අනුර කුමාර දිසානායක : නව ජනපති අලුත් ලේකම්වරුන් පත්කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙකු පත් කර තිබේ.ඒ අනුව එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයටත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයටත් පත් කර තිබේ. කේ.ආනන්ද විජයපාල ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස පත් කර තිබේ.

සාරාංශය

  • අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි.
  • ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ලෙස පත්කෙරේ.
  • එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා නව ආරක්ෂක ලේකම් ධුරයට.
  • හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට.
  • කේ.ආනන්ද විජයපාල ජනාධිපති පෞද්ගලික ලේකම් ධුරයට.
  • නව ජනපති අනුරගේ කැබිනට් මණ්ඩලය කුමක් වෙයි ද? ඉදිරි පියවර මොනවා ද?

සජීවී වාර්තාකරණය

සංස්කරණය ඉෂාරා ධනසේකර, ප්‍රවෘත්ති සංස්කාරක, බීබීසී සිංහල / සම්පත් දිසානායක , ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු, බීබීසී සිංහල

  1. අනුරගේ මන්ත්‍රී පුටුවට ලක්ෂ්මන් නිපුණ ආරච්චි

    අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි තෝරා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (සැප්තැම්බර් 23) නිකුත් කරනු ලැබීය. අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයෙන් දිවුරුම් දීමෙන් පසු සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු විය. ඒ පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙනු ලැබීමෙන් අනතුරුව 2020 මහ මැතිවරණයේ මනාප ලැයිස්තුව සැලකිල්ලට මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ පත් කිරීම සිදු කරනු ලැබ ඇත.

    අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි තෝරා පත් කරනු ලැබ තිබේ.

    ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (සැප්තැම්බර් 23) නිකුත් කරනු ලැබීය.

    අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයෙන් දිවුරුම් දීමෙන් පසු සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු විය.

    ඒ පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙනු ලැබීමෙන් අනතුරුව 2020 මහ මැතිවරණයේ මනාප ලැයිස්තුව සැලකිල්ලට මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ පත් කිරීම සිදු කරනු ලැබ ඇත.

  2. රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට

    හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර තිබේ.

    ඒ අනුව අද දිනයේම ඔහු එම ධුරයේ වැඩ භාර ගෙන ඇත.

    රවී

    ඡායාරූප මූලාශ්‍රය, Ministry of Public Security

  3. නව ආරක්ෂක ලේකම්වරයෙක්

    නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් සංජීව තුයියකොන්තා පත් කෙරෙයි.

    ඔහු 1988 වසරේ මැයි මස 17 වනදා ශ්‍රී ලංකාව ගුවන් හමුදාවේ නියමු නිලධාරියෙකු වශයෙන් සේවයට එක්ව උතුරු නැගෙනහිර යුද්ධය ඇතුළු මෙහෙයුම් ගණනාවකට සහභාගි වී ඇත.

    ඔහු තම සේවා කාලය තුළ වීරවික්‍රම විභූෂණ, රණශූර ඇතුළු පදක්කම් රැසක් ලබා තිබේ.

    ආරක්ෂක

    ඡායාරූප මූලාශ්‍රය, PMD

  4. චීන ජනාධිපතිගෙන් සුබ පැතුම්

    චීන ජනාධිපති ෂී ජින් පිං විසින් නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක වෙත සිය සුභාශිංසන එක් කර තිබේ.

    දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීම, එක් තීරයක්- එක්මාවතක් වැඩසටහන තුළින් වඩාත් ඵලදායි ප්‍රතිඵල අත්කර ගැනීම ඇතුළුව චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට ඉතා වැදගත් වන සාම්ප්‍රදායික මිත්‍රත්වය ඒකාබද්ධව ඉදිරියට ගෙන යාම සඳහා නව ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට අදහස් කරන බවද ෂී ජින් පිං නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙයි.

  5. නව ජනපති අනුර කුමාර දිසානායකට ඇමෙරිකාවෙන් සුබපැතුම්

    ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජනපදය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබපැතුම් පළ කර තිබේ.

    ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සාමකාමීව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිත කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රශංසා කරන බවය.

    මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සහ සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග ඔස්සේ තම අනාගතය හැඩගස්වා ගැනීමට ශ්‍රී ලංකා පුරවැසියන්ගේ කැපවීම පිළිබඳ සාක්ෂියක් බව ඔහු පෙන්වා දෙයි.

