කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල ශීඝ්‍රයෙන් ඉහළට: තරුණ ප්‍රජාවට කොළඹ පදිංචිය සිහිනයක් වෙයි ද?

Drone photo of the beautiful sunrise view above the clouds in the downtown district and Port City of Colombo city, Sri Lanka Port City is also called Colombo International Financial City which is a special economic zone and International Financial Centre located in Colombo, Sri Lanka, it is currently under construction on reclaimed land adjacent to the Galle Face Green. The project is part of China's Belt and Road initiative. Colombo is the commercial capital and largest city of Sri Lanka. According to the Brookings Institution, Colombo metropolitan area has a population of 5.6 million Photo taken on 25/11/2021

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ඉඩම්වල වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ, සංඛ්‍යාන දෙපාර්තුමේන්තුව අගෝස්තු මස 27 වන දා නිකුත් කර ඇති වාර්තාවට අනුව 2024 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වාර්ෂික ඉඩම් තක්සේරු දර්ශකය 11.4%ක ඉහළ යාමක් වාර්තා කර තිබේ.

තව ද 2024 වසරේ පළමු භාගයේදී 4.7%ක් වූ අර්ධ වාර්ෂික වර්ධනය 2025 වසරේ පළමු භාගයේදී 8.3%ක් දක්වා වැඩිවීමක් දක්නට ලැබේ.

ඉඩම් තක්සේරු දර්ශකය ඉහළ ගොස් ඇත්තේ කෙසේ ද?

මහ බැංකුවේ වාර්තාවට අනුව 2025 වසරේ පළමු භාගයේදී නේවාසික ඉඩම් තක්සේරුව 14.4%කින් ඉහළ ගොස් ඇති අතර වාණිජ ඉඩම් තක්සේරුව 11.5%කින් සහ කාර්මික ඉඩම් තක්සේරු දර්ශකය 8.4%කින් වර්ධනය වී ඇත.

අර්ධ වර්ෂික පදනමින් ද 2024 වසරේ දෙවන භාගයේ වාර්තා වූ අගයන්ට වඩා 2025 වසරේ පළමු භාගයේදී ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනුදර්ශක ඉහළ වේගයකින් වර්ධනයක් පෙන්වන අතර එහි ඉහළ ම වර්ධනය පිළිවෙළින් නේවාසික අනුදර්ශකය හා වාණිජ අනුදර්ශකය වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම වාර්තාවේ වාර්ෂික වර්ධන දත්තවලට අනුව 2024 වසරේ පළමු භාගයේදී 8.5%ක් වූ නේවාසික ඉඩම් තක්සේරු අනුදර්ශකය 2025 වසරේ පළමු භාගයේදී 14.4%ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාණිජ ඉඩම් තක්සේරු අනුදර්ශකය 2024 වසරේ පළමු භාගයේදී 8.5%ක වාර්ෂික වර්ධන අගයක් ගෙන ඇති අතර එය 2025 වසරේ පළමු භාගය වන විට 11.5%ක් වී තිබේ.

2024 වසරේ පළමු භාගයේදී 3.7%ක් ලෙස පැවති කාර්මික ඉඩම් අනුදර්ශකය 8.4%ක් දක්වා 2025 වසරේ පළමු භාගයේදී වාර්ෂික වර්ධනයක් වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ 2025 වසරේ පළමු භාගය වන විට 11.4%ක් වී ඇති ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේදී තිබී ඇත්තේ 6.9%ක අගයක ය.

වාර්තාවේ දක්වා ඇති පරිදි 2024 වසරේ පළමු භාගයේදී 230.1ක් ලෙස සටහන් වී ඇති ඉඩම් තක්සේරු දර්ශක අගය 2025 පළමු භාගය වන විට 256.4ක් වී තිබේ.

මෙම වාර්ෂික ඉඩම් තක්සේරු අගය ඉහළ යාම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි නේවාසික, වාණිජ හා කාර්මික ඉඩම්වල මිල ගණන් ද පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී වර්ධනය වනු ඇත.

ඉඩම් මිල ඉහළ යාමට හේතුව කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල මිල ඉහළ යාම සහ ඉන් සිදුවන බලපෑම පිළිබඳව බීබීසී සිංහල සේවය තවදුරටත් කරුණු විමසා බැලී ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දෙන්නේ, ඉහළ ගිය උද්ධමනයට ගැලපීමක් ලෙස මෙලෙස ඉඩම් මිල ඉහළ යාම සිදුවන බව ය.

