GCE O/L: යෝජිත සාමාන්‍ය පෙළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔබට ඇති ප්‍රශ්න 7කට පිළිතුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වන විට විශාල සංවාදයක් මතුව තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් අනිවාර්ය විෂය ගොන්නෙන් ඉවත් කර ඇති බවට මේ වන විට දැඩි විවේචන මතුව ඇති අතර, අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
"නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා සෞන්දර්යය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නැතිව සමහර පාර්ශව අසත්‍ය ප්‍රචාර කරමින් ඉන්නවා ඉතිහාසය සහ සෞන්දර්යය විෂය ඉවත් කරලා කියලා. මේ විෂයයන් ගැන විෂයේ ප්‍රවීණයන් සමග දින ගණනාවක් සාකච්ඡා කරලා, සෑම දරුවෙකුට ම ඉතිහාසය හා මානුෂීය ගුණාංග වර්ධනය වන සෞන්දර්ය විෂය හදාරන්න අවස්ථාවක් ලැබෙන ලෙස මේ ප්‍රතිසංස්කරණය සිදු කරලා තිබෙන්නේ," යැයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (ජූලි 17) බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දක්වන අදහස්වලින් පෙනී යන්නේ, බොහෝ දෙනෙකුට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බව ය.
මෙම ප්‍රතිසංස්කරණය සිදුවන්නේ කෙසේ ද? සිසුන් හැදෑරිය යුතු විෂයයන් මොනවා ද? මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.
01. සාමාන්‍ය පෙළ විභාගයට එන විෂයයන් සංඛ්‍යාව කොපමණ ද?
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දැනට මුහුණ දෙන විෂයන් 9 වෙනුවට එය විෂයයන් 7ක් දක්වා අඩු කිරීමට මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජාතික වැඩපිළිවෙළින් යෝජනා කර තිබේ.
එහිදී දැනට අනිවාර්ය විෂයයක් වන ඉතිහාසය විෂය සිසුන්ට අධ්‍යයනය කිරීමට තෝරාගත හැකි විෂය කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර, එහිදී සෞන්දර්ය විෂයයන් ද එම තෝරාගත හැකි විෂයයන් ගොන්නට එක් කර තිබේ.
ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයයන් 7කට පෙනී සිටිය යුතු ය.
02. 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් අධ්‍යයනය කළ යුතු විෂයයන් මොනවා ද?
පොදු මූලික විෂය මාලාව යටතේ අනිවාර්ය විෂයයන් 5ක් සහ තෝරාගත් විෂයයන් 2ක් අධ්‍යයනය කළ යුතු ය.
මීළඟට වැඩිදුර අධ්‍යාපනය සඳහා අධ්‍යයන ක්ෂේත්‍ර සහ වෘත්තීය අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයෙන් සිසුන් මොඩියුල තෝරාගත යුතු ය.
තෙවනුව තීර්යක් කුසලතා (transversal) කාණ්ඩයෙන් සිසුන් ක්‍රෙඩිට් තුනක් උපයා ගත යුතු ය.
03. පොදු මූලික විෂය මාලාව යටතේ හැදෑරිය යුතු විෂයයන් මොනවා ද?
පොදු මූලික විෂය මාලාව යටතේ සිසුන් හැදෑරිය යුතු අනිවාර්ය විෂයයන් පහත පරිදි ය.
- මව් බස
- ඉංග්‍රීසි භාෂාව
- ගණිතය
- විද්‍යාව
- ආගම සහ සාරධර්ම අධ්‍යයනය
මෙම එක් එක් විෂය සඳහා ක්‍රෙඩිට් තුන බැගින් හිමි වන අතර ආගම සහ සාරධර්ම අධ්‍යයනය සඳහා පමණක් ක්‍රෙඩිට් දෙකක් හිමි වේ.
ඉන්පසුව විෂයයන් දෙකක් සිසුන් විසින් තෝරා ගත යුතු අතර එයට මෙතෙක් අනිවාර්ය විෂයක් වූ ඉතිහාසය විෂය ද ඇතුළත්ව තිබේ.
එම විෂයන් පහත පරිදි වේ.
- දෙවන ජාතික භාෂාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ඉතිහාසය
- පුරවැසි අධ්‍යාපනය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- තාක්ෂණය
- භූගෝල විද්‍යාව
- සෞන්දර්ය අධ්‍යාපනය
- ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය
සිසුන් මෙම විෂයයන් අතරින් විෂයයන් දෙකක් තෝරාගත යුතු අතර, ඒ සඳහා එක් එක් විෂයට ක්‍රෙඩිට් 2 බැගින් හිමි වේ.
04. වැඩිදුර අධ්‍යාපන විෂය මාලාවලින් විෂයයන් තෝරා ගන්නේ කෙසේ ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සිසුන්ට වැඩිදුර අධ්‍යාපන විෂය ක්ෂේත්‍ර යටතේ ඔවුන් උසස් පෙළ සඳහා අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන විෂයයන් සඳහා ප්‍රවේශයක් ලබා දීමේ අවස්ථාවද නව ප්‍රතිසංස්කරණ මගින් හිමි වේ.
