බිත්තර ආහාරයට ගැනීම ඔබේ සෞඛ්‍යයට හිතකර ද? බිත්තර ගැන විද්‍යාත්මක සත්‍යය දැනගනිමු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ජෙසිකා බ්‍රවුන්
බිත්තර ආහාරයට ගැනීම අපගේ සෞඛ්‍යයට හිතකර ද? ... නැතහොත් හෘද රෝග සඳහා හේතු වනවා ද? බීබීසී පුවත් සේවය ඒ පිළිබඳව සාක්ෂි සොයා බැලීය.
සම්පූර්ණ ආහාරයක් ලෙස ඊට සමාන වෙනත් කිසිවක් තිබුණේ නම් බිත්තර එහි තරගකරුවෙකු වනු ඇත. එය පහසුවෙන් ලබා ගත හැකි, පිසීමට පහසු, දැරිය හැකි මිලකට ලබා ගැනීමේ හැකියාව සහිත ප්‍රෝටීන්වලින් බහුල ආහාරයකි.
"බිත්තරයක් කියන්නේ නව ජීවයක් වර්ධනය වීමට අවශ්‍ය සියලු ම අමුද්‍රව්‍ය ඇතුළත් වී ඇති දෙයක්. ඒ නිසා ම එය පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත්," යනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ක්‍රිස්ටෝපර් බ්ලෙසෝ පවසයි.
වෙනත් ආහාර සමග බිත්තර ආහාරයට ගැනීමෙන් අපගේ ශරීරයට වැඩි විටමින් ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමට ද උපකාරී වේ. නිදසුනක් වශයෙන්, එක් අධ්‍යයනයකින් හෙළි වූයේ සලාදයකට බිත්තරයක් එකතු කිරීමෙන් එම ආහාර වේලෙන් අපට ලැබෙන විටමින් E ප්‍රමාණය වැඩි කර හැකි බව ය.
නමුත් දශක ගණනාවක් පුරාවට, බිත්තර ආහාරයට ගැනීම ද මතභේදාත්මක වී ඇත්තේ ඒවායේ අන්තර්ගත ඉහළ කොලෙස්ටරෝල් ප්‍රමාණය හේතුවෙනි - ඇතැම් අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත්තේ ඒවා හෘද රෝග ඇති වීමේ අවදානම වැඩි කිරීමට සම්බන්ධ බව ය. බිත්තර කහ මදයක කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 185ක් පමණ අඩංගු වන අතර එය එක්සත් ජනපද ආහාර මාර්ගෝපදේශ මගින් මෑතකදී නිර්දේශ කළ දෛනික කොලෙස්ටරෝල් ප්‍රමාණය වන මිලිග්‍රෑම් 300න් අඩකට වඩා වැඩි ය.
එසේනම්, බිත්තර පරිපූර්ණ ආහාරයක් වීම වෙනුවට එය අපගේ සෞඛ්‍යයට හානි කරමින් තිබේ ද?
බිත්තර කොලෙස්ටරෝල් සඳහා අහිතකර ද?
කොලෙස්ටරෝල් යනු අපගේ අක්මාව සහ ආන්ත්‍රික පද්ධතිය තුළ නිපදවන, කහ පැහැති මේදමය ද්‍රව්‍යයක් වන අතර, එය අපගේ ශරීරයේ සෑම සෛලයක ම අන්තර්ගත වේ. අපි සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් පිළිබඳව සිතන්නේ එය "නරක දෙයක්" ලෙස ය.
නමුත් කොලෙස්ටරෝල් අපගේ සෛල පටල ගොඩනැගීමේ තීරණාත්මක ඒකකයකි. ශරීරයට විටමින් D සහ ටෙස්ටොස්ටෙරෝන් මෙන් ම ඊස්ට්‍රජන් හෝමෝන නිපදවීමට ද එය අවශ්‍ය වේ.