    ඇමෙරිකාව පෙන්වා දෙන්නේ ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩනඟා ගැනීමට දරන ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජනපදය කැපවී සිටින බවය.

    පොදු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ජාතික ස්වෛරීභාවයට ගරු කිරීම මත පදනම්ව, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

  6. නව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක

    Dr. N.S. Kumanayake

    ආචාර්ය නන්දික සනත් කුමානායක නව ජනාධිපති ලේකම් ලෙස පත්කර තිබේ.

    ඔහු සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි.

    ආචාර්ය නන්දික සනත් කුමානායක කැළණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.

    ඔහු ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ ඒකකයේ සහ අභ්‍යන්තර කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කර තිබේ.

  7. නව ජනපති අනුරගේ කැබිනට් මණ්ඩලය කුමක් වෙයි ද? ඉදිරි පියවර මොනවා ද?

    ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසා තිබිණි.

    ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඔහුට ගත හැකි ක්‍රියාමාර්ග මොනවා ද?

    මේ, ඒ පිළිබඳව ව්‍යවස්ථා කටයුතු විශේෂඥයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කළ පැහැදිලි කිරීමකි.

    අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් විගස පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඊළඟ මහ මැතිවරණය අවසන් වන තෙක් වත්මන් කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වන බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

    “ජනාධිපති වුණු ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා ඒ මොහොතේ ඉන්න අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමග වැඩ කරගෙන යන්න, මහ මැතිවරණය අවසන් වන තුරු.”

    මේ වන විට දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වී ඇති හෙයින් නව කැබිනට් මණ්ඩලයක් පත් කළ හැකි ය.

    අනුරට අලුත් කැබිනට් මණ්ඩලයක් හදන්න පුළුවන් ද?

    දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමෙන් පසු කැබිනට් මණ්ඩලය ද අහෝසි වී තිබේ.

    ඒ අනුව, අනුර කුමාර දිසානායකට අවශ්‍ය පරිදි නව කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමට අවස්ථාව ලැබී ඇතැයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

    කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින්නේ තිදෙනෙකි.

    ඒ, මහාචාර්ය හරිණි අමරසූරිය, විජිත හේරත් සහ අලුතින් දිවුරුම් දීමට නියමිත ලක්ෂ්මන් නිපුනආරච්චි (අනුර කුමාර දිසානායකගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ලක්ෂ්මන් නිපුනආරච්චි දිවුරුම් දීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය) ය.

    ඒ අනුව, අනුර කුමාර දිසානායක යටතේ අග්‍රාමාත්‍ය ධූරයට කාන්තාවක පත්වීමට ද ඉඩකඩ තිබේ.

    අනුර කුමාර දිසානායකට තමන් ඇතුළු සිව් දෙනාගෙන් නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට හැකියාව තිබේ.

    “අනුරට පුළුවන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කැබිනට් මණ්ඩලයක් හදන්න විතර යි. එයාගේ දැනට තුන් දෙනෙක් ඉන්නවා. අනුර ගියා ම තව එක් කෙනෙක් එනවා පාර්ලිමේන්තුවට. එතකොට හතර දෙන යි. එතකොට ඒ හතර දෙනා අතරෙ තමයි කැබිනට් මණ්ඩලය බෙදා ගන්න වෙන්නේ,” ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසීය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මහ මැතිවරණයක් සඳහා නාම යෝජනා භාර ගැනේ.

    ඉන්පසු, සති 5 සිට 8 දක්වා කාලයක් තුළ මැතිවරණය පැවැත්විය යුතු ය.

    නව පාර්ලිමේන්තුව රැස් වන දිනය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයේ සිට මාස 3ක් ඇතුළත විය යුතු බව ද ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

  8. ‘අපේ ජයග්‍රණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳ අපිට හොඳ අවබෝධයක් තිබෙනවා.’- අනුර කුමාර දිසානායක, 'මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මා මැජික්කරුවෙක් නොවේ. මේ රටේ ඉපදුණ සාමාන්‍ය පුරවැසියෙක්.'

    වීඩියෝ ශීර්ෂ වැකිය, ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා කළ කතාව

    09 වැනි විධායක ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දැක්වූ නව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ ශ්‍රී ලංකාවට ලෝකයෙන් හුදෙකලාව කටයුතු කළ නොහැකි බවය.

