පාස්කු ඉරිදා ප්‍රහාරයේ වන්දි නිසි පරිදි ගෙව්වා ද?: ශ්‍රේෂ්ඨාධිකරණය සවිස්තරාත්මක වාර්තාවක් ඉල්ලයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මීළඟ නඩු දිනයට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැ. 18) නීතිපතිවරයාට නියෝග කළේ ය.
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි චෝදනා කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මෙම දැනුම් දීම සිදුකළා ය.
මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ, මීට පෙර මෙම පෙත්සම්වලට අදාළව අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ නියෝගවලට අනුව මේ වන විට හානිපූර්ණය සඳහා වන කාර්යාලය වෙත රුපියල් මිලියන 311ක වන්දි මුදලක් ලැබී ඇති බව ය.
මෙහිදී විනිසුරු මුර්දු ප්‍රනාන්දු අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් එම වන්දි මුදල් ගෙවා තිබෙන ආකාරය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේදැයි විමසා සිටියා ය.
ඒ අනුව, අදාළ අරමුදලට ලැබී තිබෙන සම්පූර්ණ වන්දි මුදල් පිළිබඳ වාර්තාවක් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසීය.
මෙම නඩුකර අද දින කැඳවනු ලබන්නේ අදාළ වන්දිත් මුදල් ගෙවා තිබෙන ආකාරය පිළිබඳව සොයා බැලීමට යැයි පෙන්වා දුන් විනිසුරු මුර්දු ප්‍රනාන්දු අදාළ වන්දි මුදල් ගෙවා තිබෙන ආකාරය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයි දැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ගෙන් ප්‍රශ්න කළා ය.
එම වන්දි මුදල් ගෙවා තිබෙන ආකාරය පිළිබඳව දැන ගැනීමට වින්දිත පාර්ශවයන්ට අයිතියක් ඇතැයි සඳහන් කළ විනිසුරු තුරෙයි රාජා මෙම වින්දිතයින්ට රජයෙන් සහ අධිකරණ නියෝග මත අය කරගත් වන්දි මුදල්වලින් වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම වැදගත් බවත් සඳහන් කළේ ය.
මෙහිදී අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා අධිකරණය හමුවේ සඳහන් කළේ, දැනට වින්දිතයින්ට වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළත් එය නිකුත් කිරීම හානිපූර්ණය සඳහා වන කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් කළේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මීළඟ නඩු දිනයට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරියට නියෝග කළා ය.
එම වාර්තාවේ පිටපත් අගතියට පත් පාර්ශවයට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ලබා දීමට පියවර ගන්නා ලෙස ද විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරියට වැඩිදුරටත් නියෝග කළේ ය.
ඉන් අනතුරුව අදාළ පෙත්සම් පෙබරවාරි මස 27 වන දා යළි කැඳවීමට නියෝග කෙරිණි.














