අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාවේ සුවිශේෂී කරුණු 7ක්

අනුර

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Parliament

    • Author, බීබීසී සිංහල

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සමාජයේ විවිධ මතවාද නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහා බ්‍රහස්පතින්දා (ජූලි 24) පාර්ලිමේන්තුවට පැමිණියේ ය.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අරමුණ පිළිබඳව ඔහු එහිදී පැහැදිලි කළේ ය.

ඔහු කළ කතාවේ විශේෂ කරුණු 7ක් මෙහිදී ඉදිරිපත් කෙරේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය

1. පවතින 'අධ්‍යාපන ක්‍රමය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ'

පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳවත්, එම අධ්‍යාපන ක්‍රමය හරහා බිහි වී ඇති තරුණ පරම්පරාව පිළිබඳවත් සෑහීමකට පත්විය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ය.

"මේ අධ්‍යාපන ක්‍රමයත්, මේ අධ්‍යාපන ක්‍රමය විසින් බිහි කර තිබෙන තරුණ පරම්පරාවත්, ඒ වගේ ම මේ අධ්‍යාපන ක්‍රමය විසින් ඇති කර තිබෙන ආර්ථිකයත් පිළිබඳ අප කිසිවෙකුට සෑහීමකට පත් විය නොහැකියි. ඒ නිසා අපට ඉතා පුළුල් අධ්‍යපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය යි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාව මතු වන විට ඉතිහාසය ඇතුළත් වෙලා තිබෙනවා ද? නැද්ද? වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කරන්න ගත්තා. ඇත්තට ම මේ යෝජනා කරන්නේ කිසිසේත් ම විෂය නිර්දේශ පිළිබඳව පමණක් වූ සංශෝධනයක් නොවෙයි."

එහිදී ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව වැනි රටක ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ගත යුතු සුදුසු ම පියවර මානව සම්පත සංවර්ධනය කිරීම බව ය.

2. 'ළමුන් 50ට අඩු පාසල් 1506ක්.'

වසර 13ක පාසල් අධ්‍යාපනය නිම නොකර අතරමැද පාසල් අධ්‍යාපනය අත්හැර දමන දරුවන් සහ අවම සිසුන් සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් සම්බන්ධයෙන් සංඛ්‍යා දත්ත ද ජනාධිපතිවරයා අනාවරණය කළේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එහිදී ඔහු ප්‍රකාශ කළේ, 2024 වසරේදී ළමුන් 20,755ක් පාසල් හැරගොස් ඇති බව ය.

මේ අතර, 2011 වසරේදී පළමු වසරට ළමුන් 358,596 දෙනෙකු ඇතුළත් කර ඇතත්, 2021 වසරේදී ඔවුන් අතරින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ, ළමුන් 311,000ක් පමණක් බව මෙහිදී අනාවරණය කෙරිණි.

ඒ අනුව, දරුවන් 47,596 දෙනෙකු අතරමගදී පාසල් හැරගොස් තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පළමු වසරට ඇතුළත් වන සෑම දරුවෙකුට ම වසර 13ක අධ්‍යාපනය අනිවාර්යයෙන් ලබා දීමත්, කිසිදු දරුවෙකු පාසල් හැර නොයාමට වග බලා ගැනීමත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අරමුණක් වන බව ය.

"එක් අර්බුදයක් තමයි අපේ දරුවන් පාසල් හැර යාම. ආසන්න වශයෙන් 2019 වසරේ දරුවන් 16,673ක් පාසල් හැර ගොස් තිබෙනවා. 2022 වසරේදී 20,759ක් පාසල් හැර ගොස් තිබෙනවා. 2024 වසරේදී 20,755ක් පාසල් හැර ගොස් තිබෙනවා. ඒ කියන්නේ තවදුරටත් ඉගෙන ගැනීමට තිබියදී ඔවුන් පාසල් හැර යනවා. මා කියන්නේ කිසිදු දරුවෙක් 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය ලබා ගැනීමෙන් තොරව පාසල් හැර නොයා යුතු යි.

