි.