අපට අවශ්‍ය සියලු ම කොලෙස්ටරෝල් අපගේ ශරීරය තුළ ම නිපදවෙයි. නමුත් අප පරිභෝජනය කරන හරක් මස්, ඉස්සන් සහ බිත්තර මෙන් ම චීස් සහ බටර් වැනි සත්ව නිෂ්පාදවල ද ඒවා අන්තර්ගත වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රුධිරයේ ඇති ලිපොප්‍රෝටීන් අණු මගින් අපගේ ශරීරය පුරා කොලෙස්ටරෝල් රැගෙන යයි. සෑම පුද්ගලයෙකුට ම විවිධ වර්ගයේ ලිපොප්‍රෝටීන් සංයුතියක් පවතින අතර, එම පුද්ගලික ව්‍යුහය හෘද රෝග ඇති වීමේ අවදානම තීරණය කිරීමේදී වැදගත් කාර්යක් ඉටු කරයි.
අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් (LDL) කොලෙස්ටරෝල් සාමාන්‍යයෙන් "අයහපත්'' කොලෙස්ටරෝල් ලෙස හඳුන්වනු ලබන අතර ඒවා අක්මාවෙන් රුධිර නාල සහ ශරීර පටක වෙත රැගෙන යයි. පර්යේෂකයින් පවසන්නේ, මෙය රුධිර නාල තුළ කොලෙස්ටරෝල් එකතු වීමට හේතු විය හැකි අතර, එමගින් හෘදවාහිනී රෝග (cardiovascular disease) අවදානම ඉහළ හා හැකි බව ය.
නමුත් පර්යේෂකයන් කොලෙස්ටරෝල් පරිභෝජනය හෘදවාහිනී රෝග අවදානම වැඩි කිරීමට නිශ්චිතව ම සම්බන්ධ බවට සනාථ කර නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස, එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ ආහාර මාර්ගෝපදේශවලට තවදුරටත් කොලෙස්ටරෝල් සීමාවක් පනවා නොමැත. ඒ වෙනුවට හෘදවාහිනී රෝග වර්ධනය වීමේ අවදානම වැඩි කළ හැකි අප පරිභෝජනය කරන සංතෘප්ත මේදය ප්‍රමාණය සීමා කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. විශේෂයෙන් ට්‍රාන්ස් මේද අඩංගු ආහාර අපගේ LDL මට්ටම වැඩි කරයි. ඇතැම් ට්‍රාන්ස් මේද සත්ව නිෂ්පාදනවල ස්වභාවිකව දක්නට ලැබුණද, බොහෝ ඒවා කෘත්‍රිමව සාදන ලද අතර මාගරින්, කෙටි ආහාර සහ පේස්ට්‍රි, ඩෝනට්ස් සහ කේක් වැනි ගැඹුරු තෙලේ බදින ලද සහ බේක් කළ ආහාරවල ඉහළ ම මට්ටම්වලින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර, ඉස්සන් හැරුණුවිට, බිත්තර යනු කොලෙස්ටරෝල් බහුල සහ සංතෘප්ත මේදය අඩු එක ම ආහාරය යි.
2020 දී ඇමෙරිකානු හෘද සංගමය දිනකට බිත්තරයක් පමණක් පරිභෝජනය කිරීමට සීමා විය යුතු බව නිර්දේශ කළ ද, 2020 දී සිදු කළ ජනගහන අධ්‍යයනයකින් දිනකට බිත්තර එකකට වඩා පරිභෝජනය කිරීම හෘද රෝග ඇති වීමේ අවදානම අඩුවීම සමග සම්බන්ධයක් ඇති බව සොයාගෙන ඇත.
"බිත්තරවල තිබෙන කොලෙස්ටරෝල්, මස් සහ අනෙකුත් සත්ව ආහාරවලට වඩා වැඩි වුණත්, රුධිර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ සංතෘප්ත මේදය යි. මෙය වසර ගණනාවක් පුරා සිදු කළ බොහෝ අධ්‍යයන මගින් තහවුරු කරලා තියෙනවා,'' ඇමෙරිකාවේ කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මරියා ලූස් ෆර්නැන්ඩස් සඳහන් කරයි. ඇය විසින් 2019දී කරන ලද පර්යේෂණයකින් බිත්තර ආහාරයට ගැනීම හා හෘද රෝග අවදානම වැඩි වීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ද හෙළි වී ඇත.
