ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ 'ගුරුවරුන් 40,000ක හිඟයක්'

ඡායාරූප මූලාශ්‍රය, Ishara Danasekara | BBC
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ මාධ්‍ය රජයේ පාසල්වල 40,000කට ආසන්න ගුරු හිඟයක් පවතින බව පාර්ලිමේන්තුවේදී හෙළි විය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් මෙරට සිංහල සහ දෙමළ මාධ්‍ය රජයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිළිබඳව යොමු කරන ලද ප්‍රශ්නයකට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි හරිනි අමරසූරිය මැයි 21 වන දා පාර්ලිමේන්තුවේදී ලබා දුන් පිළිතුරුවලදී මේ බව අනාවරණය විය.
අගමැතිනිය අනාවරණය කළ ගුරු පුරප්පාඩු ගණන
අගමැතිවරය පැවසූ පරිදි සිංහල සහ දෙමළ මාධ්‍ය රජයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පහත පරිදි වේ.
1 සිට 5 ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය පාසල් තුළ ගුරු පුරප්පාඩු 4,240ක් පවතී.
එම ශ්‍රේණිවල දෙමළ මාධ්‍ය පාසල් තුළ ගුරු හිඟය 2,827කි.
එමෙන් ම 6 සිට 11 දක්වා සිංහල මාධ්‍ය පාසල් තුළ 11,274ක ගුරු හිඟයක් පවතින අතර එම ශ්‍රේණිවල දෙමළ මාධ්‍ය පාසල් තුළ පවතින ගුරු පුරප්පාඩු ගණන 6,121ක් වේ.
බස්නාහිර පළාතේ පාසල්වල 1 සිට 5 ශ්‍රේණිය දක්වා 1,138ක ගුරු හිඟයක් පවතින අතර දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු 302ක් ඇති බව අගමැතිනිය පැවසුවා ය.
එම පළාතේ 6 සිට 11 ශ්‍රේණි දක්වා සිංහල මාධ්‍ය පාසල් තුළ 1,325ක ගුරු හිඟයක් පවතී.
බස්නාහිර පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වල ගුරුවරු 397ක අඩුවක් ඇත.
කොළඹ කලාපය තුළ ඇති සිංහල මාධ්‍ය පාසල්වල ගුරුවරු 84ක හිඟයක් 1 සිට 5 ශ්‍රේණිය දක්වා පවතී.
එම ශ්‍රේණිවල කොළඹ කලාපයේ දෙමළ පාසල් තුළ ගුරුවරු 85ක හිඟයක් පවතින බව අගමැති හරින අමරසූරිය කියා සිටියා ය.
එම කලාපයේ 6 සිට 11 දක්වා ශ්‍රේණිවල සිංහල මාධ්‍ය ගුරුවරු 226ක් හිඟ අතර දෙමළ මාධ්‍ය පාසල්වල ගුරු පුරප්පාඩු 140ක් තිබේ.
'අවුරුදු දෙකක් තිස්සේ උපාධිධාරීන් බඳවා නොගැනීම'
මෙම ප්‍රශ්නය යොමු කළ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා, කාලයක් තිස්සේ පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යපානවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගන්නාමුත් පසුගිය වසර දෙකක කාලය එම බඳවා ගැනීම් සිදුකර නොමැති බව සඳහන් කළේ ය.
"මේ ගැටලුවට විසඳුමක් විදිහට රජයේ විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවා. පහුගිය අවුරුදු දෙක තුළ ම ඒ බඳවා ගැනිම සිද්ධවෙලා නැහැ. ඒ අවුරුදු දෙකක් තිස්සේ රජයේ විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපන උපාධිධාරීන් එළියට එනවා, නමුත් ඔවුන්ට අවස්ථාව ලැබිලා නෑ ගුරු වෘත්තියට එක්වෙන්න," ඔහු පැවසීය.
ගුරු හිඟයට කඩිනම් විසඳුමක් ලෙස රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් තිබේ දැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළේ ය.
