කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම: ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් වෙලා ද?

ඡායාරූප මූලාශ්‍රය, KDU
- Author, බීබීසී සිංහල
ත්‍රිවිධ හමුදා සඳහා අවශ්‍ය වෘත්තීයවේදීන් පුහුණු කිරීම සහ අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් 1981 අංක 68 දරන පාර්ලිමේන්තු පනත මගින් ආරම්භ කෙරුණු ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මේ වන විට නැවතත් සාකච්ඡාවට ලක්ව තිබෙන්නේ, එහි වෛද්‍ය පීඨය සඳහා මිලිටරි සේවාවල නොවන ශ්‍රී ලාංකික සිසුන් බඳවා ගැනීම ආරම්භ කිරීමත් සමග ය.
එම ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවිය පරීක්ෂා කර බැලීමේදී මේ වසරේ ජූලි මාසයේ 18 වන දිනට පෙර ඒ සඳහා අයැදුම් කරන ලෙස පළ කර තිබූ දැන්වීම බීබීසී සිංහල නිරීක්ෂණය කළ අතර, එහි වසර 5ක් සඳහා වන පාඨමාලා ගාස්තුව ලෙස සඳහන් කර තිබුණු මුදල රු. මිලියන 17.5කි. එනම් රු. ලක්ෂ 175ක මුදලකි.
පසුගිය මැයි මාසයේදී මෙම වසර පහක වෛද්‍ය පාඨමාලාව සඳහා සඳහන් කර තිබූ පාඨමාලා ගාස්තුව වූයේ රු. මිලියන 12.5කි.
ඒ වන විටත් මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංවිධාන ඇතුළු සංවිධාන රාශියක් විරෝධය පළ කරමින් සිටි අතර, පසුව රජය පාර්ශවයෙන් එම බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටවූ බවට ප්‍රකාශ කෙරිණි.
කෙසේ වෙතත්, ඒ අතරතුර එලෙස බඳවා ගැනීම අත්හිටුවීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවූ බවට සිසුන් කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | SOCIALIST STUDENTS UNION
කොතලාවල විශ්වවිද්‍යාලයේ ඉතිහාසය
නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) පළමුව 1981 අංක 68 දරන පාර්ලිමේන්තු පනත මගින් ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ලෙස ස්ථාපනය කර තිබිණි.
1988 අංක 27 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල (සංශෝධන) පනත මගින් එම ඇකඩමිය විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කර ඇති අතර, 2007 ඔක්තෝබර් 11 වන දින එය ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලෙස නම් කෙරිණි.
මෙම විශ්වවිද්‍යාලය රත්මලානේ අක්කර 48ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති අතර, එය ශ්‍රී ලංකාවේ තුන් වන අග්‍රාමාත්‍යවරයා වූ දිවංගත ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ නිවස පිහිටා තිබූ භූමිය යි.
එම ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට මෙම විශ්වවිද්‍යාලයෙන් මේ දක්වා උපාධිධාරීන් 3,500ක් පමණ බිහි කර තිබේ.
2010 දී සිවිල් සිසුන් සඳහා KDU උපාධි වැඩසටහන් ආරම්භ කිරීමත් සමග, සාර්ක් සහ අනෙකුත් මිත්‍රශීලී රටවලින් ගාස්තු අය කිරීමේ පදනම මත විදෙස් සිසුන් බඳවා ගැනීම ආරම්භ කර ඇති අතර, මේ වන විට විවිධ උපාධි පාඨමාලා සඳහා විදේශීය සිසුන් 260 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා බඳවාගෙන ඇතැයි වෙබ් අඩවිය සඳහන් කරයි.
කොතලාවල විරෝධයේ ඉතිහාසය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිවිල් සිසුන් බඳවා ගැනීම වසර ගණනාවක් තිස්සේ සිදු කෙරුණු නමුත් මෙම ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් විරෝධයක් ගොඩනැගෙන්නේ වසර ගණනාවකට පෙර දැඩි ආන්දෝලනයකට තුඩු දුන් සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨය වසා දැමීමෙන් පසු එහි එතෙක් සිටි වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීමට එවකට පැවති රජය තීරණය කිරීමත් සමග ය.
සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු ශිෂ්‍ය සංවිධාන ගණනාවක් සිය විරෝධතා වසර ගණනාවක් තිස්සේ පවත්වමින් සිටින්නේ, එම විශ්වවිද්‍යාලය වසා දමන ලෙස පැවති ආණ්ඩුවලට දැඩි බලපෑමක් එල්ල කරමිනි.
සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දැමීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වූ සයිටම් විරෝධී සිසු-ජන පවුරේ එක පාර්ශවකරුවෙකු වූයේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාලන බලයේ සිටින පක්ෂය වන ජාතික ජන බලවේගයේ ප්‍රධාන හවුල්කරුවෙකු වන ජනතා විමුක්ති පෙරමුණ ය.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි ක්‍රියාමාර්ගවලට වර්තමාන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සම්බන්ධ වී සිටි අතර, වර්තමානයේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික කලක් එම ක්‍රියාමාර්ගවලට මූලිකත්වය ගෙන කටයුතු කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස 2014 -2015 කාලයේ කටයුතු කළේ ය.
මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව ගෙන ගිය විරෝධතා ව්‍යාපාරයේ අවසන් කාලයේ රජයේ වෛද්‍ය පීඨවල සිසුන් මාස ගණනාවක් අඛණ්ඩ පන්ති වර්ජනයක නිරත වූ අතර අවසානයේදී 2017 නොවැම්බර් මාසයේදී වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර, එයට එම සංවිධානයේ මූලිකත්වය ගනිමින් ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වූ වර්තමාන ජාතික ජන බලවේග රජයේ ආන්දෝලනාත්මක චරිතයක් වන අසෝක රන්වල ද සහභාගී වීම විශේෂත්වයකි.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | KOSHILA HANSAMALI PERERA
ඉන්පසුව එම මාරාන්තික උපවාසය පැවති ස්ථානය වෙත පැමිණි එවකට යහපාලන රජයේ ඇමතිවරයෙකු වූ ආචාර්ය හර්ෂ ද සිල්වා සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨය වසා දමන බවට ප්‍රකාශ කිරීමත් සමග එම මාරාන්තික උපවාස ක්‍රියාමාර්ගය අවසන් කිරීමට එය සංවිධානය කර තිබූ පිරිස් තීරණය කළහ.
පසුව වසරකට ආසන්න කාලයක් ඇතුළත එම ආයතනයේ වෛද්‍ය පීඨයේ වැඩකටයුතු අවසන් කෙරුණු අතර, ඒ වන විටත් එහි අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය සිසුන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කුමක් ද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඉතිරි විය.
එම සිසුන් අතරින් සුදුසකම්ලත් සිසුන් තෝරා ඒ වන විට ආරම්භ කිරීමට යෝජිතව තිබූ වයඹ සහ සබරගමුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා අනුයුක්ත කරන ලෙස සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨයට එරෙහිව විරෝධතා දැක්වූ පාර්ශවයන්ගේ ඉල්ලීම විය.
කෙසේ වෙතත්, එම සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කිරීමට එවකට පැවති යහපාලන රජය කටයුතු කළේ ය.
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට 2009දී එහි වෛද්‍ය පීඨය ආරම්භ වී ඇත්තේ, මිලිටරි සේවාවන් සඳහා අවශ්‍ය කරන වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව සපුරා ගැනීමේ අරමුණිනි.
2013 වසරේ සිට විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් වන සිවිල් සිසුන් මෙම උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනීම ආරම්භ කර තිබේ.
සයිටම් වෛද්‍ය පීඨයේ සිසුන් 864ක් 2017 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කර ඇති අතර, 2022 විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා තෝරා ගත් සිසුන් 87 දෙනෙකු ද මෙම ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරනු ලැබ තිබේ.
2024 දක්වා එම පීඨයට ඇතුළත්ව ඇති සමස්ත සිවිල් වෛද්‍ය සිසුන් සංඛ්‍යාව 1337ක් වන අතර, 2018 සිට 2023 දක්වා සිවිල් සිසුන් 828 දෙනෙකු එහි වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය සම්පූර්ණ කර තිබේ.
සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීමට සමාන්තරව 2018 වර්ෂයේදී 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත ඉවත් කරමින් ඒ සඳහා නව පනතක් ගෙන ඒමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
එම පනත් කෙටුම්පතේ කලින් පනතේ සඳහන් නොවූ ඇතැම් යෝජිත ප්‍රතිපාදනවලට ඇතැම් පිරිස්වල, විශේෂයෙන් ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රමුඛ ශිෂ්‍ය සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැනි වෘත්තීය සමිති මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂවල විරෝධය ද එල්ල විය.
එම පනතේ 6 වන වගන්තියේ (2) සහ (3) උපවගන්ති යටතේ විෂය භාර ඇමතිවරයා වන ආරක්ෂක ඇමතිවරයාගේ සෑම විධානයකට ම අනුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය කටයුතු කළ යුතු බවට සඳහන් ය.
එමෙන් ම 19 වන වගන්තියේ (ජ) උපවගන්තියට අනුව එම විශ්වවිද්‍යාලයට දේශීය සහ විදේශීය ආයතන සමග සහයෝගීතාවන්ට එළැඹීමට ද, (ඩ) උපවගන්තියෙන් මණ්ඩප, විද්‍යායතන වැනි තවත් ආයතන ඇති කිරීමට ලබා දීමට යෝජනා වී තිබූ ප්‍රතිපාදන ද විවිධ පාර්ශවයන්ගේ විවේචනයට ලක් විය.
කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත 2018 වර්ෂයේදී සම්මත කර ගැනීමට නොහැකි වූ අතර, නැවත එය 2021 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
එම වසරේදී ද එයට ශිෂ්‍ය සංවිධාන, ගුරු සංවිධාන ඇතුළු විවිධ කණ්ඩායම්වල විරෝධය එල්ල වූ අතර, උද්ඝෝෂණවල නිරත වූ පිරිස් නිරෝධායන නීති උල්ලංඝණය කළ බව පවසමින් ඔවුන් අත්අඩංගුවට ගත් අතර, අධිකරණයට ඉදිරිපත් කර ඇප නියම වුව ද උද්ඝෝෂකයන් කණ්ඩායමක් පොලීසිය විසින් මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත ගෙන ගොස් නිරෝධායනය කරවන ලදී.
පසුව එම වසරේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී මිනී පෙට්ටියක අනුරුවක් මහා මාර්ගයේ පිළිස්සීමෙන් පොදු දේපළ හානි කළ බවට චෝදනා මත එවකට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ වසන්ත මුදලිගේ ඇතුළු සිසුන් තිදෙනෙකු සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මාස තුනක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
මේ සමයේදී වර්තමාන ජනාධිපතිවරයා, අගමැතිවරිය සහ ජාතික ජන බලවේගය ද මෙම පනත් කෙටුම්පතට දැඩි විරෝධයක් දැක්වූහ.
විරෝධය සහ එකඟතාව
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් නැවතත් කතාබහක් ඇති වූයේ, 2025 මැයි 21 වන දින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් බඳවා ගැනීම සඳහා ප්‍රසිද්ධ දැන්වීම්ක් පළ කිරීමත් සමග ය.
එහිදී, නැවත වතාවක් එහි වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් විරෝධයක් එල්ල වූ අතර, මීට පෙර නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටි වත්මන් රජයේ සාමාජිකයන්ට ද විවේචන එල්ල විය.
මෙම තත්ත්වය අතරතුර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මැයි 22වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා බඳවා ගන්නේ කැඩෙට් භටයන් සහ විදෙස් සිසුන් පමණක් බවට ය.
"ඒ අනුව එහි [කොතලාවල විශ්වවිද්‍යාලයේ] වෛද්‍ය පීඨය සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීම සම්බන්ධ වගන්තිවල නිවැරදි කිරීමක් කළ යුතුව තියෙනවා. ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා සිසුන් බඳවා ගැනීම මෙවර විදේශීය ශිෂ්‍යයන් හා කැඩෙට් නිලධාරීන් සඳහා පමණක් අවස්ථාව ලබා දීමට රජය තීරණය කරලා තියෙනවා කියන එක ප්‍රකාශ කරනවා," ඔහු පැවසීය.
ඉන්පසුව මේ සමබන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු කණ්ඩායම් කිහිපයක විරෝධය එල්ල වූ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එලෙස සිවිල් සිසුන් වෛද්‍ය පීඨයට බඳවා ගැනීමේ තීරණය අත්හිටුවීමට එරෙහිව සිය සමාජ මාධ්‍ය ගිණුම්වල වීඩියෝවක් පළ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් මීට පෙර පැවති කැබිනට් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, එය තාවකාලික තීරණයක් බව ය.
කෙසේ වෙතත්, මේ වන විට නැවතත් කොතලාවල වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් බඳවා ගැනීම සඳහා දැන්වීම් පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් නැවතත් ශිෂ්‍ය සංවිධාන විරෝධතා දැක්වීම ආරම්භ කර ඇති අතර ජූලි 08 වන දින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
එමෙන් ම ජූලි 09 දින ද විශ්වවිද්‍යාල කිහිපයක් ඉදිරිපිට විරෝධතා පැවැත්විණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ මෙවැනි අදහසකි.
"කොතලාවල වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම මීට වසර කිහිපයක පටන් කරමින් තමයි තිබුණේ. ඒකට කැඩෙට්ස්ලා ගන්නවා. ඒ වගේ ම විදෙස් සිසුන් ගන්නවා. ඊට අමතරව දේශීය සිසුන් ගන්නවා. ඉතින් අපි තවාකලිකව සතියකට දෙකකට පමණයි නතර කරලා තිබුණේ. කලින් කරගෙන ආව ක්‍රමවේදය දිගට ම කරගෙන යන්න තමයි තීන්දුව අරගෙන තියෙන්නේ."
මීට පෙර එය අත්හිටුවීමටත් නැවත එක්වර ම සිසුන් බඳවා ගැනීම ආරම්භ කිරීමටත් බලපෑ හේතුව එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ ය.
"මම මේක පැහැදිලිව පාර්ලිමේන්තුවේදීත් කිව්වා, ඒක තාවකාලිකව ගත්ත තීන්දුවක්. මේ තත්ත්වය සමාලෝචනය කරන්න ඕනේ. ඒ අනුව තමයි අලුත් තීරණයට එළැඹුණේ. අපි අලුතින් ගත්ත තීන්දුවක් නෙවෙයි, තාවකාලිකව අපි සමාලෝචනයක් කළා," ඔහු පැවසීය.