"බොහෝ පුද්ගලයන් සඳහා ආහාර මගින් ලබා ගන්නා කොලෙස්ටරෝල් ගැටලුවක් නොවන ලෙස ක්‍රියාකරන පද්ධති තිබෙනවා," ඇමරිකාවේ බොස්ටන් නගරයේ ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යා අංශයේ පර්යේෂණ සහකාර මහාචාර්ය එලිසබත් ජොන්සන් පවසයි.
2015 දී සිදු කරන ලද අධ්‍යයන 40ක් ඇතුළත් සමාලෝචනයකදී, ආහාර, කොලෙස්ටරෝල් සහ හෘද රෝග අතර සම්බන්ධතාව පිළිබඳ පැහැදිලි, තීරණාත්මක සාක්ෂි කිසිවක් සොයා ගැනීමට ජොන්සන් සහ ඇගේ පර්යේෂක කණ්ඩායමට නොහැකි විය.
''මිනිස්සු ආහාර මගින් කොලෙස්ටරෝල් ලබා ගන්නා විට හොඳ නියාමන ක්‍රියාවලියක් තියෙනවා. ඒ නිසා ශරීරය තමන් ම නිපදවන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනවා," ඇය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බිත්තර සම්බන්ධයෙන් සලකා බලන විට කොලෙස්ටරෝල් සෞඛ්‍යයට ඇති අවදානම තවත් අඩු විය හැක. අපගේ ධමනිවලදී ඔක්සිකරණයට ලක්වූ විට කොලෙස්ටරෝල් වඩාත් හානිකර වේ. එහෙත් බිත්තර තුළ ඇති කොලෙස්ටරෝල් එලෙස ඔක්සිකරණයට ලක් නොවන බව බ්ලෙසෝ පවසයි.
"කොලෙස්ටරෝල් ඔක්සිකරණයට ලක්වූ විට එය වඩාත් අහිතකර වෙන්න පුළුවන්. නමුත් බිත්තර තුළ කොලෙස්ටරෝල් ඔක්සිකරණයට ලක්වීමෙන් ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරක තිබෙනවා," ඔහු පවසයි.
එමෙන් ම, ඇතැම් කොලෙස්ටරෝල් අපට ඇත්තට ම ප්‍රයෝජනවත් විය හැකි ය. අධිඝනත්ව ලිපොප්‍රෝටීන් (HDL) කොලෙස්ටරෝල් අක්මාවට ගමන් කරන අතර එහිදී එය බිඳ දමා ශරීරයෙන් ඉවත් කරයි. රුධිරයේ කොලෙස්ටරෝල් ගොඩනැගීම වැළැක්වීම මගින් HDL හෘදවාහිනී රෝගවලට එරෙහිව ආරක්ෂිත බලපෑමක් ඇති කරන බව සැලකේ.
"මිනිසුන් කනස්සල්ලට පත් විය යුත්තේ ඔවුන්ගේ රුධිරයේ සංසරණය වන කොලෙස්ටරෝල් පිළිබඳව යි. හෘද රෝගයට හේතු වන්නේ එය යි," ෆර්නැන්ඩෙස් පවසයි.
වැදගත් වන්නේ, අපගේ ශරීරයේ HDL හා LDL අතර අනුපාතය යි, මන්ද ඉහළ HDL මට්ටම් LDL හි බලපෑම්වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරයි.
බොහෝ දෙනෙකුට තම අක්මාව නිපදවන කොලෙස්ටරෝල් සමග ආහාරයට ගන්නා කොලෙස්ටරෝල් සමතුලිත කළ හැකි ය. නමුත් බ්ලෙසෝ පවසන්නේ, මිනිසුන්ගෙන් තුනෙන් එකක් පමණ එය පරිභෝජනය කිරීමෙන් පසු ඔවුන්ගේ රුධිර කොලෙස්ටරෝල් 10% සිට 15% දක්වා ඉහළ යන බව ය.
