ශානි අබේසේකර: යළි සේවයට කැඳවා ඇත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Screenshot
ජීවිත තර්ජන, අනපේක්ෂිත බන්ධනාගාර ගත කිරීම් හා විවිධ අසාධාරණකම්වලට ලක්වු කීර්තිමත් විමර්ශන නිලධාරියෙකු ලෙස සැකලෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (විශ්‍රාමික) ශානි අබේසේකරට නව රජය විසින් අලුත් වගකීමක් පවරනු ලැබ තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ශානි අබේසේකර ව වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත අලුතින් පත් කර ඇත්තේ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පරිබාහිර වූ වෙනත් කොට්ඨාසකට ය.
ඒ, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ය.
මේ යටතේ අපරාධ බුද්ධි විශ්ලේෂණය සහ විමර්ශන මෙහෙයවීම ඔහුට පැවරෙන ප්‍රධාන වගකීම වනු ඇත.
ජාතික පොලිස් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, 2024 ඔක්තෝබර් 10 වැනිදා පැවති කොමිෂන් සභා සැසිවාරයේදී ඔහුගේ පත් කිරීමට අනුමැතිය ලබාදීමට තීරණය කර ඇති බව ය.
පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා ඇති බැවින්, මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ණ එකඟතාවය මත මෙම පත් කිරීම් සිදුකර ඇති බවද පොලිස් කොමිෂන් සභාව සඳහන් කළේය.
බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ශානි අබේසේකර පැවසුවේ, ඉදිරියේදී තමන් අදාළ ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බව ය.
නව රජය කඩිනම් කිරීමට බලාපොරොත්තු වන විමර්ශන 7 කුමක් ද?
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක වින්දිතයින් හමුවේ සහතික විය.
ඒ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ය.
ඒ අනුව බැඳුම්කර ගනුදෙනු සිද්ධිය, පාස්කු ප්‍රහාරය ඇතුළු අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධ විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
- පස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනය
- 2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව
- ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ සියදිවි නසාගත් බව කියන සිද්ධිය
- 2007 වසරේදී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් අතුරුදන් වීමේ සිද්ධිය
- 2023 වසරේදී වැලිගම W15 හෝටලය ඉදිරිපිටදී වැලිගම පොලිසිය විසින් වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු මිය යෑමේ සිද්ධිය
- 2005 වසරේදී මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකිගේ ඝාතනය
- 2011 වසරේ යාපනය ප්‍රදේශයේදී සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් (ලලිත් - කූගන්) අතුරදන් වීමේ සිද්ධිය
අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ අලුතින් සිදුවු වෙනස්කම් මොනවාද ?
අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පී.අම්පාවිල අලුතින් පත් කෙරුණි.
ඒ, මෙතෙක් එම ධුරය දැරූ නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ප්‍රේමරත්න බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවමින් ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව (CID) භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස අලුතින් පත්වීම් ලද, පී . අම්පාවිල පොලිස් මූලස්ථානයට අනුයුක්තව මුදල් විශුද්ධිකරණය හා සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා (මුල්‍ය බුද්ධි ඒකකය 02) සහ පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම සහ අතත්‍ය මුදල් පිළිබඳ විමර්ශනය කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත කර ඇති විශේෂ විමර්ශන ඒකකයන්හි රාජකාරි අධීක්ෂණ තනතුරේ මීට පෙර රාජකාරි කරනු ලැබීය.
ශානි අබේසේකරගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වූ විමර්ශන මොනවා ද?
- පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර
- රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය
- කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම,
- භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය
- මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය
- රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන
- රෝයල් පාර්ක් ඝාතනය
- අඟුලාන ද්විත්ව මිනීමැරුම
- උඩතලවින්න ඝාතනය
- මොහොමඩ් සියාම් ඝාතනය
වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශනවල කටයුතු වල නියැළුණු නිලධාරියෙක් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර හැඳින්විය හැකිය.
යහපාලන රජය පත්වීමත් සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 2005-2015 පාලන කාලය තුළ සිදුවූ අපරාධ විමර්ශන සිදුවීම් නැවත විමර්ශනය ආරම්හ වූ අතර ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා එම විමර්ශන බොහොමයක් භාරව කටයුතු කළ අය අතර වූහ.
රාජපක්ෂවරු සහ ඔවුන්ගේ සමීපතයන් අත්අඩංගුවට ගැනීමට දේශපාලන බලපෑම් මත කටයුතු කළ බවට ඔවුන්ට ඒ අවස්ථාවේදීත් චෝදනා එල්ලවූ අතර ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කරමින් තමන් කරන්නේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පමණක් බව අවස්ථා ගණනාවකදී සඳහන් කර තිබුණි.
කෙසේවෙතත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්ව සතියක් ගතවීමටත් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය හෙඹවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කිරීමට 2019 වසරේ නොවැම්බර් මස පියවර ගැණුනි.