    “අපි දන්නවා අපේ රටට ජාත්‍යන්තරමය සහය අවශ්‍යයයි. කවර බල බේදීම තිබුණත් අපිට වඩාත් වාසි සහගත ලෙස ඒ ඒ රාජ්‍යන් එක්ක කටයුතු කිරීමට අපගේ අපේක්ෂාව තිබෙනවා."

    "අපි ලෝකයෙන් හුදෙකලා වී වැඩ කටයුතු කළ යුතු රාජ්‍යයක් නොවෙයි. ලෝකයත් එක්ක සාමූහිකව ඒකාබද්ධව ඉදිරියට යා යුතු රාජ්‍යයක්. ඒ පිළිබඳව අවශ්‍ය තීන්දු තීරණ ගන්න අපි පැකිලෙන්නේ නැහැ.” නව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ඔහු කියා සිටියේ රට රට ගොඩ නැගීමේදී කර්මාන්ත කරුවන්ට හා ව්‍යවසාකයින්ට විශාල කාර්යභාරයක් ඇති බවය. ජනාධිපතිවරයා පැවසුවේ ඔවුන් “වඩාත් ශක්තිමත්ව රට ගොඩ නැඟීම සඳහා රජයේ ක්‍රියාවලියට සහය දෙයි. උදව් කරයි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා.” යනුවෙනි.

    එමෙන්ම තමාව විශ්වාස නොකළ පුර වැසියන්ගේ විශ්වාසය දීනා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

    “අපේ රටේ ප්‍රජාන්ත්‍රවාදය විසින් නව ජනාධිපති තෝරාපත් කර ගෙන තිබෙනවා. ඒ තෝරා පත් කර ගැනීම සඳහා ජනතාව මට ඡන්දය දීලා තියෙනවා. මට ලබා නොදුන් ඡන්ද ප්‍රමාණයකුත් තිබෙනවා. ඒ නිසා අපේ ජයග්‍රණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳ අපිට හොඳ අවබෝධයක් තිබෙනවා.”

    “ඒ නිසා මාගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්ය තමා අපට සහය නොදුන් අපිව විශ්වාස නොකරන පුරවැසියන්ගේ සහය ලබා ගැනීම සඳහා විශ්වාසය ගොඩ නඟා ගැනීම.”

    “ඉදිරියේදී මේ සියල්ල අත්දැකීමෙන් දැක ගන්න පුළුවන් වෙව්.” ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසීය.

  9. අනුර කුමාර දිසානායක : ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනපතිවරයා ලෙස ධුරයේ දිවුරුම් දෙයි

    වීඩියෝ ශීර්ෂ වැකිය, 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දුන් අවස්ථාව.

    09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක අද උදෑසන (23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.

    ඒ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ, අනුර කුමාර දිසානායක මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුනී.

    2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ඡන්ද 5,740,179 ක් ලබාගනිමින් ජයගත්තේය.

    ඔහුගේ ජයග්‍රහණය ඉතිහාසගත වන්නේ, පාර්ලිමේන්තුව තුළ ආසන 3ක් සහිතව සමාජවාදී නැඹුරුවක් සහිත පක්ෂයකින් තේරී පත්වූ මෙරට පළමු ජනාධිපතිවරයා ලෙස ය.

    අනුර කුමාර දිසානායක 2019 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී ද ජනාධිපති ධූරය සඳහා තරග කළ අතර එහිදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ, ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 3%කට ආසන්න ප්‍රතිශතයකි.

  10. දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් දන්වයි.

  11. ශ්‍රී ලංකා දේශපාලනයේ නව පරිච්ඡේදයක්

    19505947- leaderboard

    2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ජයහිමි කර ගත්තේය. ඔහු හිමිකර ගත් ඡන්ද සංඛ්‍යාව 5,740,179 කි.

    ඒ අනුව අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

    මෙවර ජනාධිපතිවරණය ඉතිහාස ගත වුණේ මනාප ඡන්ද ගණන් කළ පළමු අවස්ථාව ලෙසය.

    2024 ජනාධිපතිවරණය ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරග කළ මැතිවරණය වන අතර ඊට තරග කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 39කි.

