සාම්පූර් බලාගාරය ජනතාවට තවත් බරක් - දූෂණ විරෝධී සන්ධානය

ඉන්දීය සමාගමක් විසින් ත්‍රිකුණාමලයේ ඉදි කිරීමට යෝජිත සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරය ජනතාව මත පැටවෙන තවත් බරක් බව දූෂණ විරෝධී සන්ධානය පවසයි.
දූෂිත නිලධාරීන් විසින් අත්සන් තබන ලද සාම්පූර් බලාගාර ගිවිසුමේ කිසිදු විනිවිද පෙනෙන සුළු භාවයක් නැති හෙයින් අදාළ ගිවිසුම මගින් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 763 ක පාඩුවක් සිදුවන බවයි, සන්ධානයේ සම කැඳවුම්කරුවකු වන ජෝසෆ් ස්ටාලින් පවසන්නේ.
ඉන්දීය එන්ටීපීසීසී සමාගම සමඟ අදාළ ගිවිසුම අත්සන් තැබූ අවස්ථාවේ එවක සිටි විදුලි බල අමාත්‍යවරයා පවා යථාර්ථය නොදැන සිටි බවද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් සන්ධානයේ සම කැඳවුම්කරු කියා සිටියේය.
පාඩු ලැබීම පමණක් නොව බලාගාරය ඉදිකිරීම පිණිස අක්කර 10,000 ක් පවරා ගැනීම හේතුවෙන් ප්‍රදේශවාසී දෙමළ පවුල් 1500 ක් අවතැන් වී සිටින බව ද ඔහු පවසයි.
එබැවින් එම ගිවිසුම වහාම අවලංගු කළ යුතු බව දූෂණ විරෝධී සන්ධානයේ ඉල්ලීමයි.
සාම්පූර් පාඩු ලබන ව්‍යාපෘතියක් වුවද ඉන්දීය රජය සැනසීම පිණිස එය ක්‍රියාත්මක කරන බවයි, සන්ධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මේ අතර පවසන්නේ.
මේ අතර නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා අඩුම ටෙන්ඩරය ඉදිරිපත් කළ ඉන්දීය සමාගමට කොන්ත්‍රාත්තුව ලබා නොදී එය චීන සමාගමකට ලබා දුන් බවට ද ඔහු චෝදනා කරයි.




