එක්සත් රාජධානියේ ආගමන ධවල පත්‍රිකාවේ ශ්‍රී ලාංකිකයින්ට බලපාන කරුණු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
එක්සත් රජධානියට සංක්‍රමණිකයින් ඇතුළු වීම සීමා කිරීම සඳහා වන ආගමන ධවල පත්‍රිකාව අද (මැයි 12) නිකුත් කෙරිණි.
එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය නිවේදනය කළේ, 'ආගමන ධවල පත්‍රිකාවෙන් නිකුත් කරන ලද කරුණු හරහා උපාධිධාරීන් සහ සේවකයින් සඳහා ඉහළ කුසලතා ප්‍රමිතීන් සහිතව, ආර්ථික වර්ධනයට වැඩි ම දායකත්වයක් සපයන්නන් වෙනුවෙන් අපගේ ආගමන පද්ධතිය නැවත සකස් කරනු ඇත,' යනුවෙනි.
මෙම ධවල පත්‍රිකාව තුළින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට බලපාන ප්‍රතිපත්ති කිහිපයකට එළඹ තිබේ.
මෙම ප්‍රතිපත්ති මේ වන විටත් එක්සත් රාජධානියේ සේවය කරන්නන්ට මෙන් ම, ඉදිරියේදී එරටට ශිෂ්‍ය හෝ රැකියා වීසා මත යාමට සූදානම් වන්නන්ට ද ඍජුව බලපානු ඇත.
ධවල පත්‍රිකාවේ සඳහන් ප්‍රධාන ප්‍රතිපත්ති මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, EPA
ආගමන ධවල පත්‍රිකාව මගින් එක්සත් රාජධානියේ ආගමන ප්‍රතිපත්ති රැසක් සංශෝධනය කර තිබේ.
ඉන් ප්‍රධාන ප්‍රතිපත්ති කිහිපයක් පහත දැක්වේ.
කුසලතා මත පිරිනමන වීසා (skilled visa)
පුහුණු සේවක සීමාව ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
එහිදී, කුසලතා පදනම මත වීසා නිකුත් කිරීමේදී සලකනු ලබන කුසලතා මට්ටම ප්‍රථම උපාධිය දක්වා ඉහළ දමා තිබේ.
ඒ අනුව, ඊට අදාළ වැටුප් සීමාවන් ද ඉහළ යනු ඇත.
සත්කාර වීසා (social care visa)
සත්කාර වීසා (social care visas) සඳහා විදේශ බඳවා ගැනීම් අවසන් කෙරේ. සමාජ සත්කාර වීසා සඳහා විදේශයන්ගෙන් ලැබෙන නව අයැදුම්පත් නතර කෙරේ.
2028 දක්වා සංක්‍රාන්ති කාලයක් සඳහා, ශ්‍රම බළකා උපාය මාර්ගය සංවර්ධනය කර ක්‍රියාත්මක කරන අතරතුර, දැනටමත් එක්සත් රාජධානියේ සේවය කරන්නන්ට වීසා දීර්ඝ කිරීම් සහ රට තුළ මාරුවීම් සඳහා අවසර තිබේ.
මෙය සමාලෝචනය යටතේ තබා ගනු ඇත.
ශිෂ්‍ය වීසා (student visa)
ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම සඳහා සියලු ම අනුග්‍රාහක අවශ්‍යතා දැඩි කෙරේ.
ඒ අනුව, බඳවා ගත හැකි නව ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සීමා පැනවීම ඇතුළුව නව මැදිහත්වීම් හඳුන්වා දෙනු ඇත.
උපාධිධාරීන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලින් පසු එක්සත් රාජධානියේ රැඳී සිටීමේ හැකියාව මාස 18 ක කාලයක් දක්වා අඩු කෙරේ.
'උසස් අධ්‍යාපන හා කුසලතා අංශවල නැවත ආයෝජනය කිරීම' සඳහා ජාත්‍යන්තර සිසුන්ගේ උපකාරක ගාස්තු ආදායමෙන් 6% ක බද්දක් හඳුන්වා දීම පිළිබඳව ද විමසා බැලෙනු ඇත.
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව
සියලු ම රැකියා වීසා සඳහා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව ඉහළ දැමේ.
මීට පෙර, රැකියා අයැදුම්කරුවන් සඳහා පමණක් අනිවාර්ය වූ ඉංග්‍රීසි ප්‍රවීණතාව, අයැදුම්කරුවන්ගේ වයස අවුරුදු 18ට වැඩි සියලු යැපෙන්නන් සඳහා ද අනිවාර්ය කෙරේ.
