කොටහේනේ පාසල් දැරියක සියදිවි නසා ගැනීම: කොළඹ මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට නියෝගයක්

- Author, බීබීසී සිංහල
කොටහේන ප්‍රදේශයේ සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් ගුරුවරයා පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය ජූනි මස 23 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 19) පොලිසියට නියෝග කළේ ය.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන එසේ නියම කළේ ය.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකාර සුන්දරලිංගම් සංකරන් නමැති ගුරුවරයා ද අධිකරණයේ පෙනී සිටියේ ය.
පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ උතුර කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති විසින් මෙහෙයවනු ලබන බව දැනුම් දුන්නේ ය.
සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන අතර එහි ප්‍රගතිය ඉදිරියේදී දැනුම් දෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.
මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මෙම අපයෝජන සිද්ධිය වූ විගස මියගිය දැරිය තවත් දැරියකට ඒ පිළිබඳව ප්‍රකාශ කර ඇති බවත් ඇය ඒ පිළිබඳව පාසලේ විදුහල්පතිවරිය දැනුවත් කර ඇති බවත් සඳහන් කළේ ය.
එහෙත්, අදාළ විදුහල්පතිවරිය මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට වාර්තා නොකර එය මග හැරීමට කටයුතු කර ඇතැයි එම නීතිඥවරු පෙන්වා දුන්හ.
'සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න මාසයක් ගත වෙලා'
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් වන්නේ, දෙසැම්බර් මස 8 වන දා වුව ද සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, ජනවාරි මස 08 වන දා බවත් එම නීතිඥවරු පැවසූහ.
මෙහිදී, විදුහල්පතිවරිය මෙම සිද්ධියට සම්බන්ධ පාර්ශව ගෙන්වා විභාගයක් පැවැත්වීමට කටයුතු කර ඇති බවත්, එය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් පෙන්වා දුන් එම නීතිඥවරු අධිකරණය විසින් කරනු ලැබිය යුතු ක්‍රියාවක් විදුහල්පතියවරිය සිදුකර ඇති බවටත් චෝදනා කර සිටියහ.
මෙම සිද්ධියට අදාළව අපයෝජනයට ලක්වූ දැරියගේ මවගෙන් පොලිසිය සටහන් කර ගත් ප්‍රකාශයේ අඩු ලූහුඬුකම් පවතින බවත් එම නීතිඥවරයා සඳහන් කළේ ය.
මෙහිදී, මහේස්ත්‍රාත්වරයා අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, "මවගේ ප්‍රකාශයේ අඩු ලුහුඬුකම් තිබෙනවා යැයි ඔබ කියන්නේ කොහොම ද?" යනුවෙන් විමසීය.
මේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මවගෙන් සහ දැරියගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස තමා නියෝගයක් නිකුත් කළ බවත් මහේස්ත්‍රාත්වරයා පැවසීය.
'අඩු ලුහුඬුකම් මතක් වුණේ මාස 6කට පසුව ද?'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම අවස්ථාවේදී කිසිවෙකු ඉදිරිපත් නොවූ බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අඩු ලුහුඬුකම් මතක් වී තිබෙන්නේ, මාස හයක් ගෙවීමෙන් පසුව දැයි අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන්ගෙන් ප්‍රශ්න කළේ ය.
පොලීසියට අවශ්‍ය නම් මවගෙන් නැවතත් ප්‍රකාශයක් සටහන් කර ගත හැකි බවත්, අධිකරණය නියෝග ලබා දෙන්නේ ඉදිරිපත් වන කරුණුවලට අනුව මිස බාහිර සාධක මත නොවන බවත් සඳහන් කළේ ය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විමර්ශනවලට අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන බව සඳහන් කළේ ය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි තවත් නීතිඥවරයෙකු වන සංජය ගමගේ සඳහන් කළේ, රාජ්‍ය නොවන සංවිධාන සහ යූටියුබ් නාලිකා පවත්වාගෙන යන්නන් කිහිප දෙනෙකු මෙම සිද්ධිය පිළිබඳ වැරදි තොරතුරු සමාජගත කරන බව ය.
අනතුරුව පැමිණිල්ල නැවත ජූනි මස 23 වන දා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියෝග කළේ ය.
ඔබට සහයක් අවශ්‍ය ද?
මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකි ය.
දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකතන අංකය: 011 2696666 හෝ +94 112 682 535
ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකතන අංකය: 1333 හෝ +94 112 692 909