තවදුරටත් කියනවා නම් 2006 වසරේ උපන් දරුවන් පාසලට ඇතුළත් වන්නේ 2011 වසරේදී යි. 2011 වසරේදී දරුවන් 358,596ක් පාසැලට ඇතුළත් වී තිබෙනවා. එම දරුවන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ 2021 වසරේදීයි. එහෙත් සාමාන්‍ය පෙළට මුහුණ දී තිබෙන්නේ දරුවන් තුන්ලක්ෂ එකොළොස් දහසක් පමණයි. ඒ අනුව 47,000කට ආසන්න සංඛ්‍යාවක් පාසල් හැර ගොස් තිබෙනවා. මේ දරුවන්ට 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය ලබාදී මේ දරුවන් රැක ගැනීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. අපේ දරුවන් අතරමැදදී පාසල් අත්හැර නොයා යුතුයි. කිසි දරුවකුට ඒ ඉරණම අත් නොවිය යුතු යි."

3. 'සමහර පාසල් වසා දැමිය යුතු යි'

පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සමහර පාසල් වසා දැමිය යුතු බව ය.

"2023 වසරේ එක ම ළමයෙක්වත් ඇතුළත් නොවුණ පාසල් 98ක් තිබෙනවා. ඒ වගේ ම ළමයි 10ට වඩා අඩු පාසල් 115ක් තිබෙනවා. ඒ වගේ ම ළමයි 20ට වඩා අඩු පාසල් 406ක් තිබෙනවා. ළමයි 30ට වඩා අඩු පාසල් 752ක් තිබෙනවා. පාසල් 1141ක් තිබෙනවා, ළමයි 40ට වඩා අඩු යි. පාසල් 1506ක් තිබෙනවා ළමුන් 50ට වඩා අඩු යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් මුළු පාසල් පද්ධතියෙන් 15%ක්.

එපමණක් නොවෙයි ළමයි 100ට වඩා අඩු පාසල් සංඛ්‍යාව 3144ක් තිබෙනවා. ආසන්න වශයෙන් රජයේ පාසල් අතරින් 1/3ක ළමයි 100ට වඩා අඩුයි. මේ තත්ත්වය හොඳද? මෙවන් පාසැලක සාහිත්‍ය උලෙළක්, ක්‍රීඩා උත්සවයක්, විනෝද චාරිකාවක් , සම වයස් දරුවන් අතර ගැවසීමක් වැනි කිසිවක් සිදු වන්නේ නැහැ. ඒ නිසා මේ පාසල් පද්ධතිය පිළිබඳ නැවත සමාලෝචනය කළ යුතුයි. ඒ තීන්දුව අනිවාර්යයෙන් අපි ගන්නවා.

සමහර පාසල් තිබෙනවා වසා දැමිය යුතුයි. සමහර පාසල් ඒකාබද්ධ කළ යුතු යි. සමහර

ප්‍රදේශවල අලුතින් පාසල් ආරම්භ කළ යුතුයි. පාසල් යළි ස්ථානගත කිරීමක් පිළිබඳව අපි සැලකිල්ලට භාජනය කළ යුතුයි."

4. 'අධ්‍යාපනය කියන්නෙ ඒක රේඛීය මාර්ගයක් නෙවෙයි'

අධ්‍යාපනය යනු ඒක රේඛීය මාර්ගයක් නොවන බවත්, සෑම වෘත්තියකට ම වෘත්තීයභාවයක් ලබා දිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසීය.

"පාසලට ඇතුළත් වන බහුතරයක් ළමුන්ගේ අපේක්ෂාව වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවරයෙකු වෙන්න. අධ්‍යාපනය ඒකීය රේඛීය පාරක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ පැතිරුණු පාරවල් ගොඩක්. හැබැයි සිදුවී තිබෙන්නේ කුමක් ද? සමාජ වටිනාකම්, සමාජ ගරුත්වය, වෘත්තීමය වටිනාකම් ක්ෂේත්‍ර දෙක තුනකට කොටු කර තිබෙනවා. දෙමාපියන් හිතනවා, තමන්ගේ දරුවාට හොඳ ජීවිතයක් නම් වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවරයෙක් විය යුතුයි කියලා. තම පවුලට ගෞරවයක් නම් වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවරයෙක් විය යුතුයි කියලා. ඒක වැරදියි. සමාජයක් පවතින්නේ වෛද්‍යවරයෙක්ගෙන් හෝ ඉංජිනේරුවරයෙක්ගෙන් නෙමෙයි. සමාජයක් පවතින්නේ වෘත්තීන් විශාල ප්‍රමාණයක එකතුවකින්. මේ සමාජයට සෑම ක්ෂේත්‍රයකට ම වෘත්තීමයභාවයක් අවශ්‍ය යි. සෑම වෘත්තියකට ම වෘත්තීමයභාවයක් ලබා දිය යුතු යි."