    නාම යෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයෙකු මැතිවරණයට පෙර මිය යෑම හේතුවෙන් සැබෑ ලෙසම මැතිවරණයට තරග කළේ අපේක්ෂකයින් 38 දෙනෙකු පමණි.

    මෙවර ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ සමගි ජනබලෙව්ගය නායක සජිත් ප්‍රේමදාසය.

    19502192
  12. අනුර කුමාර දිසානායකගෙන් පණිවුඩයක්

    "සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. මේ සිහිනය සැබෑ කරගනු පිණිස ඉමහත් දුෂ්කරතා මැද ලක්ෂ සංඛ්‍යාත ඔබ සැම පසුගිය කාලය පුරා දැරූ ප්‍රයත්නය සඵල වී තිබේ."

    "ඒ වෙනුවෙන් මට ඔබට තුති පිදිය නොහැකිය. ඒ, මෙය මගේ නොව අපේ සාමූහික කටයුත්තක් වන නිසාය. මේ ජය අප සැමගේය."

    "අප පමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මිනිසුන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය මතු නොව ජීවිත පවා කැප‍ කළහ. අපට පෙර පරම්පරාවෙන් අප අතට පත් වූ යෂ්ටිය තුළ ගැබ්ව ඇත්තේ අපතේ ගොස් නැති ඔවුන්ගේ නිමක් නැති කැපකිරීම්ය. එහි බර අපි හොඳින්ම දනිමු. දශ ලක්ෂ සංඛ්‍යාත ඔබගේ අපේක්ෂාභරිත දෑස් අප දිරිගන්වාලයි. ශ්‍රී ලාංකේය ඉතිහාසය අලුතින් ලිවිය යුතු බවට ඇරයුම් කරයි."

    "සිහිනය මුළුමනින්ම යථාර්ථයක් බවට පත්කරනු පිණිස මේ බිමට නැවුම් ඇරඹුමක් අවැසිය. සිහල, දමිළ, මුස්ලිමානු අප සියලු දෙනාගේ එක්රැස් වූ සවිය ඇරඹෙන යුගයේ මුල් ගලය. නව පුනරුද යුගය ගොඩනැගෙන්නේ ඒ මතය. එන්න අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු!"

    - අනුර කුමාර දිසානායක -

  13. ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිරින් මතුවූ පී. අරියනේත්තිරන් කවුද?

    2024 ජනාධිපතිවරණයේදී සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවිය.

    ඡායාරූප මූලාශ්‍රය, ரி என் பி நியூஸ் | Facebook

    2024 ජනාධිපතිවරණයේදී සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවිය.

    ඉන් එකක් වූයේ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවා ඡන්ද ලබා ගැනීමට නොහැකි විය.

    මෙහිදී වඩාත් අවධානයට ලක්වූ අපේක්ෂකයෙකු වූයේ, උතුරු නැගෙනහිර කලාපයේ කැපී පෙනෙන ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගත් පී. අරියනේත්තිරන් ය.

    උතුරු-නැගෙනහිර පළාත්වල ඡන්ද 226,000කට වඩා වැඩි සංඛ්‍යාවක් ලබා ගත් ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙකු වන පී. අරියනේත්තිරන් කවුද?

    කවුද මේ අරියනේත්තිරන්?

    1955 පෙබරවාරි 01 වන දා පාක්කියසෙල්වම් අරියනේත්තිරන් උපත ලැබී ය.

    ඔහුට සහෝදර සහෝදරියන් 4 දෙනෙකු සිටින අතර, ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මඩකලපුව අම්බලන්තුරෙයි කලෛමගල් විද්‍යාලයෙනි.

    ඉන්පසුව මඩකලපුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ කලවංචිකුඩි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ.

    බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ඔහු උසස් පෙළ විභාගය සමත් වීමෙන් පසුව කෘෂි විද්‍යාව සම්බන්ධ ඩිප්ලෝමාවක් හදාරා සත්ත්ව පාලනය සම්බන්ධ රැකියාවක නිරත වූ බව ය.

    ඔහු කලක් මාධ්‍යවේදියෙකු ලෙස ද සේවය කර ඇති අතර, 1990 දශකයේදී නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කර තිබේ.

    'ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ දමිළ ජනතාව වෙනුවෙන්'

    බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ජනාධිපති අපේක්ෂක අරියනේත්තිරන් ප්‍රකාශ කළේ, තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ දමිළ ජනතාව වෙනුවෙන් බව ය.