පරීක්ෂණවලින් පෙන්වා දී ඇත්තේ, සුවදායීව හා සිහින්ව සිටින පුද්ගලයන් බිත්තර ආහාරයට ගැනීමෙන් පසු LDL (හානිකර කොලෙස්ටරෝල්) මට්ටම වැඩි වීමට වැඩි ප්‍රවණතාවක් දක්වන බව ය. එයට වෙනස්ව, අධික බර, ස්ථූලතාවය හෝ දියවැඩියාව ඇති පුද්ගලයන්ට LDL වැඩි වීම අඩුවෙන් සිදු වන අතර HDL (අහිතකර කොලෙස්ටරෝල්) අණු වැඩි වීමක් දැකගත හැකි බව බ්ලෙසෝ සඳහන් කරයි. ඒ අනුව, ආරම්භයේම සුවදායී පුද්ගලයෙකු නම්, අධික බරක් ඇති පුද්ගලයෙකුට වඩා බිත්තර LDL මත අඩු වශයෙන් නුසුදුසු බලපෑමක් ඇති කළ හැකිය. එහෙත්, සුවදායී පුද්ගලයන්ට සාමාන්‍යයෙන් හොඳ HDL මට්ටම් ද තිබෙන බැවින්, LDL වැඩි වීම බොහෝ විට එතරම් හානිකර නොවිය හැක.
තවත් ක්‍රමයකින් බිත්තර මගින් හෘදවාහිනීවලට අදාළ සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි බවට සාක්ෂි ඇත. 2022 දී චීනයේ ප්‍රකාශයට පත් කළ එක් අධ්‍යයනයකින් අනාවරණය වූයේ, මධ්‍යස්ථ ප්‍රමාණයකින් බිත්තර ආහාරයට ගත් බව වාර්තා කළ පුද්ගලයන්ගේ රුධිරයේ වැඩි ඇපොලිපොප්‍රෝටීන් ප්‍රමාණයක් තිබූ බව ය. මෙය HDL සෑදීමට අවශ්‍ය මූලික ඒකකයකි. විශේෂයෙන් ම, ඔවුන්ට විශාල HDL අණු වැඩි වශයෙන් තිබූ අතර, එය රුධිර නාලවලින් කොලෙස්ටරෝල් ඉවත් කිරීමට උපකාරී වන නිසා හෘද ආඝාත හා හෘදයාබාධ අවදානම අඩු කිරීමට දායක වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම සොයාගැනීම්වලට අභියෝග කරන පර්යේෂණ කිහිපයක් ද ඇත. නමුත් එවැනි අධ්‍යයන බොහෝවිට ජනගහන මට්ටමේ සිදු කළ ඒවා වන අතර, හේතුව හා බලපෑම පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමට නොහැකි ය. උදාහරණයක් ලෙස, 2019 දී ප්‍රකාශයට පත් කරන ලද එක් පර්යේෂණයකින් සාමාන්‍යයෙන් වසර 17ක කාලයක් පුරා අනුගමනය කරන ලද වැඩිහිටියන් 30,000කට අදාළ දත්ත විශ්ලේෂණය කර තිබේ. එහිදී දිනකට අමතරව බිත්තරයකින් භාගයක් ආහාරයට ගැනීම හෘද රෝග හා මරණ අවදානම සැලකිය යුතු ලෙස වැඩි වීම සමග සම්බන්ධ බව සොයාගෙන ඇත. (බිත්තරවල බලපෑම වෙන ම හඳුනාගැනීම සඳහා පර්යේෂකයින් ආහාර රටා, සමස්ත සෞඛ්‍ය තත්ත්වය හා ශාරීරික ක්‍රියාකාරකම් පාලනය කර ඇත.)
"පුද්ගලයෙකු ආහාර මගින් ලබාගත් කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 300කින් වැඩි වූ සෑම අවස්ථාවකදී ම, එය කුමන ආහාරයකින් ලබා ගත්ත ද, හෘදවාහිනී රෝග අවදානම 17%කින් වැඩි වූ බවත්, සියලු ම හේතු මත සිදුවන මරණ අවදානම 18%කින් වැඩි වූ බවත් අපි සොයාගත්තා," මෙම අධ්‍යයනයට මූලිකත්වය ගනු ලැබූ ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස්හි නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ නිවාරණ වෛද්‍ය සහායක මහාචාර්ය නෝරිනා ඇලන් පවසයි.