ස්ථිර පදිංචිය
සංක්‍රමණිකයින්ට දින නියමයක් නොමැතිව රැඳී සිටීමේ අයිතිය සඳහා අයැදුම් කිරීමට පෙර එක්සත් රාජධානියේ ජීවත් විය යුතු කාලය දෙගුණ කෙරේ.
ඒ අනුව, ස්ථිර පදිංචිය සඳහා අයැදුම් කිරීමට එරට ජීවත් විය යුතුව තිබූ වසර 5ක අවම කාලය අවුරුදු 10ක් දක්වා ඉහළ දමා තිබේ.
කෙසේ වෙතත්, "ඉහළ කුසලතා සහිත, එක්සත් රාජධානියේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන" පුද්ගලයින් සඳහා ස්ථිර පදිංචිය ලබා ගැනීමට වේගවත් මාර්ගයක් ඇත.
ශ්‍රී ලාංකිකයින්ට සිදුවන බලපෑම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එක්සත් රාජධානිය ආගමන ධවල පත්‍රිකාව හරහා යෝජනා කර ඇති නව ප්‍රතිපත්ති ශ්‍රී ලාංකිකයින්ට කෙසේ බලපායි ද? යන්න පිළිබඳව අපි විමසීමක් කළෙමු.
එහිදී, බ්‍රිතාන්‍යයේ රැකියාවක නිරත වෙමින්, මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කරන තිලාන් ජයසේකර නව ප්‍රතිපත්ති ශ්‍රී ලාංකිකයින්ට බලපාන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේ ය.
"මේ ධවල පත්‍රිකාවට අනුව ශ්‍රී ලංකාවට එල්ල වෙන ලොකු ම බලපෑමක් තමයි, කෙයා වර්කර්ස්ලා (සත්කාරකයින්) ගොඩක් 2020 ඉඳලා බ්‍රිතාන්‍යයට ආවා ලංකාවෙ ඉඳලා. මේ අලුත් ප්‍රතිපත්ති අනුව ඒ රැකියාවට වීසා නිකුත් කරන එක නතර කරන්න තීරණය කරල තියෙනවා. මෙතනින් එහාට කිසි ම කෙනෙකුට කෙයාර් වර්කර්ස්ලා විදිහට මෙහෙට එන්න බෑ. දැනට අවුරුදු 3ක වීසා ගත්ත අයට ඒක දීර්ඝ කර ගන්න පුළුවන් වෙයි."
ඊට අමතරව, ස්ථිර පදිංචිය සම්බන්ධයෙන් ද නව ප්‍රතිපත්ති හරහා බලපෑම් එල්ල වනු ඇත.
"මෙතන දැන් තියෙන ප්‍රශ්නයක් තමයි, ස්ථිර පදිංචිය ඉල්ලන්න අවුරුදු 10ක් කරල තියෙන එක දැනට මෙහෙ ඉන්න අයට කොහොම බලපායි ද කියන එක. දැන් අවුරුදු කීපයක් රැකියා වීසාවලින් ඉන්න අය ඉන්නේ ස්ථිර පදිංචි ප්‍රොසෙස් එකේ. ඒ අයට මේක බලපාන්නෙ නැත්නම් දිගට ම ඉන්න ලැබෙයි. අපි බලන්න ඕන මේ ප්‍රතිපත්තිය අද ඉඳලා මේ රටට ඉන්න අයට ද බලපාන්නෙ කියලා. දැනට ඉන්න අයටත් මේක බලපෑවොත් මේ විශාල පිරිසකට බලපාන ප්‍රශ්නයක් වෙනවා."
තිලාන් ජයසේකර වැඩිදුරටත් පැවසුවේ, ධවල පත්‍රිකාවේ නව ප්‍රතිපත්ති නිසා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටින බව ය.
"මම මේ ප්‍රතිපත්ති ගැන සමාජ මාධ්‍යවල ලියන නිසා ගොඩක් අය මට කතා කරනවා. ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ ඉස්සරහට මොනවා වෙයි ද කියලා," තිලාන් ජයසේකර පැවසීය.
'රුපියල් ලක්ෂ 90ක් වියදම් කරලා එංගලන්තයට ආවේ'
මේ අතර, බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ එක්සත් රාජධානියේ ශිෂ්‍ය වීසා මත රැඳී සිටින ගම්පොළ ප්‍රදේශයේ ශිෂ්‍යයෙකු පැවසුවේ, තමන් කෙටිකාලීන රැකියාවක් ලෙස 'සත්කාර සේවයේ' නිරත වන බව ය.
සිය උපාධිය අවසන් වීමෙන් පසු එරට රැඳී සිටිමින් රැකියාවක නිරත වීමට අවස්ථාව උදාවනු ඇද්දැයි අවිනිශ්චිත තත්ත්වයක පසු වන බව ඔහු පැවසීය.
