ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් දියෙගෝ ගාර්සියාහි නීති විරෝධී ලෙස රඳවා ගෙන සිට ඇතැයි හෙළි වේ

- Author, ඇලිස් කඩී
- Role, බීබීසී පුවත්
බ්‍රිතාන්‍යයට අයත් දූරස්ථ භූමි ප්‍රදේශයක් වන දියෙගෝ ගාර්සියාහි ශ්‍රී ලාංකික දෙමළ සංක්‍රමණිකයන් වසර ගණනාවක් පුරා නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන ඇති බවට විනිසුරුවරයෙකු තීන්දු කර තිබේ.
2021 වසරේදී, දෙමළ ජාතිකයින් රැසක් රහසිගත බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා එක්සත් ජනපද හමුදා කඳවුරක් පිහිටා ඇති මෙම ඉන්දියානු සාගර දූපතේ සරණාගතභාවය ඉල්ලා සිටි පළමු පුද්ගලයින් බවට පත්වූහ.
වසර ගණනාවක් ඔවුන් කුඩා ආරක්‍ෂිත වැටක් සහිත කඳවුරක රඳවා සිටි අතර ඔවුන්ගේ යහපැවැත්ම සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් "එක් වරක් පමණක් ගනු ලබන" තීරණයක් ලෙස හඳුන්වමින් මෙම මස මුලදී ඔවුන්ව එරටට ගෙන යනු ලැබිණි.
ඇතැම් සංක්‍රමණිකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු පැවසුවේ, මෙය සිදු කිරීමට හැකි වූයේ කෙසේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කළ යුතු බව ය. බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ "මෙම තීන්දුව ගැන ප්‍රවේශමෙන් සලකා බලන" බව ය.

දියෙගෝ ගාර්සියා දුපත කිසි විටෙකත් "සංක්‍රමණිකයන් සඳහා සුදුසු දිගු කාලීන ස්ථානයක්" නොවූ අතර රජයට "පසුගිය පරිපාලනය යටතේ වසර ගණනාවක් පුරා පැවති නොවිසඳුණු ගැඹුරු කරදරකාරී තත්ත්වයක් උරුම වී ඇති" බව ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.
මෙම තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, ඇතැම් සංක්‍රමණිකයන් වෙනුවෙන් පෙනී සිටින බ්‍රිතාන්‍යයේ ඩන්කන් ලුවිස් සමාගමේ නීතිඥ සයිමන් රොබින්සන් පැවසුවේ, "21 වන සියවසේදී මෙවැන්නක් සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතු" බව ය.
සැප්තැම්බර් මාසයේදී මෙම දිවයිනේ පරිවර්තනය කරන ලද දේවස්ථානයක පැවැත්වූ සුවිශේෂී නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්විය. නඩු කටයුතු ආවරණය කිරීම සඳහා දූපත වෙත සහ එහි සංක්‍රමණික කඳවුර වෙත බීබීසීයට ප්‍රවේශ වීමට හැකි විය.
දියෙගෝ ගාර්සියා යනු, චාගෝස් දූපත් හෝ බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශයේ (බයෝට් - Biot) කොටසකි. එය "ව්‍යවස්ථාමය වශයෙන්" බ්‍රිතාන්‍යයෙන් "වෙනස්" ලෙස විස්තර කර ඇත. එය ලන්ඩනයේ සිට පරිපාලනය කරනු ලබන්නේ විදේශ කාර්යාලයේ කොමසාරිස්වරයෙකු මගිනි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔවුන් දිවයිනේ සිටි කාලයේ, කුඩා ළමුන් 16 දෙනෙකු ඇතුළු මෙම දෙමළ ජාතිකයින් පිරිස, G4S නමැති පෞද්ගලික ආරක්ෂක සමාගම විසින් සෑම විටක ම ආරක්ෂා කරන ලද වැටක් සහිත කඳවුරේ ඉදිකළ හමුදා කූඩාරම් වල රඳවා සිටියහ.
ඔවුන් තමන් දිවයිනේ ගත කළ කාලය විස්තර කර ඇත්තේ, "අපායක" ජීවත් වීමක් ලෙස ය.
"ඒක විවෘත බන්ධනාගාරයක් වගේ. අපිට එළියට යන්න අවසර දුන්නේ නැහැ. අපි ජීවත් වුණේ වැටක සහ කූඩාරමක," යැයි එක් කාන්තාවක තම සැමියා සහ දරුවන් දෙදෙනා සමග මේ මාසයේ බ්‍රිතාන්‍යට ගෙන ඒමෙන් පසු බීබීසීයට පැවසීය.
සැප්තැම්බරයේ කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවක, සංක්‍රමණිකයන් විසින් භාවිත කරනු ලබන හමුදා කූඩාරම් ඉරා ගොස් තිබූ ආකාරය සහ මීයන් එහි ගුල් සාදා ඇති අයුරු අධිකරණ නිලධාරීන්ට දැකගත හැකි විය.
කඳවුරේ තත්ත්වයට එරෙහිව උපවාස කිහිපයක් සහ ස්වයං හානි සහ සියදිවි නසාගැනීමට උත්සහ දැරීමේ සිද්ධි රාශියක් සිදු වූ අතර, ඉන් පසුව ඇතැම් පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුවන්ඩාවට මාරු කෙරිණි.
කඳවුර තුළදී ඇතැම් සංක්‍රමණිකයින්ගෙන් සිදුවූ ලිංගික අතවර සහ හිරිහැර කිරීම් පිළිබඳ දරුවන් ඇතුළු අනෙකුත් සංක්‍රමණිකයන් විසින් නඩු සහ චෝදනා ද එල්ල කරනු ලැබ තිබේ.

