රජයට බදු ගෙවන ජනතාව පුරවැසියන් ලෙස තමන්ට හිමි සහන සහ වරප්‍රසාද ගැන තෘප්තිමත් ද?

Tax

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල

සංජීව (සැබෑ නම නොවේ) පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු මාසිකව රු. 70,500ක පමණ ආදායම් බදු ගෙවන්නෙකු වූ අතර, අලුත් රජය ගෙනා බදු සංශෝධන යටතේ දැන් රු. 50,000ක පමණ බද්දක් ගෙවන්නෙකි.

අර්ථ සාධක අරමුදල, ආදායම් බදු, මුද්දර ගාස්තු ආදිය අඩු වීමෙන් පසු ඔහුගේ වියදම් සඳහා ඔහුට, වැටුපෙන් 20.5%ක පමණ ප්‍රමාණයක් අහිමි වෙයි.

මේ සියල්ල මැද ඔහුගේ දරුවන් දෙදෙනා ම ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන අතර, ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා රජය කිසිදු වියදමක් දරන්නේ නැත.

"ආණ්ඩුවෙ ඉංග්‍රීසි මාධ්‍ය පොත් පවා අපි ගන්නෙ සල්ලි ගෙවලා. අපේ දරුවන් ආණ්ඩුවේ ඉස්කෝලෙකින් වතුර උගුරක්වත් බොන්නෙ නෑ. අපි බදුත් ගෙවනවා. අපේ වියදමින් දරුවන්ට උගන්වනවා. ඒ නිසා අපි වගේ අයට යම්කිසි සහනයක් දෙන්න ඕන," සංජීව පවසයි.

මේ අතර, කුලී නිවසක සිට කොළඹ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වෙමින් රු. 100,000කට අධික ආදායම් බදු ගෙවන්නියක වන කුරුණෑගල පදිංචි මේධා ද අධික බදු ගෙවීම් මෙන් ම බදු ගෙවීමේදී කිසිදු සහනයක් හිමි නොවීම හේතුවෙන් පීඩනයට පත්ව සිටී.

"මගේ ගෙවල් කුරුණෑගල. මම රැකියාව කරන්නේ කොළඹ. ඒ නිසා මම ගෙවල් කුලියත් ලොකු මුදලක් ගෙවනවා. මට කවදා හරි ගෙයක් හදා ගන්න හීනයක් තියෙනවා. මම දැන් නිවාස ණයක් අරන් තියෙනවා, නිවස හදාගන්න කන් කුලී නිවසට ගෙවන්නත් ඕනි, වාරිකයට ගෙවන්නත් ඕනි. ගෙයක් කියන්නේ මිනිසුන්ගේ මුලික අවශ්‍යතාවක්. එහෙම වත්කමක් වත් නැති නිසානේ අපි ණයක් ගන්නේ. අපි බදු ගෙවන්න අකමැතිවත් විරුද්ධ අයවත් නෙවේ. මේ රටේ ජිවත් වෙලා සේවයක් කරන්න බලාගෙන ඉන්න මිනිස්සු.ඒත් පුංචිම හරි සහනයක් නැති එක කනගාටුවක්. ඉතා විශාල බදු මුදලකුත් ගෙවලා, අවම වශයෙන් ණය සහනයක්වත් නැතුව භාණ්ඩ හා සේවා ලබා ගන්නත් ඉතා විශාල මුදලක් අපිට වියදම් කරන්න වෙලා තියෙනවා." මේධා පැවසීය.

ඇය සැලකිය යුතු වැටුපක් ලබා ගන්නා පශ්චාත් උපාධිධාරිණියක ද වන අතර, බදු ප්‍රතිපත්තිය පිළිබඳව ඇය කලකිරී සිටියි.

"මට මගේ රැකියාවට අමතරව කිසි ම ආදායමක් නෑ. රැකියාව නිසා පාර්ට් ටයිම් රස්සාවල් කරන්නත් වෙලාවක් නෑ. ලොකු ආදායම් උපයන අය බදු ගෙවීම් පැහැර හරින අවස්ථා අපි දැකල අහල තියෙනවා. අපි වගේ බදු ගෙවන්නන්ට ගෞරවණීය විදිහට ජීවත් වෙන්න වෙන රටවල වගේ වැඩපිළිවෙළක් තියෙන්න ඕනෙ."

