ආන්දෝලනාත්මක සාම්පූර් විදුලි ව්‍යාපෘතිය වසර 20ක් පුරා ප්‍රමාද වූයේ ඇයි?

- Author, බීබීසී සිංහල
ඉන්දියානු සහයෝගීතාවෙන් සිදු කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අතින් අද (අප්‍රේල් 05 වැනිදා) පෙරවරුවේ ආරම්භ විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි විසින් කොළඹ සිට ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ, මාර්ගගත ක්‍රමයට යි.
සම්පූර් බලශක්ති ව්‍යාපෘතිය වසර 20කටත් වඩා වැඩි කාලයක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ ව්‍යාපෘතියකි.
මෙහි මුල් සැලැස්ම වූයේ සාම්පූර් ප්‍රදේශයේ තාප විදුලි බලාගාරයක් ඉදිකිරීම ය.

ඡායාරූප මූලාශ්‍රය, screenshot
එහෙත් එවකට ජනතා විමුක්ති මෙරමුණ ප්‍රමුඛ තවත් සිවිල් සංවිධාන රැසක් ද එම තාප බලාගාර ව්‍යාපෘතියට එරෙහිව විරෝධය පළ කරනු ලැබුවේ, පාරිසරික ප්‍රශ්න හා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය වන බවට චෝදනා කරමිනි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් තවත් විමර්ශනයක් ද ක්‍රියාත්මක කරනු ලැබීය.
සාම්පූර් බලාගාරය ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා වසර 2002 තරම් ඈතට විහිදී යයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ, 2025 වසරේදී තම ආණ්ඩුව යටතේ එම සාකච්ඡා අවසන් කිරීමට හැකිවූ බව ය.
ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රමාත්‍යවරයා අද කොළඹ සිට ව්‍යාපෘතිය මාර්ගගත ක්‍රමයට ඇරඹිය ද, මෙම ව්‍යාපෘතියට එරෙහිව ඇති ජනතා විරෝධය මෙතෙක් අවසන් වී නොමැත.
මෙම විදුලි ව්‍යාපෘතිය සඳහා තම ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් අප්‍රේල් 4 වැනිදා විරෝධතාවක ද නිරත වූහ.
'සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය' යනු කුමක් ද?
සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ ධාරිතාව මේගාවෝට් 120කි.
පළමු අදියර යටතේ මෙගාවෝට් 50ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට නියමිතය.
සම්පූර් ප්‍රදේශෙය් අක්කර 500ක භූමි ප්‍රදේශයක මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.
ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 100කි.
2027 වසරේ අගභාගයේදී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මොකද්ද මේ 'ට්‍රින්කොමලී පවර් කම්පැනි ලිමිටඩ්' කියන්නේ?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන්දියාවේ NTPC සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ට්‍රින්කොමලී පවර් කම්පැනි ලිමිටඩ් යන සමාගම යටතේ ය.
ඊට අදාළ ඒකාබද්ධ ගිවිසුමට හා කොටස් හිමිකාරීත්ව ගිවිසුමට 2022 මාර්තු 11 වැනිදා කොළඹ දී අත්සන් තැබිණි.
සාම්පූර් සූර්ය බලාගාරය මඟින් මොගාවොට් 100ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට නියමිත බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය 2022 වසරේදී නිවේදනය කළේ ය.
NTPCහි ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී නරින්දර් මෝහන් ගුප්තා, ලංකා විදුලිබල මණ්ඩලයේ එවකට සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු, ලංකා විදුලි බල මණ්ඩගයේ උප සභාපති සහ TPCL සභාපති එන්. එස්. ඉලංගකෝන් මෙම ත්‍රෛපාර්ශ්වික ලේඛනයට අත්සන් තබා තිබිණි.
ඒ අවස්ථාවට ඉන්දීය පාර්ශවය නියෝජනය කරමින් එවකට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහභාගි වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, එවකට බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, එවකට ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, එවකට සූර්ය, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ද සහභාගී වූ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.
"සාම්පූර්හි සූර්ය බලාගරයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා NTPC ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට මහ කොමසාරිස්තුමා සහභාගී විය. බැසිල් රාජපක්ෂ මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා අමාත්‍යවරුන් සිව්දෙනෙකු මේ සඳහා සහභාගී වූ අතර එය පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාවය ඇතුළු දෑ හරහා අන්‍යෝන්‍ය සෞභාග්‍යය වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවයේ ශක්තිය පිළිබඳ සාක්ෂියකි," යනුවෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය එහිදී ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පැවසීය.
මෙම සමාගමේ හිමිකාරීත්වය බෙදී යන්නේ කෙසේ ද, කොපමණ ආයෝජනයක් ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත්කර නොමැත.
මීට දශකයකට පමණ පෙර සාම්පූර් ආශ්‍රිතව NTPC ලිමිටඩ් හා එක්ව ගල්අඟුරු බලාගාරයක් ඉදිකිරීමට ද ඉන්දියාව සූදානම් විය. එහෙත් එම ව්‍යාපෘතිය නතර කෙරුණේ පසුගිය රජය ගල් අගුරු බලාගාර ඉදිනොකරන බවට ගත් ප්‍රතිපත්ති තීරණයෙන් පසුවයි.














