ළමුන් පාසල්වලදී කෲරත්වයට පත්වීම වැළැක්වීමට නව නීති

ළමයින් පාසල් තුළ කෲරත්වයට ලක්වීමේ සිද්ධි වැළැක්වීමේ නීති ඉදිරි මාස 3 ඇතුළත සම්පාදනය කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

ළමුන් පාසල් තුළදී කෲරත්වයට පත්වීම වැළැක්වීමට නව නීති සම්පාදනය කිරීමට ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවදානය යොමුව තිබේ.

ඒ, පාසල් තුළ කායික දඬුවම් කිරීමේ සිද්ධි ඉහළ යමින් ඇති බවට වාර්තා වෙමින් ඇති පසුබිමකදීය.

මිල්ලනියේ පාසලක මොකද වුණේ…?

ළමුන් පාසල් තුළ කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ආසන්නතම සිද්ධිය හොරණ මිල්ලනිය ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙම ආන්දෝලනාත්මක සිද්ධියට මුල්වී තිබුණේ පන්ති කාමරයක් තුළදී ගුරිවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කරන ලදැයි කියන සිද්ධියකි.

මුදල් සොරකම් කිරීමේ චෝදනාව මත හොරණ, මිල්ලනියේ කණිෂ්ඨ විද්‍යාලයක පහ වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට එම පාසලේ විදුහල්පතිනිය, ගුරුවරියක සහ පොලිස් නිලධාරීන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මිල්ලනිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් ද වෙති.

මොවුන් ජාතික ළමාරක්ෂක අධිකාරියට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධියට සම්බන්ධ විදුහල්පතිනිය, පොලිස් පරීක්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා නොවැම්බර් 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා නියෝග කළේ ය.

එහිදී එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය හා පොලිස් කොස්තාපල් රියැදුරුවරයා ඇප මත මුදා හැරුණි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විදුහල්පතිනිය ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනා අද (නොවැම්බර් 16) ඇප මත මුදා හැර තිබේ.

මේ අතර මුදල් සොරකම් කළ බවට චෝදනා කරමින් හොරණ, මිල්ලනිය ගංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එහි විදුහල්පතිනියගේ වැඩ තහනම් කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රිලාල් නෝනිස් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කළ බවය. ඊට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙකු ද ඇතුළත් ය.

පාසල් සිසුන් ප්‍රකාශ ලබා දෙමින් පවසා තිබුණේ පොලිස් ජීප් රථය තුළදී ඔවුන්ට විදුලි සැර වැදීමට සැලැස් වූ බවටය.

ඊට යොදාගත් බව කියන දැනට ජාතික ළමාරක්ෂක අධිකාරිය භාරයේ ඇති පොලිස් ජීප් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ පැවසීය.

ඒ, සිසුන්ගේ ප්‍රකාශ වලින් කියැවෙන පරිදි ඔවුන්ට ජීප් රථය තුළදී විදුලි සැර වැදීමට සැලැස් වූ බව කියන සිද්ධිය සනාථ කර ගැනීම සඳහාය.

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණයක්

ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ ය.

පාසල් තුළ ළමුන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධි ඉහළට….

පාසල තුළ ළමුන් කෲරත්වයට පත්වීමේ සිද්ධි වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ පැවසීය.

"මෙතනදී විශේෂයෙන්ම විදුහල්පතිවරුන් , ගුරුවරුන් ඇතැම් පාසල්වල දරුවන්ට විනය කඩ කිරීමේ චෝදනා මත යම්යම් අවස්ථාවලදී පහරදීම් සිදු කිරීම් නිසා තුවාල ලබලා ප්‍රතිකාර ලබා ගත් අවස්ථා කිහිපයක්ම තිබෙනවා." සභාපතිවරයා සඳහන් කළේය.

තවත් ප්‍රවණතාවක් වනුයේ වැඩිහිටි ශිෂ්‍යනායකයින් කුඩා දරුවන්ට පහරදීමට බවට ජාතික ළමා රක්ෂක අධිකාරිය විසින් හඳුනා ගනු ලැබ තිබේ.

වැඩිහිටි ශිෂ්‍ය නායකයින් විසින් කුඩා දරුවන්ට දඬුවම් කිරීමේ සිදුවීම් කිහිපයක් වරින් වර වාර්තා වී ඇත බව ද සහාපතිවරයා පැවසීය.

කෙසේවෙතත් ගුරුවරුන් දඬුවම් කිරීම ගැන වාර්තා වුණත්, පාසලේ ශිෂ්‍ය නායකයින් පහළ පන්තිවල දරුවන්ට කායික දඬුවම් දීම හා පහරදීම වැනි කාරණා වාර්තා වීම සාපෙක්ෂව අඩු මට්ටමක පවතින බව සභාපතිවරයා සඳහන් කළේය.

ඉදිරි මාස 3 ඇතුළත නව නීති…

මේ අතර ළමයින් පාසල් තුළ කෲරත්වයට ලක්වීමේ සිද්ධි වැළැක්වීමේ නීති ඉදිරි මාස 3 ඇතුළත සම්පාදනය කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

එහි සභාපති උදය කුමාර අමරසිංහ පැවසුවේ , ඒ සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි.

දරුවන්ට පාසල් පරිසරය තුළදී කායික දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බවට විවිධ නිරීක්ෂණයන් හා නිර්දේශ ඉදිරිපත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

2021 ශ්‍රේෂ්ඨාධිකරණය මෙැවනි පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදී තිබුණි.

එහිදී ඉදිරිපත් වු නිරීක්ෂණ හා නිර්දේශමත පදනම්ව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන සංශෝධනය සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තියේ සඳහන් ළමුන් කෘෘරත්වයට පත් කිරීම පිළිබඳ වරද තවත් උපවගන්ති කිහිපයක් යටතේ සම්පාදනය කිරීමට අවදානය යොමුවී ඇති බව ජාතික ළමා රක්ෂක අධිකාරි යේ සභාපතිවරයා පැවසීය.

මෙම නව සංශෝධන, කෙටුම්පත් කිරීමෙන් පසු සිවිල් සංවිධාන හා අධ්‍යාපන බලධාරීන් වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

අනතුරුව එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පාසල තුළ ළමයින් කෲරත්වයට පත්වීමේ සිද්ධි සම්බන්ධයෙන් අංශ දෙකක් ඔස්සේ ළමාරක්ෂක අධිකාරිය මැදිහත් වන වන බව උදය කුමාර අමරසිංහ අවධාරණය කළේය.

2021 වසර තුළදී ජාතික ළමා රක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති පැමිණලි සංඛ්‍යාව 11187කි.

ඒ අතුරින් පැමිණිලි 2741 ලැබී ඇත්තේ ළමුන් කෘෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙනි.

2021 වසර තුලදී පැමිණිලි 947ක් ලැබී ඇත්තේ ළමුන්ට සිදුවු ලිංගික හිංසන ක්‍රියා සම්බන්ධයෙන් බව ජාතික ළමාරක්ෂක අධිකාරීය සඳහන් කළේය.