ඒ අනුව ඔවුන්ට, STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය), මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා හෝ කළමනාකාරණය යන විෂය මාලාවලට අදාළ විෂයයන් හැදෑරීම සිදු කළ හැකි ය.
එහිදී යම් සිසුවෙකු STEM තෝරා ගතහොත් එම සිසුවා ගණිතය සහ තොරතුරු තාක්ෂණය ඇතුළත්ව STEM විෂය කාණ්ඩයේ විෂයයන් 4ක් අධ්‍යයනය කළ යුතු අතර, ඔවුන් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් ඉතිහාසය සහ සෞන්දර්ය ඇතුළුව විෂයන් දෙකක් හැදෑරිය යුතු වේ.
ඊට අමතර ව ඔවුන් වෘත්තීය පුහුණු එක විෂයක් හැදෑරීම සිදු කළ යුතු ය.
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂයයන් හැදෑරීමට තෝරා ගන්නා සිසුන් STEM විෂයන්ගෙන් ගණිතය සහ තොරතුරු තාක්ෂණය ඇතුළත්ව විෂයයන් දෙකක් තෝරා ගත යුතු අතර, ඉතිහාසය සහ සෞන්දර්ය ඇතුළුව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් විෂයයන් 4ක් ද, වෘත්තීය පුහුණු එක් විෂයක් ද හැදෑරිය යුතු ය.
කළමනාකරණ විෂය පථය තෝරා ගන්නා සිසුන් ඉතිහාසය සහ සෞන්දර්ය ඇතුළුව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් විෂයයන් දෙකක් හැදෑරිය යුතු අතර, කළමනාකරණ විෂය කාණ්ඩයෙන් විෂයයන් 4ක් හා වෘත්තීය පුහුණු එක් විෂයක් හැදෑරිය යුතු ය.
වෘත්තීය පුහුණු විෂය ධාරාව තෝරා ගන්නා සිසුන් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය කාණ්ඩයෙන් විෂයයන් දෙකක්, කළමනාකරණ විෂය කාණ්ඩයෙන් ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව විෂය ද, වෘත්තීය පුහුණු කාණ්ඩයෙන් විෂයයන් 4ක් ද හැදෑරිය යුතු වේ.
ඒ අනුව, සිසුහු මූලික විෂය නිර්දේශය යටතේ තෝරා ගන්නා විෂයන් 7ට අමතරව තවත් විෂයන් 7ක් හදාරති. එනම් මුළු විෂයන් සංඛ්‍යාව 14කි.
මෙම විෂය කාණ්ඩ යටතේ විෂයයන් තෝරා ගැනීමේදී සියලු ම විෂය කාණ්ඩ යටතේ සිසුන්ට ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් හැදෑරීමට සිදු වේ.
ඒ අනුව විෂයන් 14ක් සහ තවත් අමතර ක්ෂේත්‍රයක් අධ්‍යයනය කිරීමට සිදුවීමෙන් නැවතත් සිසුන් පිට වඩා වැඩි බරක් යෙදවීමක් සිදු නොවන්නේ දැයි බීබීසී සිංහල විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අංශයේ නිලධාරියෙකුගෙන් විමසීමක් සිදු කරන ලදී.
"සබ්ජෙක්ට් ගාන දිහා බලලා විෂයන්වල බර ගැන කියන්න බෑ. අපි මුලින් ම බලන්න ඕනේ ඒ විෂයන්වල අන්තර්ගතය. ඒ වගේ ම ඒකෙ තියෙන නම්‍යශීලී ගතිය.
කලින් උසස් පෙළ ගණිත අංශයෙන් කරන්න බලාපොරොත්තු වෙන ළමයත්, කලා අංශයෙන් කරන්න බලාපොරොත්තු වෙන ළමයත් දෙන්න ම එක ම ගණිත අන්තර්ගතයක් ඉගෙන ගන්න ඕනේ," ඔහු පැවසුවේ ය.
ඒ අනුව උසස් පෙළ සඳහා යම් විෂය ධාරාවක් තෝරාගැනීමට බලාපොරොත්තු වන සිසුන් විෂයන් තෝරා ගැනීම සිදු කළ යුත්තේ කෙසේදැයි බීබීසී සිංහල විසින් එම නිලධාරියාගෙන් විමසන ලදී.
"දැන් සාමාන්‍යයෙන් ළමයෙක් ඉගෙන ගන්න ඕනේ ගණිත දැනුම අපි ගණිතය විෂය යටතේ දෙනවා. එතකොට විද්‍යා, ගණිත විෂයන් කරන්න බලාපොරොත්තු වෙන වැඩි ගණිත දැනුමක් ලබා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට වැඩිදුර අධ්‍යාපන විෂයන්වලින් ගණිත විෂය කොටස් සඳහා ක්‍රෙඩිට් උපයා ගන්න පුළුවන්. දැනට සාමාන්‍ය පෙළ ගත්තොත් උසස් පෙළ විද්‍යා විෂයන් කරන්න බලාපොරොත්තු වෙන ළමයත් කලා විෂයන් කරන්න බලාපොරොත්තු වෙන ළමයත් එන්නේ එක මට්ටමකට. ඒ නිසානේ බර වැඩි වෙලා තියෙන්නේ ඒ අයට," ඔහු පැවසුවේ ය.