සංජීව සහ මේධා වැන්නන් මෙරට තවත් දහස් ගණනක් සිටිති. ඔවුන් මෙම දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නේ, 2022 බදු සංශෝධනයට පෙර පෞද්ගලික බදු ගෙවන්නන් සඳහා පැවති 'වියදම් සහන' (Expenditure Relief) 5ක් අහෝසි කර තිබීම ද සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව,

  • වෛද්‍ය රක්ෂණ වියදම් ඇතුළු සෞඛ්‍ය වියදම්
  • බදු ගෙවන්නා සහ පවුලේ සාමාජිකයින් දේශීය අධ්‍යාපන ආයතනයකින් අධ්‍යාපනය ලැබීමේදී වැය වන වියදම්
  • නිවාස ණය සඳහා පොළී ගෙවීම්
  • දේශීය වශයෙන් විශ්‍රාම යෝජනා ක්‍රම සඳහා කරන දායකත්ව ගෙවීම්
  • කොටස් වෙළෙඳපොළේ කොටස් මිල දී ගැනීමේදී කෙරෙන වියදම්

යන කරුණු 5 යටතේ රුපියල් ලක්ෂ 12ක් දක්වා වාර්ෂික බදු සහනයක් ලබා දී තිබිණි.

ඉහත සඳහන් කළ සහන සියල්ල 2022 අංක 45 දරන දේශීය ආදායම් සංශෝධන පනතින් අහෝසි කෙරිණි.
එය අහෝසි වූයේ, 2023 ජනවාරි 01 වන දා සිට ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සහන අහෝසි කළ පනත් සංශෝධනය

ඉහත සඳහන් කළ සහන සියල්ල 2022 අංක 45 දරන දේශීය ආදායම් සංශෝධන පනතින් අහෝසි කෙරිණි.

එය අහෝසි වූයේ, එවකට රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ 2023 ජනවාරි 01 වන දා සිට ය.

ඒ අනුව, අදාළ සහන ගෙවන ලද්දේ 2022 දෙසැම්බර් 31 වන දා වන තෙක් පමණි.

මෙම පනත යළිත් පසුගිය වසරේදී නව රජය විසින් යළිත් සංශෝධනය කරමින් ආදායම් බදු ගෙවීමේ සීමාව වසරකට රු. ලක්ෂ 18 දක්වා ඉහළ දමමින් යම් සහනයක් දුන්න ද, වියදම් සහන කිසිවක් ආපසු ලබා දුන්නේ නැත.

දැනට ඇති එක ම සහනය

ආදායම් බදු ගෙවන්නන්ට මේ වන විට ලැබෙන එක ම සහනය වන්නේ, සූර්ය පැනල සවි කිරීම සඳහා වැය වන මුදල් රු. ලක්ෂ 24ක් දක්වා ආපසු ලබා ගැනීමට හැකි වීම ය.

වාර්ෂිකව රු. ලක්ෂ 6 බැගින් වසර 4ක් තුළදී එම වියදම් ආපසු ලබා ගැනීමට අවස්ථාව පවතී.

එම සහනය ලබා ගැනීමට නම් වසර අවසානයේ ආදායම් බදු වාර්තා (Tax Return) ඉදිරිපත් කිරීමේදී වියදම් ආපසු ගැනීම සඳහා අයැදුම් කළ හැකි ය.

ඉන්පසු, ඔබට ගෙවිය යුතු මුදල ඔබේ බැංකු ගිණුමට බැර කෙරෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

'ලෝකයේ සෑම රටක් ම බදු ගෙවන්නන්ට වරප්‍රසාද දෙනවා'

ලෝකයේ සෑම රටක ම පාහේ බදු ගෙවන්නන්ට වරප්‍රසාද සහ සහන ලබා දෙන බව වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, රටක ආර්ථිකය සඳහා බදු ගෙවීම් අතිශය වැදගත් බව ය.

කෙසේ වෙතත්, එලෙස බදු ගෙවන්නන්ට යම් සහන ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

"2022 පනත සංශෝධනය වෙන්න කලින් නම් බදු ගෙවන්නන්ට සහන ලැබුණා. උදාහරණයක් විදිහට බදු ගෙවන කෙනෙකුගේ දරුවන් ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නවා නම්, ඔවුන් වෙනුවෙන් රජය කිසි ම වියදමක් දරන්නෙ නෑ. ඒ වගේ අවස්ථාවක ඔවුන් වෙනුවෙන් දෙමාපියන් දරන අධ්‍යාපනික වියදම් කපා හරින්න ඕන බදු අය කර ගන්නකොට. එවැනි අවස්ථා පහක් යටතේ ඉස්සර සහන ලැබුණා. ඒත් දැන් ඒවා අහෝසි කරල තියෙන එක බදු ගෙවන්නන්ට කරන අසාධාරණයක්. මේ රටේ බදු ගෙවීම බරක් බවට පත් කරල තියෙන්නේ," මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දුන්නේ ය.

