පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන කතෝලික සභාව සිය ස්ථාවරය පැහැදිලි කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
"දැනට සිදුව ඇති අත්අඩංගුවට ගැනීම පිළිබඳව විවිධ අර්ථකථන දී, සමාජය තුළ වැරදි ආකල්ප සහ වැරදි අදහස් ගොඩනගන්නා ඕනෑම උත්සහයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන," බව අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා බ්‍රහස්පතින්දා (පෙබ:26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එම මාධ්‍ය හමුව පැවැත්වූයේ, ඊයේ (පෙබ: 25) රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් පසුබිමක ය.
"අපි දැක්කේ, මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආගමික නායකයෙක්, ආරක්ෂක අංශයක නිලධාරියෙක්, හමුදා සාමාජිකයෙක්, දේශපාලකයෙක් හෝ ප්‍රභූවරයෙක් යන හැඳින්වීම් ඉදිරිපත් කරමින්, නීතියෙන් වෙන් කර බැලිය යුතු පුද්ගලයෙකු ලෙස පෙන්වීමට උත්සහ කරන අදහස්. එවැනි අදහස් සම්පූර්ණයෙන් ම වැරදි යි."
"අපි මතක තබා ගත යුතු මූලික කරුණක් තියෙනවා. ඒ තමයි නීතිය හැම කෙනෙකුට ම එක සේ, සාධාරණව ක්‍රියාත්මක විය යුතු බව. කවුරුත් නීතියට ඉහළින් නැහැ කියන මූලධර්මය යි නීතියේ ආධිපත්‍යය කියන්නේ. ඒ නිසා, කෙනෙකුගේ තනතුර, වෘත්තිය, හෝ අතීතයේ කළ යහපත් කාර්යයන් කිසිවක් නීතිය ක්‍රියාත්මක වීමේදී අදාළ නොවෙයි. නීතියේ ආධිපත්‍යය සත්‍ය ලෙස ස්ථාපනය වීමට නම්, එය බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට හැමෝම දායක විය යුතු යි. ඒකට බාධා කිරීම කිසිසේත් ම සුදුසු දෙයක් නෙමෙයි."
පාස්කු ඉරිදා ප්‍රහාරය සහ විමර්ශන
'කතෝලික සභාවේ ස්ථාවරය පැහැදිලි කිරීමේ' අරමුණින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් ඊයේ (පෙබ:25) සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ද අදහස් පළ කළේ ය.
"දැනට එම පුද්ගලයා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ විය හැකි ද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සැකකරු ලෙස පමණක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වැරදිකරුවෙක් ද නැද්ද කියන එක තීරණය කරන්නේ අධිකරණය විසින්. ඒ නිසා, මේ අවස්ථාවේ කලබල වී අවසන් තීන්දුවක් දෙන ප්‍රකාශ කිරීම හෝ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය මත පැතිරවීම කිසිසේත් ම සුදුසු නෑ... රටක් ලෙස අපි කළ යුත්තේ, මේ විමර්ශන දිහා ඉවසීමෙන්, විමසිල්ලෙන් බලා සිටීම යි. විමර්ශනවල ප්‍රතිඵල මොනවා ද කියලා බලලා, නීතියට ඉඩ දීම තමයි වගකීම."
'නිසි විමර්ශනයක් සිදු වුණේ නැහැ'
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය පුරා නිසි විමර්ශනයක් සිදු නොවූ බව ද සිරිල් ගාමිණී පියතුමන් පැවසීය.
"අපි හැමෝම දන්නා කරුණක් තමයි, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය පුරා නිසි විමර්ශනයක් සිදු නොවූ බව. විශේෂයෙන් ම, පසුගිය ආණ්ඩු කාලවලදී මේ විමර්ශන ප්‍රායෝගිකව ඇණහිට තිබුණා කියන එක ප්‍රසිද්ධ කරුණක්. කතෝලික සභාව හැටියට අපි අවුරුදු හතක් පුරා ඉවසීමෙන් යුක්තිය, සාධාරණත්වය සහ සත්‍යය ඉල්ලා සිටියා. අපි නිතර ම ඉල්ලා සිටියේ, ස්වාධීන, පක්ෂපාතී නොවන විමර්ශනයක් සිදු කරලා, මේ මහත් ඛේදවාචකය පිටුපස සැඟවී ඇති සත්‍යය හෙළි කරලා, වරදකරුවන් සියලු දෙනාට නීතිය අනුව දඬුවම් ලබා දෙන ලෙස යි."
පියතුමන් ප්‍රකාශ කළේ, "2024 නොවැම්බර් මාසයෙන් පසු, නැවත වරක් මේ විමර්ශන ක්‍රියාවලිය ක්‍රමවත් ලෙස ආරම්භ වූ" අතර, "මාස 16කට ආසන්න කාලයක් පුරා මේ විමර්ශන ස්වාධීනව සිදුවෙමින් පවතින බව අපට පෙනෙන" බව ය.
"ඒ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස යි දැන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ."