ස්ථාන මාරුව ක්‍රියාත්මක වන අවස්ථාව වනවිට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මරණ ප්‍රහාර සම්බන්ධයෙන් ඔහුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබූ අතර, ඒ පිළිබඳව සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ ද ඔහු සාක්ෂි දුන්නේය.
ශානිගේ පත් කිරීම අතිශය විවාදාත්මක මෙන්ම ප්‍රශ්නගත තීරණයක්
ශානි අබේසේකර යළි පොලිස් සේවයේ පිහිටුවා ඇත්තේ නිවැරදි කාල සමයක නොවන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසන්නේ, පසුගිය ජනාධිපතිවරණ සමයේ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය උදෙසා කටයුතු කළ විශ්‍රාමික පොලිස් නිලධාරින්ගේ සාමුහිකය නියෝජනය කළ සාමාජිකයෙකු වන ශානි අබේස්කර මෙවන් තීරණාත්මක මැතිවරණ ප්‍රචාරක කාලසීමාවක පොලිස් ඒකකයක අධ්‍යක්ෂ ධුරයක් සඳහා පත් කිරීම අතිශය විවාදාත්මක මෙන්ම ප්‍රශ්නගත තීරණයක් බව ය.

ඡායාරූප මූලාශ්‍රය, IRES

ඡායාරූප මූලාශ්‍රය, IRES
ශානි අබේසේකරට එල්ල වූ චෝදනාව කුමක්ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2013 වර්ෂයේදී කොළඹ ප්‍රදේශයේදී මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 6 දෙනෙකු වැරදිකරුවන් කරමින් ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබිය.
එලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු සමීර ද වාස් ගුණවර්ධන, දිසානායක මුදියන්සේලාගේ කැළුම් රංගන දිසානායක, බමුණුසිංහ ආරච්චිගේ ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ, අතපත්තුගේ ගාමිණී සනත්චන්ද්‍ර හා ආනන්ද පතිරණගේ ප්‍රියන්ත සංජීව යන විත්තිකරුවන්ටය.
මෙම ඝාතන සිද්ධියට අදාළ නඩුවේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට එරෙහිව ව්‍යාජ සාක්ෂි සැකසූ බවට චෝදනා කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ශන භාරව කටයුතු කළ ශානි අබේසේකරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ කොළඹ අපරාධ කොට්ඨාශයට 2020 වසරේදී පැමිණිල්ලක් ගොනු කළේය.
ඒ අනුව 2020 වසරේ ජුලි මස 31 වෙනිදා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එවකට වැඩ තහනම්ව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබීය.
මාස 10ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ
ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් ශානි අබේසේකරට මාස 10යි දින 08ක් බන්ධනාගාර ගතව සිටීම ට සිදුවිය.
මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටියදී ඔහුට කෝවිඩ්-19 ආසාදිතවූ අතර පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත් වීම මත ඔහු IDH රෝහලට ඇතුළත් කරනු ලැබීය.
එම කාල සීමාවේදී ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය හමුවේ ඇප අයැදුම් ඉදිරිපත් කරනු ලැබුවද ඒවා ප්‍රතික්ෂේප කෙරුණි.
ඉන් පසුව අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ ඇප අයැදුම්පත සලකා බැලීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු සැකකරුවන්ට 2021 වසරේ ඔක්තෝම්බර් මස 16 වැනිදා ඇප නියම කරනු ලැබීය.
අනතුරුව (2023 අගෝස්තු 25 වැනිදා) හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධ නඩුවට අදාළ චෝදනා වලින් ශානි අබේසේකර ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ශානිගෙන් නඩු ගොන්නක්
ශානි අබේසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ තමන්ට සිදුවූ ආසාධාරණකම් හේතුවෙන් මුලික අයිතිවාසිකම් සහ වන්දි නඩු 15ක් පමණ ගොනු කර ඇත.
මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ සේවා කාලය තුළදී අපරාධ රාශියක සුලමුල හෙළිකර ගැනීමට සමත් වූ ප්‍රවීන විමර්ශන නිලධාරියෙකු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර හට පුර්ණ විශ්‍රාමය ගෙවන ලෙස ජාතික පොලිස් කොමිසම මීට පෙර නියෝග කර තිබුණි.
මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජාතික ජනබලවේගයට අනුබද්ධ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ එකතුව විසින් සංවිධාන කරන ලද සමුළුවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, හිටපු CID අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු විශ්‍රාමික පොලිස් නිලධාරීහූ කිහිපදෙනෙක් සහභාගී වූහ.
ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු පිහිට වූ රජය යටතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් කෙරුණු අතර දැන් (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොන්ත්‍රාත් පදනමින් යළි සේවයේ පිහිටවා තිබේ.