"දිනකට පරිභෝජනය කරන සෑම බිත්තර භාගයක් ම හෘද රෝග අවදානම 6%කින් සහ මරණ අවදානම 8%කින් වැඩි කරන බවත් අපි සොයා ගත්තා.''
කෙසේ වෙතත්, මෙම අධ්‍යයනය බිත්තර සහ හෘද රෝග අතර සම්බන්ධය විශේෂයෙන් විමර්ශනය කළ එම කාලයේ සිදු කළ විශාලතම අධ්‍යයනවලින් එකක් වුව ද, එය නිරීක්ෂණාත්මක අධ්‍යයනයක් වූ බැවින් හේතු සහ බලපෑම් සම්බන්ධයක් පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් නොකරයි. තව ද එය ස්වයං වාර්තා මත පදනම් වූ තොරතුරු පමණක් භාවිත කර ඇත. සහභාගීවූවන්ගෙන් ඔවුන් පසුගිය මාසය හෝ වසර තුළ කුමක් ආහාරයට ගත්තේ දැයි විමසූ අතර අනතුරුව වසර 31ක් දක්වා දිවෙන ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රතිඵල නිරීක්ෂණය කර ඇත. මෙයින් අදහස් වන්නේ, අපගේ ආහාර පුරුදු කාලයත් සමග වෙනස් විය හැකි නමුත්, පර්යේෂකයින්ට සහභාගීවූවන්ගේ ආහාර රටාව පිළිබඳ එක් අවස්ථාවක නිරූපණයක් පමණක් ලැබුණු බව ය.
වයස අවුරුදු 50 ඉක්මවූ ඇමරිකානුවන් ලක්ෂ පහකට අධික පිරිසක් ඇතුළත් කර ගනිමින් මෑත කාලීනව සිදු කළ ජනගහන අධ්‍යයනයකදී, බිත්තර පරිභෝජනය හෘදවාහිනී රෝග මෙන් ම පිළිකා ඇතුළු මරණ අවදානම වැඩි වීම සමග සම්බන්ධ බව සොයාගෙන ඇත. එමෙන් ම සම්පූර්ණ බිත්තරය වෙනුවට බිත්තර සුදු මදය පමණක් පරිභෝජනය කළ බව වාර්තා කළ පුද්ගලයින්ට මරණ අනුපාතය අඩු බව ද එම අධ්‍යයනය පෙන්වා දී ඇත. මෙම අධ්‍යයනයට ද 2019 අධ්‍යයනයේ ම ජනගහන-අධ්‍යයන සීමාවන් තිබුණ ද, මෙම ප්‍රතිඵල මත පර්යේෂකයින් සම්පූර්ණ බිත්තර වෙනුවට බිත්තර සුදු කොටස භාවිත කිරීමට නිර්දේශ කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හෘද සෞඛ්‍යයට බිත්තර හිතකර බව පෙන්වන නිරීක්ෂණාත්මක අධ්‍යයන බොහෝමයක් ද තිබේ. 2018 වසරේ ප්‍රකාශයට පත් කරන ලද චීනයේ වැඩිහිටි පුද්ගලයින් ලක්ෂ පහකට අධික පිරිසක් ඇතුළත් එක් විශ්ලේෂණයකදී, මෙයට සම්පූර්ණයෙන් ම විරුද්ධ ප්‍රතිඵලයක් සොයාගෙන ඇත. බිත්තර පරිභෝජනය හෘද රෝග අවදානම අඩු වීම සමග සම්බන්ධ වූ බව එහිදී අනාවරණය වී තිබේ. දිනපතා බිත්තර ආහාරයට ගත් පුද්ගලයින්ට, බිත්තර ආහාරයට නොගත් පුද්ගලයින්ට සාපේක්ෂව, හෘද රෝග හේතුවෙන් පවතින මරණ අවදානම 18%කින් අඩු වූ අතර ආඝාත හේතුවෙන් පවතින මරණ අවදානම 28% කින් අඩු වූ බව ද එම අධ්‍යයනය මගින් පෙන්වා දී ඇත. එසේ නම්, චීනයේ සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් වැඩිපුර බිත්තර පරිභෝජනය කරනවා ද? නැතිනම් බිත්තර ආහාරයට ගැනීම ඔවුන්ව වඩාත් සෞඛ්‍ය සම්පන්න කරන්නේ ද? සැබවින් ම මෙය ව්‍යාකූලත්වයට හේතු වන කරුණකි.