"පහුගිය කාලේ 70%ක විතර උද්ධමනයක් තිබුණා. මේ උද්ධමනයට සාපේක්ෂව ඉඩම්, නිවාස වගේ දේවල්වල මිල ගණන් ඒ ප්‍රමාණයෙන් ම ඉහළ ගියේ නෑ. නමුත් අපි දන්න දෙයක් තමයි උද්ධමනයත් එක්ක මුදලක මිල දී ගැනීමේ හැකියාව පහළ යනවා. ඒ නිසා වෙච්ච දේ තමයි ඉඩකඩම්, ගෙවල්වල මිල ඉහළ යාම යම් ප්‍රමාදයක් ඇති වුණා, ඒ ගැලපීම වෙන්න. දැන් සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථිකයේ අනිත් අංශවල මිල ගණන් හැඩ ගැසීමෙන් අනතුරුව නිවාස, ඉඩම් වගේ දේවල්වල මිල ගණන් පහුගිය කාලයේ පැවති උද්ධමනයට අදාළව ගැලපීම තමයි දැන් සිදුවෙමින් පවතින්නේ," මහාචාර්යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

"2019 දී මුළු භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම සමාන්‍යයෙන් මම හිතන්නේ 103%ක් 110%ත් අතර ප්‍රමාණයකින් විතර ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉඩමකුත් ලක්ෂ 40ට තිබුණ එක ලක්ෂ 80ට නැතිනම් 90ට කිට්ටු වෙන්න මිල ඉහළ යන්න ඕනේ. අපි ඒ මට්ටමට ඉඩකඩම් මිල ඉහළ යනවා දැක්කේ නෑ. ඉඩකඩම් විශාල සප්ලයි එකක් තමයි තිබුණේ පහුගිය කාලයේ, විවිධ ආර්ථික අග හිඟකම් නිසා මිනිස්සුන්ට ඉඩකඩම් විකුණ ගන්න අවශ්‍ය වුණා, හැබැයි විකුණ ගන්න බැරි වුණා."

ප්‍රධාන නාගරික ප්‍රදේශවල ඉඩකඩම් මිල ඉහළ ගිය ද අර්ධ නාගරික හෝ ග්‍රාමීයව ඉඩම් මිල ඉහළ යා යුතු ප්‍රමාණයට මිල වැඩි වී නොමැති බව ද මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ කියා සිටියේ ය.

'තරුණ පිරිස් තමයි මේකෙන් විශාල වශයෙන් බැට කන්නේ'

මෙලෙස ඉඩකඩම්වල මිල ඉහළ යාමෙන් දැඩි ලෙස පීඩාවට පත්වන්නේ තරුණ ප්‍රජාව බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

"මේකේ ලොකු ම අවාසිය ඇති වෙලා තියෙන්නේ තරුණ පිරිස්වලට තමයි. තරුණ පිරිස් තමයි මේකෙන් විශාල විදියට බැට කන්නේ."

මෙම තත්ත්වය තුළ ඉඩම් හා නිවාස ණය ලබා ගැනීමේ දුෂ්කරතා ඇති විය හැකි බවත් ඔහු සඳහන් කළේ ය.

වාණිජ හා කාර්මික ඉඩම් මිල ඉහළ යාම ආයෝජනවලට එතරම් බලනොපාන බව පැවසූ මහාචාර්යවාරයා එයට හේතුව ලෙස සඳහන් කළේ, බොහෝ මහා පරිමාණ අයෝජන සිදු කරනු ලබන්නේ ඉඩම් මිලට ගෙන නොවන නිසා බව ය.

කෙසේ වෙතත්, මින් විශාල බලපෑමකට ලක්වන්නේ නිවාස ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් මිල දී ගැනීමට බලාපොරෙත්තු වන අයවලුන් බව ආර්ථික විද්‍යා විශේෂඥ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් කියා සිටියේය.

බැංකු ණය ලබා ගැනීමට පහසුවක්

ඉඩම්වල තක්සේරු වටිනාකම ඉහළ යාම බැංකු ණය ගැනීමට වඩා පහසුවක් සහ වැඩි මුදලක් ලබා ගැනීමට හැකි බව පෞද්ගලික අංශයේ වාණිජ බැංකුවක ණය අංශයේ රැකියාවේ නියුතු බැංකුකරුවෙකු වන චතුරංග කුමාරසිංහ බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.

"ණයක් ගැනීමේදී ගෙවන්න බැරි වුණ ණය පියවා ගන්න තියෙන ආරක්ෂණ තැන්පතුවක් තමයි ඉඩම කියන්නේ.ඒකේ වටිනාකම වැඩි වෙනවා කියන්නේ ආරක්ෂණ තැන්පතේ වටිනාකම වැඩි වෙනවා."

බැංකු විසින් ණය ලබා දෙනු ලැබූ විට ගෙවීමේ හැකියාව සලකා බලනු ලබන්නේ ඉඩමේ වටිනාකමට නොව එය සලකා බලනු ලබන්නේ ලබා ගන්නා ණය මුදලට අනුව බව ද ඔහු පැවසීය.

"ණය මුදලට වඩා ආරක්ෂාවට දෙන සුරැකුමේ වටිනාකම වැඩි නම් ඒක බැංකුව පැත්තෙන් යහපත් තත්ත්වයක්. ඒක ණය ගැනීමට පහසුවක්," යැයි චතුරංග කුමාරසිංහ පෙන්වා දුන්නේ ය.