5. 2026 වසරේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවන්නේ කොහොම ද?

2026 වසරේදී ඇරඹෙන නව ප්‍රතිසංස්කරණ හරහා අධ්‍යාපන ක්‍රියාවලිය සිදුවන ආකාරය ජනාධිපතිවරයා පැහැදිලි කළේ, මෙසේ ය.

"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන පටන් ගත්තා ම, 2026 වසරෙදි පටන් ගන්නෙ 6 පන්තියෙන්, 7 පන්තිය 2027 වසරෙ, 8 පන්තිය 2028 දී, 2029 දී 9 පන්තිය. 9 පන්තියට තව වසර තුනකට වැඩි කාලයක් තිබෙනවා. මේ ප්‍රතිසංස්කරණ 2026 පටන් ගත්තොත්, 2029 වසරේදී තමයි තෝරා ගැනීමේ පාර පිළිබඳ සාකච්ඡාවට එළඹෙන්නේ.

මානව ශිෂ්ටාචාරය හදාරන ඉතිහාසඥයෙක් විය හැකි පාරක් තිබෙනවා. ආගම් පිළිබඳ ගැඹුරු ඥානයක් තිබෙන පුරවැසියෙක් හදනවා. එහෙම නෙවෙයිද අවශ්‍ය. භූගෝලය, සමාජ විද්‍යාව, ආගම් පිළිබඳව, ඉතිහාසය පිළිබඳව මූලික පදනම් ටික සෑම දරුවෙකුටම ලැබෙනවා. හැබැයි, ඉන් ඔබ්බට යන විශේෂඥ ඥානයක් අප නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා පාරකුත් තියෙනවා."

6. නවීන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 40ක්

විශ්වවිද්‍යාල මට්ටමට සමාන ආකාරයේ නවීන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 40ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.

"වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය කියන්නේ සරසවි වරම් ගන්න බැරි අයට යන්න තියෙන තැනක් නෙවෙයි. අපේ ප්‍රතිපත්තිය වෘත්තිය පුහුණු අධ්‍යාපනය තේරුණු අධ්‍යාපනයක් නොවෙයි, මූලික අධ්‍යාපනයයි. දැනුම, තාක්ෂණය එකතු කරගත් නූතන වෘත්තීය මධ්‍යස්ථාන 40ක් 2033වන විට ඉදිකිරීමට අප සැලසුම් කරතිබෙනවා. දිස්ත්‍රික්කයකට දෙකක් ස්ථාපිත කරනවා. දරුවා දහතුන් වසරක අධ්‍යාපනයෙන් පසුව විවෘත වෘත්තීය අධ්‍යාපනයකට නිරාවරණය කරනවා. කිසි දරුවෙකු දහතුන් වසරක අධ්‍යාපනයෙන් එළියට වැටෙන්නවත්, අධ්‍යාපනයේ අතරමං වෙන්නවත් අප ඉඩ තියන්නේ නැහැ."

7. පස් වසරකට වරක් ගුරුවරුන්ට පුහුණුවක්

මේ අතර, ගුරුවරුන් යාවත් කාලීන කිරීම සඳහා වසර 5කට වරක් ගුරු පුහුණුවක් ලබා දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

"වසර පහෙන් පහට අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් අවශ්‍ය යි. ඒ නිසා ගුරුවරු වසර පහෙන් පහට පුහුණු කිරීමේ වැඩසටහනකුත් ආරම්භ කරනවා. එවිට අප ගුරුවරුන්ගේ අතිරික්තයක් තබා ගත යුතුයි. දැනට සිටින ගුරු මානව සම්පත අප කළමනාකරණය කර ගන්නවා. විෂයයන් තේරිය යුත්තේ දේශපාලනඥයෝ නෙවෙයි. එය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අවශ්‍ය විශේෂඥයන් ලබා දී තිබෙන උපදෙස් අනුව සිදු කරන දෙයක්. අපි විෂය තෝරන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන විශේෂඥයින්ට භාර දී තිබෙනවා. දේශපාලන අධිකාරියට තිබෙන්නේ කාලරාමුව සකස් කිරීම යි."