ඔබේ බැංකු තැන්පතුවලින් අය කෙරෙන රැඳවුම් බද්දට ආණ්ඩුව කරන්න යන්නේ කුමක් ද?

Tax

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල

බැංකු තැන්පතු සඳහා වන රැඳවුම් බද්ද සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ දැඩි අවධානයක් මේ වන විට යොමු වී තිබේ.

ඒ, දැනට පවතින 5%ක රැඳවුම් බද්ද 10%ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශයට පත් කිරීමත් සමග ය.

කරන්න යන්නේ කුමක් ද?

බැංකු තැන්පතු සඳහා වන රැඳවුම් බද්ද සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මාධ්‍යවේදීන් හමුවේ මහනුවරදී පැහැදිලි කළේ මෙසේ ය.

"රැඳවුම් බද්ද 5%ක් තිබුණ බද්ද 10%ක් දක්වා වැඩි කළා. කවුරුන් හෝ තැන්පත්කරුවෙක් ස්ථිර තැන්පතුවකට මාසෙකට රුපියල් ලක්ෂ එක හමාරකට වැඩියෙන් පොළියක් ගන්නවා නම් එතකොට ලක්ෂ 18ක් ඔහු පොළී ආදායම ලබා ගන්නවා. එහෙම ගිණුමක් නැතිව ඇති ඔබට. හැබැයි එහෙම අයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහින් කියන්න පුළුවන් මම ලක්ෂ 18ක ආදායමක් උපයන්නෙ නෑ, ඒ නිසා මේ බද්ද ගැනීම මගෙන් නොකළ යුතු යි කියලා ඉල්ලීමක් කරනවා නම් ඒ අයගේ රැඳවුම් බද්ද ගන්නෙ නෑ. ඒ නිසා විශ්‍රාමිකයන්, වැඩිහිටියන් යම් මුදල් ප්‍රමාණයක් යොදවලා බැංකුවේ ඒ පොළියෙන් ජීවත් වෙනවා නම් කිසිසේත් ම අසීරුතාවට වැටෙන්නෙ නැහැ මේ රැඳවුම් බද්ද වැඩි කිරීම හරහා," ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඒ අනුව, දැනට පවතින රැඳවුම් බද්ද දෙගුණයකින් වැඩි කිරීමට සැලසුම් කර තිබේ.

රැඳවුම් බද්දට සීමා තිබේ ද?

මේ වන විට ක්‍රියාත්මක වන රැඳවුම් බද්ද අනුව එය ක්‍රියාත්මක කිරීමේ සීමා නොපවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එනම්, ඕනෑ ම බැංකු තැන්පතුවක් සඳහා ලැබෙන පොළී මුදලක් වෙනුවෙන් 5%ක බද්දක් අය කර ගැනේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, බැංකු මුදල් තැන්පතුවකින් ලැබෙන පොළී මුදල් දෙවන ආදායම් ප්‍රභවයක් ලෙස සලකන බව ය.

ඒ අනුව, උපයන විට බද්ද ගෙවීමෙන් පසුව ද, බැංකු තැන්පතු පොළිය වෙනුවෙන් රැඳවුම් බද්දක් අය කෙරෙන බව ඔහු පැවසීය.

රැඳවුම් බද්ද ආපසු ගෙවන අවස්ථා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බැංකු තැන්පතුවල පොළී මත අයකෙරෙන රැඳවුම් බදු ආපසු ගෙවන අවස්ථා කිහිපයක් ඇතැයි ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන පැවසීය.

"සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් සහ වාර්ෂික ආදායම ලක්ෂ 12ට අඩු පුද්ගලයින්ගෙන් අය කෙරෙන රැඳවුම් බද්ද අපි මාසිකව ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන යනවා."

කෙසේ වෙතත්, වයස අවුරුදු 65ට අඩු පුද්ගලයින් සහ අඩු ආදායම් ලබන පුද්ගලයින් සතු බැංකු තැන්පතුවලින් රැඳවුම් බද්ද අය කර ගැනීම නොකළ යුතු බව සිතන්නේ නම් වාර්ෂික බදු වාර්තාව සමග ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් ආපසු ගෙවීමට ක්‍රමවේදයක් ඇති බව ද ඔහු පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 1944 දුරකතන අංකය ඇමතිය හැකි ය.

කෙසේ වෙතත්, අය කර ගත් රැඳවුම් බද්ද ආපසු ගෙවීමේදී සතියකට වඩා කල් ගත වේ නම් ඊට පොළියක් ගෙවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (ජන:07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

මේ අතර, ආදායම් බදු වලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබා දීම සඳහා පහසු ක්‍රියාවලියක් සැකසීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනවාරි 07 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළ බවය.

ජනපතිගේ සහ නියෝජ්‍ය ඇමතිගේ ප්‍රකාශවල පරස්පරයක්?

රැඳවුම් බද්ද සම්බන්ධයෙන් ජනාධිපති සහ මුදල් ඇමති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කළ ප්‍රකාශය අතර පරස්පරයක් ඇතැයි මාධ්‍ය වාර්තාවල පළ වී තිබිණි.

රැඳවුම් බද්ද සියයට 5 සිට 10 ක් දක්වා වැඩි කළ බවත්, රුපියල් ලක්ෂ එක හමාරක මාසික පොළියක් ලැබෙන තැන්පතු සඳහා පමණක් මේ බද්දට යටත් වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත්, 10%ක රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් කපා ගන්නා බව කම්කරු ඇමති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු දෙසැම්බර් 26 වන දා මාධ්‍ය හමුවකදී පිළිගත්තේ ය.

එසේ බදු අය කර ගත්ත ද, බදු නොගෙවිය යුතු අයට එම මුදල් නැවත ගෙවන යාන්ත්‍රණය රජය විසින් ඉදිරියේදී ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කළේ, මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ අතර, රැඳවුම් බද්ද 10% දක්වා වැඩි කිරීම ලබන අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (ජනවාරි 7 වැනිදා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරය

යෝජිත රැඳවුම් බද්ද ක්‍රියාත්මක කළ හැක්කේ, පවතින ආදායම් බදු පනත සංශෝධනය කිරීමෙන් පසුව බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන පැවසීය.

එහෙයින්, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීමට තමන්ට හැකියාවක් නැතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ තැන්පතුවල ඇති මුදල කොපමණ ද?

ශ්‍රී ලංකාවේ බැංකුවල තැන්පතු ගිණුම් මිලියන 65ක් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රූපවාහිනී සාකච්ඡාවකදී අනාවරණය කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, එම ගිණුම්වල ඇති තැන්පතු මුදල රුපියල් ට්‍රිලියන 17ක් බව ය.