පාස්කු ඉරු දින ප්‍රහාරය: ගම්මන්පිල හෙළිදරව් කළ වාර්තා කතෝලික සභාව ප්‍රතික්ෂේප කරයි
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හෙළි කළ වාර්තා දෙක ජනාධිපතිවරණය ආසන්නයේ, මසක් පමණ කෙටි කලකින් රහසිගතව සකස් කර ඇත්තේ දේශපාලන බලපෑම් මත බවත්, එම වාර්තා පිළි නොගන්නා බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (ඔක්තෝම්බර් 22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.
''ඡන්දෙට ඉස්සෙල්ලා ඉක්මනින් වාර්තාවක් හදල දෙන්න තිබුණු කඩි කුලප්පුව මම දකින්නේ අපේ රදගුරු මණ්ඩලයට බොරුවක් කරලා, විමර්ශන කළා කියලා වැරදි මගපෙන්වීමක් කරන්න ගත්ත උත්සහයක් විදිහට යි. මේ වාර්තා සකස් කිරීමේදී අපේ නීතිඥයන්ටවත්, වෙනත් බාහිර නීතිඥයෙකුටවත් අදාළ පාර්ශවයන් වෙනුවෙන් පෙනී ඉඳලා අදහස් දක්වන්න ඉඩ ලැබුණේ නැහැ. මේ රහසිගත විමර්ශන දේශපාලන බලපෑම් මත වූ ඒවා බැවින් අපි ඒ වාර්තා පිළිගන්නේ නැහැ,'' යනුවෙන් කාදිනල් හිමියෝ සඳහන් කළහ.
''ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේත් ඔය කරුණු පිළිබඳව ම විමර්ශනය කළානේ. කවුද වගකීම පැහැර හැරියේ කියන පිරිස හඳුනාගෙන චෝදනා ඉදිරිපත් කළා. ඒ නම් අතරේ රවී සෙනෙවිරත්න හෝ ශානි නෑ. ඒ වගේ ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වර්තාවලත් ඒ දෙන්නගේ නම් නෑ. කිසි ම කොමිෂන් සභාවක, කොමිටියක චෝදනා ලබපු නැති දෙන්නෙකුට ඇයි මේ හිටි හැටියේ ම කමිටුවක් දාලා ඒ නම් දෙක ඇතුල් කරන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක්,'' යනුවෙන් කාදිනල් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ ය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ පොලිස් සේවයට නැවත බඳවාගත් ශානි අබේසේකර පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චූදිත ලැයිස්තුවට ඇතුළත් වන බවට සඳහන් කරමින් උදය ගම්මන්පිල ඊයේ වාර්තා දෙකක් පදනම් කරගෙන අදහස් පළ කිරීම ගැන ප්‍රතිචාර දැක්වීමට කතෝලික සභාව මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.