"මම මෙහෙ ආවෙ රුපියල් ලක්ෂ 90ක් විතර වියදම් කරලා. තව මගෙත් එක්ක මෙහෙ යාළුවො කීප දෙනෙක් ඉන්නවා, ඒගොල්ලො සල්ලි හොයාගෙන තියෙන්නෙ ඉඩම් විකුණලා, ණයට අරගෙන. තවමත් ඒගොල්ලො ණය ගෙවනවා. ඒ නිසා, අපිට ආපහු ලංකාවට යන්න වුණොත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා."
'2020 බඳවා ගත් සත්කාර සේවකයින්ට ස්ථිර පදිංචිය ලබා නොදීම මේකේ අරමුණක්'
එක්සත් රාජධානියේ රැකියාවක යෙදී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු බීබීසී සිංහල වෙත පැවසුවේ, 2020 වසරේදී බඳවා ගත් සත්කාර සේවකයන් විශාල පිරිසක් මෙම වසරේදී එක්සත් රාජධානියේ වසර 5ක රැඳී සිටීමේ කාලය සම්පූර්ණ කරන බව ය.
ඔවුන් ස්ථිර පදිංචිය සඳහා අයැදුම් කිරීම වළක්වා ගැනීම සඳහා රජය මෙම තීරණය ගන්නට ඇති බව තමාට හැඟෙන බව ඔහු පැවසීය.
"2020 දී පවුම් 10,000කට විතර කෙයා ගිවර්ස්ලා ගොඩක් ගත්තා වෙන රටවල්වලින්. එයාලගේ අවුරුදු 5 සම්පූර්ණ වෙන්නේ මේ අවුරුද්දට. එතකොට එයාලා මේ අවුරුද්දේ තමයි ස්ථිර පදිංචිය ඉල්ලුම් කරන්නේ. දැන් ඒ කාලය අවුරුදු 10ක් කරන්න යන එකෙන් ඒ අයට වීසා නැති වුණොත් ආපහු එයාලා ආව රටවල්වලට ම යන්න වෙනවා. කෙයා ගිවර්ස්ලාට මෙහෙම සීමා දාන්නේ එක නිසා කියලා තමයි මට හිතෙන්නේ."
'මාත් එක්ක හිටපු කීප දෙනෙක් ම ආපහු ලංකාවට ගියා'
ශිෂ්‍ය වීසා මත එක්සත් රාජධානියේ අධ්‍යයන කටයුතු නිම කර පශ්චාත් ශිෂ්‍ය රැකියා වීසා මත රැඳී සිටින තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.
ඇය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ සිට පැමිණි සිය මිතුරියන් කිහිප දෙනෙකු ම එක්සත් රාජධානිය අතහැර යළි ශ්‍රී ලංකාවට පැමිණි බව ය.
"අලුත් ප්‍රතිපත්ති නිසා ස්ටුඩන්ට් වීසාවලින් ඉන්න අයට අධ්‍යාපන කටයුතු අවසන් කළාට පස්සේ වර්ක් වීසා එකක් ලැබෙනවා අවුරුදු දෙකකට. ඒකත් දැන් අවිනිශ්චිත තත්ත්වයක තියෙන්නෙ. ඒ නිසා ගොඩක් අය ප්‍රශ්නයක ඉන්නේ. මාත් එක්ක එකට ඉගෙන ගත්ත යාළුවො හතර පස් දෙනෙක් ම ආපහු ලංකාවට ගියා මේ තත්ත්වයත් එක්ක."
ඇය පැවසුවේ, අධ්‍යාපන කටයුතු අවසන් කළ ද, එක්සත් රාජධානිය තුළ සුදුසු රැකියාවක් සොයා ගැනීම ද ඉතා දුෂ්කර බව ය.
බොහෝවිට අධ්‍යාපනය ලැබූ විෂයට පරිබාහිර ක්ෂේත්‍රයක රැකියාවක් සොයා ගැනීමට සිදුව ඇතැයි ද ඇය පෙන්වා දුන්නා ය.
රැකියා අවස්ථා
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ පුරප්පාඩු රැසක් පවතින බව 2023 වසරේදී වාර්තා විය.
එහිදී, අනාවරණය වූයේ, එක්සත් රාජධානිය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු 110,000ක් ඇති බව ය.
ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ සංඛ්‍යා ලේඛන අනුව 2023 වසරේදී එම කාර්යාංශයේ ලියාපදංචි වූ එක්සත් රාජධානියේ රැකියා වල නිරත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 4,427 දෙනෙකි.