දේශපාලනීකරණය පිළිබඳ ස්ථාවරය
මෙම ක්‍රියාවලිය දේශපාලන කරුණක් ලෙස අර්ථකථනය කිරීමට හෝ ජාතිවාදය, ආගම්වාදය අවුස්සා මේ විමර්ශනවලට බාධා කිරීමට උත්සහ කිරීම, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සෑම අහිංසක ජීවිතයකට ම සහ තවමත් ජීවිත කාලය පුරා වේදනාවෙන් ජීවත් වන වින්දිතයන්ට කරන දැඩි අසාධාරණයක් බව ද මෙහිදී ප්‍රකාශ විය.
"මේක සාමාන්‍ය අපරාධයක් නෙමෙයි. මෙය මිනිස් ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් අහිමි කළ, රට ම කම්පනයට පත් කළ මහා සමූල ඝාතනයක්. ඒ නිසා, මේකේ පිටුපස තිබෙන සත්‍යය හෙළි විය යුතු යි."
මාධ්‍යවලින් කළ ඉල්ලීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන දේශපාලන කෝණයකින් වාර්තා නොකරන ලෙස ද සිරිල් ගාමිණී පියතුමන් ඉල්ලීමක් කළේ ය.
"මාධ්‍ය ආයතනවලින් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, මේ කරුණ දේශපාලන කෝණයකින් වාර්තා නොකරන්න කියලා. මාධ්‍ය ස්වාධීන නම්, කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පිරිසකට අවශ්‍ය විදිහට මේ කාරණා වක්‍ර කරලා ඉදිරිපත් කිරීම සුදුසු නැහැ. අවසානයේ අපි හැමෝගෙන් ම ඉල්ලා සිටින්නේ, මේ විමර්ශන ස්වාධීනව, බාධාවකින් තොරව ඉදිරියට යාමට ඉඩ දෙන්න කියලා. යුක්තිය ප්‍රමාද වුණත්, අවසානයේ එය ඉෂ්ට වෙයි කියන විශ්වාසය අපට තියෙනවා."
"මෙම සිදුවීම සම්බන්ධයෙන් පවතින විමර්ශන තවදුරටත් පවත්වාගෙන යමින් සිටිනවා. මේ දක්වා දින කිහිපයක් ඇතුළත අප දන්නා පරිදි, මෙම සිදුවීමට සම්බන්ධ හෝ සම්බන්ධ විය හැකි පුද්ගලයන් 100කට අධික සංඛ්‍යාවකින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා."
"ඒ අනුව, මේ සිදුවීම පිටුපස ඇති මාර්ගය කුමක් ද, එම මාර්ගය තුළ කවුද සම්බන්ධ වී සිටින්නේ ද යන්න පිළිබඳව අපි සූක්ෂමව අවධානය යොමු කරමින් සිටිනවා. මෙහි අවසන් ප්‍රතිඵලය කෙසේ වේ ද යන්න පිළිබඳව සමහර පුද්ගලයන් අතර බිය සහ කල්පනා ඇතිව තිබෙන බව ද අපට හැඟෙනවා. එම ප්‍රතිඵලය තමන්ට දරාගත නොහැකි තත්ත්වයක් විය හැකි ද යන්න පිළිබඳව සමහරුන් කල්පනා කරමින් සිටිනවා. නමුත් ඒ ගැන අනවශ්‍ය ලෙස කල්පනා කිරීමට අවශ්‍ය නැහැ."
"එහෙත්, මෙම සිදුවීම තුළ ඇතැම් සංවිධාන හෝ කණ්ඩායම් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජන හෝ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා මේ සිද්ධිය භාවිත කිරීමට උත්සහ කරන්නේ ද යන්න පිළිබඳව ද කතාබහක් පවතිනවා. තව ද, සිද්ධියට පෙර සිදුවූ නමුත් සඟවා තබාගත් කරුණු සහ ඒවාට අදාළ පරීක්ෂණ පවා මේ වන විට සිදු වෙමින් පවතින බව වාර්තා වෙනවා."
"මෙම සියලු කරුණු නිසි ලෙස හඳුනාගෙන, ස්වාධීනව හා සාධාරණව විමර්ශනය කර සත්‍යය හෙළි කරගත්ත පසු, එය පසුපස ඇති දේශපාලන හෝ වෙනත් කුමන්ත්‍රණ තිබුණා ද යන්න ද පැහැදිලිව හෙළි කර ගැනීමට හැකි වේවි."
මෙම විමර්ශන ඉතා ස්වාධීනව කළ යුතු බව ද පියතුමන් පැවසීය.
"මෙම විමර්ශන මුල සිට ම ඉතා ස්වාධීනව සිදු කළ යුතු යි. මිනිසුන් මරා, තමන්ගේ අදහස් හෝ දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කළ පිරිස් තවමත් නිදහසේ සිටිනවා නම්, එය රටේ ආරක්ෂාව පිළිබඳ අතිශය බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙනවා."
"රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීමටත්, ජනතාවට නීතිය ස්වාධීනව හා සාධාරණව ක්‍රියාත්මක වන බවට විශ්වාසය ඇති කිරීමටත්, එවැනි සියලු පිරිස් නීතිය ඉදිරියට ගෙන ඒම අත්‍යවශ්‍ය වෙනවා. එවිට පමණයි ජනතාවට නීතිය සැබෑවට ම ක්‍රියාත්මක වන බව හැඟෙන්නේ."


