එහිදී බීබීසී සිංහල විසින් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම නිලධාරියා පැවසුවේ මූලික විෂයන් හත යටතේ සිසුන් පෙනී සිටින විභාග ප්‍රශ්න පත්‍ර ගෝලීයව පිළිගත් සාමාන්‍ය මට්ටමකට අනුව සකස් කරන බවත්, ඒ ඒ විෂය කාණ්ඩ යටතේ උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් වැඩිදුර අධ්‍යාපන විෂය කාණ්ඩයෙන් ඔවුන්ගේ විෂයන්ට සම්බන්ධ විෂයන්වලට අදාළ ක්‍රෙඩිට් උපායාගැනීමට හැකි බවත් ය.
05. තීර්යක් විෂයයන් (transversal) තෝරා ගන්නේ කොහොම ද?
මෙම ශ්‍රේණිවල සිසුන් තීර්යක් විෂයන් යටතේ තවත් ක්‍රෙඩිට් 3ක් උපයා ගත යුතු ය.
එහි ඇතුළත් වන්නේ මොඩියුල වන අතර එම මොඩියුල පහත පරිදි වේ.
- සාහිත්‍ය රසාස්වාදය
- මාධ්‍ය අධ්‍යයනය
- කර්මාන්ත අධ්‍යයනය
- සේවා අංශ අධ්‍යයනය
- ගෝලීය අධ්‍යයනය
- සෞඛ්‍ය සහ ක්‍රීඩා
- ව්‍යවහාරික තාක්ෂණය
- සෞන්දර්ය රසාස්වාදය
- සිනමා අධ්‍යයනය
- වෘත්තීය සූදානම සඳහා පදනම් අධ්‍යාපනය
- ඩිජිටල් පුරවැසිභාවය
06. සාමාන්‍ය පෙළ සඳහා ශිෂයෙකු හැදෑරිය යුතු මුළු විෂය නිර්දේශය සකස් වෙන්නේ කෙසේ ද?
මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව පහත විෂයන් සහ පහත ක්‍රෙඩිට් උපයා ගත යුතු ය.
- අනිවාර්ය විෂයන් 05: ක්‍රෙඩිට් 14
- තෝරාගත් විෂයන් 02: ක්‍රෙඩිට් 04
- වැඩිදුර අධ්‍යාපන විෂයන් 07: ක්‍රෙඩිට් 14
- තීර්යක් විෂයයන් (transversal): ක්‍රෙඩිට් 03
ඒ අනුව සිසුන් සාමාන්‍ය පෙළ සඳහා ඉහත විෂයන් අධ්‍යයනය කළ යුතු අතර උපයා ගතයුතු මුළු ක්‍රෙඩිට් සංඛ්‍යාව 35කි.
07. A, B, C, S වෙනුවට ප්‍රතිඵල වෙනස් වෙන්නේ කොහොම ද?
එක් එක් විෂයයන් සඳහා A,B,C ලෙස දැනට ලබා දෙන අගැයීම් ක්‍රමය වෙනුවට ශ්‍රේණි ලකුණු සාමාන්‍යයක් (GPA) ලබා දීමට ද මෙම නව ප්‍රතිසංස්කරණය යටතේ යෝජනා වී තිබේ.
එය දැනට විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන ක්‍රමවේදයට සමාන ක්‍රියාවලියකි.
මේ සම්බන්ධයෙන් ද බීබීසී සිංහල විසින් සම්බන්ධ කරගත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියා විස්තර කළේ ය.
"දැන් ළමයෙක් මේ විෂයන් ටික පාසලේදී ඉගෙන ගත්තොත් එයාට සහතිකයක් ලබා දෙනවා එයා මේ විෂයන් ඉගෙන ගෙන තියෙනවා කියලා. හරියට විශ්වවිද්‍යාලයේදී අපට ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් ලැබෙනවා වගේ."
"එතකොට ළමයා 10 වසර සම්පූර්ණ කරන්න නම් එයා සම්පූර්ණ කරන්න ඕනේ ක්‍රෙඩිට් ගාණ උපයාගෙන තියෙන්න ඕනේ. විශ්වවිද්‍යාලයක නම් කෙනෙක් ක්‍රෙඩිට් 120ක් ගත්තම තමයි එයා සාමාන්‍ය උපාධියක් සම්පූර්ණ කළා කියලා පිළිගන්නේ. ඒ විදිහට තමයි වෙන්නේ," ඔහු පැවසුවේ ය.














