බස්නාහිර පළාත් රජයේ ගුරුවරුන්ට පමණක් ටියුෂන් තහනම ඉවත් කළේ ඇයි?

Sri Lankan teacher

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බස්නාහිර පළාත් රජයේ පාසල් ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් අය කරගෙන උපකාර පැවැත්වීම තහනම් කරමින් නිකුත් කළ චක්‍රලේඛය දින දෙකක් යන්නටත් පෙර නැවත අහෝසි කර තිබේ.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරිය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය මෙසේ තාවකාලිකව අත්හිටුවා ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ය.

"බස්නාහිර පළාත තුළ ඇතැම් ගුරුභවතුන් තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් වේලාව තුළ, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල, රජයේ නිවාඩු දිනවල විවිධ බාහිර ස්ථානවල මුදල් අය කර අමතර පන්ති පවත්වන බවත් එම පන්තිවලට සහභාගි නොවන සිසුන්ට විවිධ බලපෑම් කරන බවත් විටින් විට වාර්තා වේ," යැයි බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ දෙසැම්බර් 20 වැනිදා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් කර තිබිණි.

ඒ පිළිබඳව සැලකිල්ලට ගනිමින් තමා උගන්වනු ලබන පාසලේ සිසුන්ට මුදල් අය කර පෞද්ගලික පන්ති පැවැත්වීමට සීමා පැනවීමට කටයුතු කර තිබිණි.

නියෝජ්‍ය ඇමතිගේ ඉල්ලීමෙන් තවකාලිකව තීරණය අත්හිටුවයි

අදාළ චක්‍රලේඛය සම්බන්ධව බස්නාහිර පළාත් ආණ්ඩුවකාරවරයාගෙන් තමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම චක්‍රලේඛය තාවකාලිකව අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව ගුරු සංගම් නායකයෙකු මෙන් ම වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන මහින්ද ජයසිංහ පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශය සමග ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තුරු චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා දන්වා ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ බීබීසි සිංහල සේවය කළ විමසීමකදී කියා සිටියේ ය.

කෙසේ වෙතත්, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ වැනි පළාත් කිහිපයක ම මෙසේ තමා උගන්වන පාසලේ සිසුන්ට හෝ තම පන්තියේ දරුවන්ගෙන් මුදල් ලබාගෙන අමතර පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.

බස්නාහිර පළාත විශේෂ ඇයි?

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීමක් අනුව එම සීමා කිරීම තාවකාලිකව ඉවත් කරමින් බස්නාහිර පළාතට පමණක් විශේෂයක් සිදු කිරීමට බලපෑ හේතුව පිළිබඳව අපි අමාත්‍යවරයාගේ විමසීමක් කළෙමු.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"බස්නාහිර පළාතට විශේෂයක් කළා නෙමෙයි. ගොඩක් පළාත්වල ඕක තිබුණේ තම පන්තියේ දරුවන්ට මේක කරන්න බැහැ කියලා සහ පසුගිය කාලේ ආණ්ඩු ඔය තීරණ ගනිද්දි ගුරුවරයාගේ ප්‍රධාන ප්‍රශ්නය ටියුෂන් කරන එක නෙමෙයි නේ. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා, ඒ ප්‍රශ්න කිසිවකට විසඳුම් දෙන්නේ නැතුව ටියුෂන් කරන එක විතරක් පදනම් කරගෙන මේවා කරන එක වැරදි කියන අදහසේ තමයි අපි ඉන්නේ," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

"අපිට ඕනකම තියෙන්නේ තීන්දු අරගෙන මේවා නතර කරන්න නෙමෙයි පාසල් තුළ අධ්‍යාපනය නගා සිටුවන්න. පාසල් තුළ අධ්‍යාපන නගා සිටුවන්න අනිවාර්යෙන් ම ආණ්ඩුව ඉදිරියේදී අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා. දැන් පාසල් තුළ අධ්‍යාපනය බිඳ වට්ටලා තියෙන්නේ පසුගිය කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරපු විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු විවිධ හේතු මත."

"ඉතින් එය යළි නගා සිටුවන්න ඕනේ. යළි නගා සිටුවන්න ඕන කරන වැඩපිළිවෙළ ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශය පැත්තෙන්, ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා එතකොට මෙවැනි ලිපි ගහලා තහනම් කරන්න නීති දාන්න ඕනේ නැති වෙවි," යැයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්වරයා ද වන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසීය.

'ආණ්ඩුවක් හැටියට පොදු තීරණයකට එන්න ඕනෑ'

මෙම ගැටලුවට ආණ්ඩුව පොදු විසඳුමක් ලබා දිය යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් අවධාරණය කරයි.

"එක පළාත් සභාවකට එක තීරණයකුත් තව පළාත් සභාවකට තව තීරණයකුත් විවිධාකාර වෙනකොට ගුරුවරු අතර මේ සම්බන්ධව විචිකිච්චාවක් මතු වෙනවා. අපි දැකලා තියෙනවා මධ්‍යම පළාතේ මෙවැනි උපකාරක පන්ති කරපු ගුරුවරුන්ව මාරු කරලා තියෙනවා විනය ක්‍රියාමාර්ගයක් විදියට."

"සමහර තැන්වල විනය ක්‍රියාමාර්ග ගන්න වැඩපිළිවෙළවල් හදලා තියෙනවා. ඒක නිසා ආණ්ඩුවක් හැටියට පොදු තීරණයකට එන්න ඕන කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේ ම මේක දෙමව්පියන්ගේ පැත්තෙන් එන ඉල්ලීමක්. ඒක නිසා මේක ඉතා ම විචාරශිලීව, සංවේදී ප්‍රශ්නයක් හැටියට ගන්න ඕන කියල යි අපි විශ්වාස කරන්නේ," ජෝසෆ් ස්ටාර්ලින් පැවසීය.

බලවත් ටියුෂන් මාෆියාව

දෙමව්පියන්හට තමන්ගේ ආදායමෙන් 60%කට වැඩි ප්‍රමාණයක් දරුවන්ගේ අධ්‍යාපනයට වෙන් කිරීමට සිදුව ඇති බව මෙන් ම මෙරට පෞද්ගලික උපකාරක පන්ති මාෆියාවක් පවතින බවත් ගුරු සංගම් නායකයා අවධාරණය කළේ ය.

"මේක කොයි තරම් බලවත් ද කිව්වොත් ඒ මාෆියා එකට පුළුවන් වුණා ජනාධිපති අපේක්ෂකයෝ තුන්දෙනාව ම එක වේදිකාවට ගන්න."

අධ්‍යාපනය ගිලගෙන ඇති එම ව්‍යාපාරික මාෆියාව ඇති වීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

"අපි දකින්නේ විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය යි. මොක ද විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට නිපුණතා පාදක අධ්‍යාපනයක් එක්ක මේ අධ්‍යාපනය ඉස්සරහට ගෙනියන්න ඕන. හැම රජයක් ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කරනවා විතර යි ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ."

"විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය අවසන් කිරීම තුළ පමණ යි මේ විශාල මාෆියා එකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. මොක ද ඔවුන් ඒත්තු ගන්වලා තියෙනවා පාසල් අධ්‍යාපනය නෙමෙයි පන්තියට ආවේ නැති නම් ෆේල් වෙනව යි කියන කාරණය," යැයි ගුරු සංගම් නායක පෝස්ෆ් ස්ටාලින් වැඩිදුරටත් පැවසීය.