බිත්තරවල පවතින කොලීන් ගැන කුමක් කිව හැකි ද?
මෙම අධ්‍යයන බිත්තරවල ඇති කොලෙස්ටරෝල් අපගේ සෞඛ්‍යයට ඇති බලපෑම පිළිබඳ විවාදය නැවත මතු කර තිබුණ ද, බිත්තර අපගේ රෝග අවදානම්වලට හිතකර ලෙස බලපා හැකි ආකාරය අපි දැන සිටිමු.
ඒ අතරින් එක් ප්‍රධාන ආකාරයක් වන බිත්තරවල අඩංගු 'කොලීන්' (choline) නම් සංයෝගය ඇල්සයිමර් රෝගයෙන් අපව ආරක්ෂා කිරීමට උපකාරී විය හැකි බව සොයාගෙන ඇත. එයට අමතරව, එය අක්මාව සහ සංජානන ක්‍රියාකාරිත්වය ද ආරක්ෂා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත් එයට ඍණාත්මක බලපෑම් ද ඇති කළ හැක. බඩවැල් ක්ෂුද්‍රජීව මගින් කොලීන් TMO නම් අණුවකට පරිවර්තනය කරයි, ඒවා අපගේ අක්මාවට අවශෝෂණය කර TMAO බවට පරිවර්තනය වේ. එය හෘදවාහිනී රෝග අවදානම වැඩි කරන අණුවකි. බ්ලෙසෝ බිත්තරවලින් ලැබෙන වැඩි කෝලීන් ප්‍රමාණයක් ආහාරයට ගැනීම TMAO මට්ටම් වැඩි කරයිද යන්න පිළිබඳව සිතා බැලී ය. ඔහු අධ්‍යයන කිහිපයකින් සොයා ගත්තේ බිත්තර ආහාරයට ගත් පසු පැය 12 දක්වා කාලයක් තුළ TMAO මට්ටම් තාවකාලිකව ඉහළ ගොස් ඇති බව ය.
කෙසේ වෙතත්, බිත්තර ආහාරයට ගැනීම සහ TMAO මට්ටම් මැන බැලූ මෙතෙක් සිදු කළ පර්යේෂණවලින් හමුවී ඇත්තේ TMAOහි තාවකාලික වැඩිවීම් පමණකි. හෘද රෝග සඳහා සලකුණක් ලෙස TMAO මැන බැලීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ මූලික මට්ටමේදී ය, එනම් පුද්ගලයා නිරාහාරව සිටින අවස්ථාවකදී ය. බ්ලෙසෝ මෙය කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය කිරීමෙන් පසු අපගේ රුධිරයේ සීනි මට්ටම තාවකාලිකව වැඩි වන ආකාරය හා සමාන කරයි, නමුත් මෙම මට්ටම් අඛණ්ඩව පවතින විට පමණක් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම දියවැඩියාව සමග සම්බන්ධ වේ.
මෙයට හේතුව අපි බිත්තර ආහාරයට ගන්නා විට, අපට කොලීන්වල වාසිදායක බලපෑම් පමණක් ලැබෙන නිසා විය හැකි බව ඔහු පවසයි.
"ගැටලුව වෙන්නේ, රුධිරයට අවශෝෂණය වීම වෙනුවට, කොලීන් මහා අන්ත්‍රය දක්වා ගමන් කරන විට යි, එහිදී එය TMA බවට පත් වී පසුව TMAO බවට පත්විය හැකි යි," ෆර්නැන්ඩස් පවසයි.
"නමුත් බිත්තරවල අන්තර්ගත කොලීන් රුධිරයට අවශෝෂණය වන අතර මහා ආන්ත්‍රයට ගමන් නොකර යි. ඒ නිසා එය හෘද රෝග අවදානම වැඩි කරන්නෙ නෑ."