ගුරුවරුන් බඳවා ගැනීමට ඇති බාධා මොනවා ද?
"මේක බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා අධ්‍යාපන කේෂ්ත්‍රයේ. මුලු ගුරු පුරප්පාඩු හතළිස්දාහක් වෙනවා මේ වෙනකොට," යැයි මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් අගමැතිවරිය ගුරුවරුන් බඳවා ගැනීමට ඇති බාධා ගැන ද සඳහන් කළා ය.
"යම් කිසි නඩු නිසාත් අපිට බඳවා ගැනිම් කිරීමේ බාධාවන් ඇතිවෙලා තියෙනවා. නමුත් මේවා අපි ඉතාමත් ම ඉක්මනින් බඳවා ගැනීම්, උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළටත් යන්න යෝජනා කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, රාජ්‍ය සේවා කොමිසමෙනුත් යම් නිර්දේශ දීලා තියෙනවා අධ්‍යාපන කේෂ්ත්‍රයට කරන බඳවා ගැනීම් විභාගයක් නැතුව කරන්න එපා කියන එක. ඒ නිර්දේශ නිසාත් අපි ටිකක් මේක සැලසුම් කරගෙන යන්න වෙනවා. නමුත් මේ අවුරුද්දේ අග භාගය වන විට මේ පුරප්පාඩු ප්‍රමාණයක් හරි පුරවන්න මේ බඳවා ගැනීම් කරන්න බලාපොරොත්තු වෙනවා," යැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කියා සිටියා ය.
අගමැතිනියගේ බාධා ගුරු සංගමය බැහැර කරයි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අගමැතිනිය පවසන පරිදි අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් බීබීසි සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසීය.
"සංවර්ධන නිලධාරින් ගුරු සේවයට ගැනීම සම්බන්ධව තමයි නඩුවක් තියෙන්නේ. රාජ්‍ය සේවා කොමිසමේ කතාවක් ගුරුවරු බඳවා ගැනීමට නැහැ. ගුරු ව්‍යවස්ථාවේ තියෙනවා ගුරුවරු බඳවා ගැනීමේ ක්‍රමවේද, ඒක තමයි ගුරුවරු බඳවා ගන්න තියෙන එක ම ක්‍රමවේදය. සේවා ව්‍යවස්ථාවට අනුව අවුරුදු 35ට අඩු අය තරඟ විභාගයක් තියලා බඳවා ගන්න ඕනේ," ඔහු පැහැදිලි කළේ ය.
අධ්‍යාපන අමාත්‍යංශයට බඳවා ගත හැක්කේ උපාධිධාරීන් පමණක් බව මෙන් ම ජාතික විද්‍යා පීඨ තුළින් වාර්ෂිකව 5,000ක් පමණ ගුරු සේවයට එක්වන බව ද පැවසූ ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා සඳහන් කළේ, ගුරු වෘත්තිකයන් බඳවා ගැනීමට ඇත්තේ එම ක්‍රම දෙක පමණක් බවයි.
"අධ්‍යාපනවේදී උපාධිධාරීන් මෙච්චර දවස් බඳවා ගත්තේ විභාග නොතියා තමයි. අධ්‍යාපනය සඳහා තමයි ඒගොල්ලන්ගේ උපාධිය තියෙන්නේ. ඒගොල්ලෝ බඳවා ගන්නේ ගුරු සේවයේ දෙකේ දෙක පන්තියට. වෘත්තිය සුදුසුකම් සහිත උපාධිධාරීන් හැටියට ඒ අය බඳවා ගන්නේ," ඔහු පැවසීය.
ගුරු පුරප්පාඩු ගැටලුව විසඳා ගැනීමට වහා ම ක්‍රියා නොකළහොත් මෙම ගැටලුව තවදුරටත් උග්‍ර වනු ඇති බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් අනතුරු ඇඟවීය.














