ඉංග්‍රීසි මොඩියුලයේ අර්බුදය මැද 6 ශ්‍රේණියේ ඉගැන්වීම් ආරම්භ කරන්නේ කෙසේ ද?

හරිනි අමරසූරිය අස්ගිරි මහ නායක හිමියන් හමුවූ අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Harini Amarasuriya

    • Author, බීබීසී සිංහල

වත්මන් රජය විසින් හඳුන්වා දෙනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අංගයක් වන පාසල් දරුවන්ගේ විෂය මාලා මොඩියුලවල ගැටලු පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක 6 ශ්‍රේණියේ පළමු පාසල් වාරය ජනවාරි 21 වන දා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

කෙසේ වෙතත්, 6 වසර ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නාමයක් සඳහන් වී ඇති බව අනාවරණය වීමෙන් පසුව වෙනත් විෂයයන්වල මොඩියුලවල ඇති ගැටලු ද සමාජ මාධ්‍ය ඔස්සේ මතු කරනු දක්නට තිබේ.

මෙවන් ගැටලු පවතින පසුබිමක 6 ශ්‍රේණියේ මෙන් ම අලුතින් දරුවන් පාසලට ඇතුළත් වන 1 ශ්‍රේණියේ ඉගැන්වීම් ආරම්භ කරන ආකාරය පිළිබඳව බීබීසී සිංහල සේවය කරුණු සොයා බැලී ය.

'ඒ පාඩම අයින් කරනවා'

මෙම සිදුවීම සම්බන්ධව මූලික විමර්ශනයක් සිදුකිරීම සඳහා රාජ්‍ය සේවයේ හිටපු විශ්‍රාමික ලේකම්වරයෙකු වන රංජිත් ආරියරත්න පත් කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජනවාරි 07 වන දා පාර්ලිමේන්තුවේදී පැවසුවා ය.

එමෙන් ම එම පාඩම මොඩියුලයෙන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයෙන් අවසරය හිමි වූ බව ද අගමැතිවරිය එහිදී සඳහන් කළා ය.

"මේ සිද්ධිය වාර්තා වූ වහා ම මම කලින් සඳහන් කළ විදියට සීල් කළා, ඒ පොත ළමයින්ට බෙදලා නෑ. ඒ පොතේ ඒ ලෙසන් එක අයින් කරන්නත් ඊයේ අපිට ජාතික අධ්‍යාපන ආයතනයේ ඇකඩමික් ඇඩිවයිසරි බෝර්ඩ් එකේ අනුමැතිය ලැබුණා. එතකොට ඒ පාඩම අයින් කරනවා."

ආගමික වතාවත්වල නිරත වන පාසල් දරුවන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'පාඩම ඉවත් කරලා ඒ පොත නැවත පිළියෙල කරනවා'

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැවගෙන් කරන ලද විමසීමේදී ඔහු සඳහන් කළේ, මතභේදයට තුඩු දී තිබූ කොටස ඉවත් කිරීමෙන් අනතුරුව 6 ශ්‍රේණියේ මොඩියුල ළමුන්ට ලබා දීම වෙනුවෙන් පාසල්වලට බෙදාහැරීම ආරම්භ කර ඇති බව ය.

"ගැටලුසහගත පාඩම ඉවත් කරන්න කියලා අපිට නිර්දේශයක් ලැබිලා තියෙනවා. ඒ පාඩම ඉවත් කරලා ඒ පොත නැවත පිළියෙල කරනවා."

එමෙන් ම වෙනත් මොඩියුලවල ඇති ගැටලු පිළිබඳව ද බීබීසී සිංහල සේවය අමාත්‍යංශ ලේකම්වරයා ගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ, "අපි ඔක්කොම චෙක් කරනවා. ඒවායේ නිවැරදි වෙන්න ඕන තැනක් තිබුණොත් ඒවා නිවැරදි කරන," බව ය.

එමෙන් ම පාසල් දෙවන වාරයේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය මොඩියුල සකස් කරමින් තිබෙන බව පැවසූ නාලක කළුවැව ප්‍රකාශ කළේ, දෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර ඒවා ලබා දීමට කටයුතු කරන බව ය.

පාසල්වලට අලුතින් සිසු සිසුවියන් බඳවා ගන්නා 1 ශ්‍රේණියේ පළමු පාසල් වාරය ජනවාරි 29 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය මොඩියුල ද පාසල් ආරම්භ වූ පසුව ලබා දෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන කටයුතු අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ ය.

'මුලින් ම පිටු ගලවනවා කිව්වා, දැන් පාඩම අයින් කරනවා කියනවා'

"මේගොල්ලෝ දැන් ඉන්නේ කෙසේ හෝ මේක කරනවා කියන තැන නේ. දැන් මේ මොඩියුලේ මුලින් ම කිව්වා පිටුව ගලවනවා කියලා. පාර්ලිමේන්තුවේ ඊයේ කියනවා පාඩම අයින් කරනවා කියලා," බීබීසී සිංහල සේවය වෙත අදහස් පළ කරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් චෝදනා කළේ ය.

එමෙන් ම ඇතැම් මොඩියුල තුළ ඇති QR කේත ක්‍රියාත්මක නොවන බව ද ඔහු පැවසීය.

"පෙරදිග සංගීතය කියලා මොඩියුල් එකක් තියෙනවා, ඒ මොඩියුල් එකේ තියෙන QR කෝඩ්ස් වැඩ කරන්නේ නැහැ. QR කෝඩ් එවනවා ලු කපලා අලවන්න ගුරුවරුන්ට. ඒ වගේ විවිධ ප්‍රශ්න තියෙනවා මේකේ."

මෙම මොඩියුල ආරම්භ කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීම නිසා ඒවා සපයා ගැනීමට ඇතැම් විදුහල්වලින් දෙමාව්පියන්ගෙන් මුදල් ලබා ගනිමින් සිටින බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ ය.

'මාස කිහිපයක් ළමයි පීඩා විඳිනවා'

නියමු ව්‍යාපෘතියක් සිදුනොකර අධ්‍යාපන අමාත්‍යංශය මොඩියුල් ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන අතරතුර අඩුපාඩු සකස් කිරීමට උත්සහ කිරීමෙන් දරුවන් පීඩාවට පත්වන බව ඔහු පවසයි.

"මේවා කලින් කරලා පටන් ගන්න නේද ඕනේ. මේකෙ පේනවා අඩුපාඩු ගොඩක් තියෙනවා, ඒ අඩුපාඩු යනකොට තමයි හදන්න යන්නේ. එතකොට මාස කිහිපයක් ළමයි පීඩා විඳිනවා. මොඩියුල් දාලා තියෙන්නේ මාස තුනකට, ඊට පස්සේ තියෙන මොඩියුල් දාන්නත් ඕනේ, 7 වසරේ ඉඳන් මොඩියුල් පටන් ගන්නත් ඕනේ, කොහොම ද මේවා කරන්නේ? මේවා සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් එක්ක කරන්න ඕනේ."