'ඒ ගැන හොයල බලන්න ඕන' - මුදල් නියෝජ්‍ය අමාත්‍ය

මේ සම්බන්ධයෙන් අපි මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගෙන් විමසීමක් කළෙමු.

ඔහු ප්‍රකාශ කළේ, අදාළ වියදම් සහන ලබා දිය හැකි ද? යන්න සොයා බැලිය යුතු බව ය.

ඒ සම්බන්ධයෙන් යම් අධ්‍යයනයක් කළ යුතු බව ඔහු පැවසීය.

බදු අය කර ගැනීමට නිසි ක්‍රමවේදයක් තිබේ ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙතෙක් පැවති ක්‍රමය අනුව වෘත්තිකයින්ගේ මාසික වැටුප්වලින් ආදායම් බදු ඍජුව අය කර ගැනෙන අතර, බොහෝ ව්‍යාපාරිකයින් බදු ගෙවීම් පැහැර හරින බවට මතයක් පවතී.

එවැන්නන්ගෙන් නිසි පරිදි බදු අය කර ගැනීමේ වැඩපිළිවෙළක් රජයට තිබේ ද?

මේ සම්බන්ධයෙන් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ප්‍රකාශ කළේ, බදු ගෙවීම් පැහැර හැරීම වැළැක්වීම සඳහා "මුදල් නෝට්ටු භාවිතය වෙනුවට කාඩ්පත් සහ ඔන්ලයින් ගෙවීම් ක්‍රම ප්‍රවර්ධනය කළ යුතු" බව ය.

"අපට පේනවා මේ රජය ඒ සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්න බව. ඩිජිටල් ගෙවීම් පද්ධතිය හඳුන්වා දෙන්න යම් උත්සහයක් ගන්න බව පේනවා. ඊට අමතරව, බදු ගෙවීම් සහ විද්‍යුත් මුදල් භාවිතය සම්බන්ධයෙන් පනත් කිහිපයක් පාර්ලිමේන්තුවට ගේන්නත් පියවර ගනිමින් ඉන්නවා. අපි බලමු ඒ හරහා බදු අය කර ගැනීම විධිමත් වෙයි ද කියලා."

ඔහු පෙන්වා දුන්නේ, විද්‍යුත් මුදල් භාවිතය විධිමත් කළහොත් බදු අය කර ගැනීම නිවැරදිව කළ හැකි වන අතර, එසේ වුවහොත් බදු බර ද අඩු කර ගත හැකි බව ය.

"ටික දෙනෙක් විශාල බදු ගෙවන තත්ත්වය වෙනස් කරලා බදු ගෙවිය යුතු සියලු දෙනා අඩු බද්දක් ගෙව්වා ම අදාළ බදු ආදායම් එකතු කර ගන්න පුළුවන්, ජනතාවට බරක් නොවී."

අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය

අසල්වැසි ඉන්දියාවේ වාර්ෂික බදු ප්‍රතිශත වාර්ෂික ආදායම රු. ලක්ෂ 4 සිට 24 දක්වා 5% සිට 25% දක්වා අගයන්ගෙන් සමන්විත වන අතර, රු. ලක්ෂ 24ට වැඩි ආදායම් සඳහා 30%ක බද්දක් අය කෙරේ.

කෙසේ වෙතත්, ඉන්දියාවේ බඩු මිල පහත අගයක පැවතීම හේතුවෙන් බදු ගෙවන්නන්ගේ ක්‍රය ශක්තිය හෙවත් මිල දී ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී.

ඉන්දියාවේ බදු ගෙවන්නන්ට සහන සහ වරප්‍රසාද රැසක් හිමි වෙයි. ඒ අතරින්, මාසික වැටුප් ලබන සේවකයින්ගේ නිවාස කුලිය බද්දෙන් නිදහස් වීම, දේශීය නිවාඩු දිනවලදී ඉන්දියාව තුළ කරන සංචාර සඳහා යන වියදම් බද්දෙන් නිදහස් වීම, දරුවන්ගේ අධ්‍යාපනික වියදම් බද්දෙන් නිදහස් වීම, රක්ෂණ, විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම, නිවාස ණය ආදිය සඳහා වන වියදම් බද්දෙන් නිදහස් වීම සහ ආයෝජන සඳහා යොදවන මුදල් සඳහා බදු අය නොකිරීම සිදු කෙරේ.