2021 දී සිදු කළ එක් පරීක්ෂණයකින් පෙන්වා දුන්නේ, බිත්තර කහ මදය තුළ කොලීන් අධිකව පැවතිය ද, දිනකට බිත්තර හතරක් ආහාරයට ගත් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් තුළ TMAO මට්ටම සැලකිය යුතු ලෙස වැඩි නොවූ බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බිත්තර ආහාරයට ගැනීම සෞඛ්‍යයට හිතකර ද?
මේ අතර, විද්‍යාඥයන් බිත්තරවල ඇති අනෙකුත් සෞඛ්‍ය ප්‍රතිලාභ ද වඩාත් හොඳින් අවබෝධ කර ගනිමින් සිටිති. උදාහරණයක් ලෙස, බිත්තර කහ මදය ලූටීන් සඳහා ඉතා හොඳ මූලාශ්‍රයකි. ලූටීන් යනු ඇස් පෙනීම වැඩි කිරීම හා ඇස් රෝග අවදානම අඩු කිරීම සමග සම්බන්ධ වී ඇති වර්ණකයකි.
"ඇස්වල දෘෂ්ටි විතානයේ ලූටීන් වර්ග දෙකක් පවතින අතර, ආලෝකයට නිරන්තරයෙන් නිරාවරණය වීම ඇස් දුර්වල කරවන නිසා, එය නිල් ආලෝක පෙරහනක් ලෙස ක්‍රියා කරමින් දෘෂ්ටි විතානය ආලෝක හානිවලින් ආරක්ෂා කර යි," ජොන්සන් පවසයි.
නමුත් පර්යේෂකයන් අවධානය යොමු කර ඇත්තේ, බිත්තරයේ විවිධ කොටස් සඳහා පමණක් නොවේ. බිත්තර වර්ග අනුව පෝෂණ ගුණාංගවල වෙනස්කම් ද තිබිය හැකි බව පෙන්වන පර්යේෂණ කිහිපයක් ද ඇත. කෙසේ වෙතත්, මේ පිළිබඳ පවතින දත්ත සීමිත ය.
උදාහරණයක් ලෙස, 2021 දී සිදු කළ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ නෝවා ස්කෝෂියා (Nova Scotia) ග්‍රාමීය ප්‍රදේශයක කුඩා ගොවිපළකින් ලබා ගත් බිත්තරවල අඩංගු කොලෙස්ටරෝල් මට්ටම, දේශීය සුපිරි වෙළෙඳසැලකින් මිලදී ගත් සාමාන්‍ය ගොවිපළවලින් රැගෙනවිත් තිබූ බිත්තරවලට සාපේක්ෂව අඩු බව ය. එසේ ම, කාබනික බිත්තර පරිභෝජනය සහ සෞඛ්‍යය අතර සම්බන්ධය දෙස බලන අධ්‍යයන තුනක 2022 සමාලෝචනයකින් හෙළි වූයේ කාබනික බිත්තර අනුභව කිරීම ශරීරයේ දැවිල්ල ඇති කරන ඇතැම් සලකුණුවල මට්ටම් අඩු වීම සමග සම්බන්ධ වී ඇති බව ය.
බිත්තර අපට විවිධ ආකාරයෙන් බලපාන්නේ මන්ද යන්න සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට පර්යේෂකයන්ට තවත් පරීක්ෂණ සිදු කළ යුතු වුව ද, නවතම පර්යේෂණ බහුතරයක් පෙන්වා දෙන්නේ බිත්තර සෞඛ්‍යයට අවදානමක් ඇති කිරීම වෙනුවට සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීමට වැඩි හැකියාවක් ඇති බව ය.
කෙසේ වෙතත්, උදෑසන ආහාරය සඳහා දිනපතා බිත්තර ආහාරයට ගැනීම ඔබට සෞඛ්‍ය සම්පන්න විකල්පය නොවේ. ඒ වෙනුවට අපි එක දෙයකට අනුගත නොවී විවිධ ආහාර අනුභව කළ යුතු ය.