    "දමිළ ජනතාවට ඔවුන්ගේ ඕනෑ එපාකම් ගැන සොයා බලන්න කෙනෙක් අවශ්‍යයි කියලා හිතුණ නිසා මම තරග කළා."

    එමෙන් ම ඔහු පැවසුවේ, ලක්ෂ දෙක ඉක්මවා තමාට ලැබී ඇති ඡන්දවලින් පැහැදිලි වන්නේ ජනතාවට ද එවැනි ජනතා නියෝජිතයෙකුගේ අවශ්‍යතවක් ඇති බව ය.

    ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ පී. අරියන්නේත්තිරන් හට ඊපීආර්එල්එෆ්, ටෙලෝ, ප්ලොට් ඇතුළු සංවිධාන කිහිපයක සහය ද හිමිව තිබිණි.

  14. 'අනුර ජයගත් බව සජිත් පාර්ශවය පිළිගනී. මැතිවරණ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන පැමිණිල්ලක්' - රංජිත් මද්දුමබණ්ඩාර

    වීඩියෝ ශීර්ෂ වැකිය, අනුර ජයගත් බව සජිත් පාර්ශවය පිළිගනී. මැතිවරණ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන පැමිණිල්ලක්.
  15. 'අපි දැනටමත් දිනලා ඉන්නේ' - විජිත හේරත්

    මේවන විටත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර ඇති නිසා කිසිඳු කලබලයක් ඇති කර නොගන්නා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියි.

    එම පක්ෂය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති වීඩියෝවක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉල්ලා සිටින්නේ 50%ක ඡන්ද ප්‍රතිශත නොමැති නිසා නීතිවලට අනුව දෙවන හා තුන්වන මනාප ගණනය කිරීම සිදු කළත්, අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර ඇති බවයි.

  16. 2024 ජනාධිපතිවරණයේ දෙවැනි සහ තුන්වන මනාප ගණන් කිරීම සිදුවන්නේ කෙසේ ද ?

  17. ‘කිසිදු අපේක්ෂකයෙක්ට 50% ලැබී නැහැ. මනාප ගණන් කිරීම ඇරඹේ’ - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

    වීඩියෝ ශීර්ෂ වැකිය, ''කාටවත් 50% නෑ''

    2024 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙක්ට 50% ලැබී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසීය.

    විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, ඒ අනුව තමන් වෙත පැවරී ඇති බලතල අනුව දෙවන මනාප ගණන් කිරීමක් සිදු කරන බවය.

    ඒ අනුව අනුර කුමාර දිසානයක සහ සජිත් ප්‍රේමදාස හැර සෙසු අපේක්ෂකයින් ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් කරන බව ඔහු පැවසීය.

    එසේ ඉවත් කරන ලද අපේක්ෂකයින්ගේ දෙවන හා තුන්වන මනාපය තරගයේ සිටින අපේක්ෂකයින්ගේ වාසියට ලබා දී ඇද්ද යන්න ගණනය කිරීම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 57, 58, 59 සහ 60 යන වගන්තිවලට අනුකූලව සිදුකළ යුතු බව තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව ආර්.එම්.ඒ.එල් රත්නායක නිවේදනය කළේය.

  18. දිවයින පුරා පැනවූ ඇඳිරි නීතිය අද දහවල් 12ට අවසන්

    දිවයින පුරා පනවනු ලැබූ ඇඳිරි නීතිය අද (සැප්තැම්බර් 22 වැනිදා) දහවල් 12ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසීය.

  19. 2024 ජනාධිපතිවරණය: රත්නපුර දිස්ත්‍රික්කය - ඇහැළියගොඩ මැතිවරණ බලප්‍රදේශය

    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 34,829ක් ලබාගෙන තිබේ.

    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 34,829ක් ලබා ජයග්‍රහණය කර තිබේ.

    මෙතැන් සිට සියලු නිල ප්‍රතිඵල එසැනින් බලන්න මෙම පිටුවට පිවිසෙන්න.

  20. 2024 ජනාධිපතිවරණය: දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - සමන්තුරේ මැතිවරණ බලප්‍රදේශය

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමන්තුරේ මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 41,791ක් ලබා ජයග්‍රහණය කර තිබේ.

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමන්තුරේ මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 41,791ක් ලබා ජයග්‍රහණය කර තිබේ.