බයෝට් ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩබලන විනිසුරු මාග්‍රට් ඔබී සඳුදා (දෙසැම්බර් 16) තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ, කඳවුර "නාමිකව නැතත් ලක්ෂණවලින් ගත්තා ම" ආරම්භයේ සිට ම බන්ධනාගාරයක්ව පැවති බව ත් ය.
එක් හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුට "නිදහසේ මූලික වැදගත්කම පිළිබඳ සීමිත අගයක් පමණක් ඇති බවක් පෙනෙන්නට ඇති" බව ඇය සොයා ගත්තා ය.
Leigh Day නීතිඥ සමාගමේ නීතිඥවරයෙකු වන ටොම් ෂෝර්ට් කියා සිටියේ, මෙම තීන්දුව "අපගේ සේවාදායකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමක් පමණක් නොව බ්‍රිතාන්‍ය විදේශ ප්‍රදේශවල නීතියේ ආධිපත්‍යය සඳහා වූ ජයග්‍රහණයක්" බව ය.
"මූලික අයිතිවාසිකම්වලට මෙවැනි නිග්‍රහ කිරීමක් කිසිවිටෙකත් සිදු නොවිය යුතු බව ත්, නියමිත කාලය තුළ මෙම අසාධාරණ පරිපාලනයේ ගැන සම්පූර්ණයෙන් සොයා බැලිය යුතු බව ත්" ඔහු වැඩිදුරටත් පැවසීය.
කඳවුර දැන් වසා දමා ඇති අතර අපරාධවලට වරදකරුවන් වූ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ විමර්ශනයට ලක්ව සිටින තවත් අයෙකු දිවයිනේ තවමත් රඳවා සිටින බව බීබීසීය අනාවරණය කර ගත්තේ ය.
බ්‍රිතාන්‍යය 1965දී එහි එවකට යටත් විජිතයක් වූ මොරිෂස්හි කොටසක් වූ චාගෝස් දූපත පාලනයට නතු කරගත් අතර කඳවුරක් ඉදිකිරිම සඳහා එහි සිටි පුද්ගලයින් 1,000කට වඩා ඉවත් කළේ ය.
ඓතිහාසික පියවරක් ලෙස මෙම දූපත් මොරිෂස් වෙත පැවරීමට බ්‍රිතාන්‍යය මෙම වසර මුලදී එකඟ වීමෙන් පසුව මෙම තීන්දුව පැමිණ තිබේ.
ඉදිරියේදී අත්සන් කිරීමට ඇති ගිවිසුම යටතේ, දියෙගෝ ගාර්සියා දූපත බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ හමුදා කඳවුරක් ලෙස දිගට ම ක්‍රියාත්මක වනු ඇති නමුත් අනාගත සංක්‍රමණික පැමිණීම්වල වගකීම මොරිෂස් රාජ්‍යය වෙත පැවරෙනු ඇත.














