ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම්වලට එරෙහි පෙත්සම ගැන අධිකරණය ගත් තීරණය

Anura and Modi

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

මෙම පෙත්සම එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබී ය.

එහිදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

ඒ සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙසත්, විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විරෝධතා ගොනු කිරීමට වග උත්තරකරුවන්ට අවසර දුන් අතර, ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ගොනු කිරීමට කටයුතු කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියම කළේ ය.

ඉන් අනතුරුව, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 4 වන දා කැඳවන ලෙස නියම කළේ ය.

MOUs

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම අවබෝධතා ගිවිසුම්වල අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝණය කිරීමක් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර තිබිණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන් ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බව ය.

මෙම අවබෝධතා ගිවිසුම්වල අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝණය කිරීමක් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම් තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මෙන් ම භෞමික අඛණ්ඩතාවට ද හානි සිදු වී ඇති අතර, මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

ඊට අමතරව, සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ විස්සක වන්දියක් අය කර දීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.