මොකක් ද මේ Tax Return? බදු වාර්තා ගොනු කරන්න බැරිවුණු දහස් ගණනකට කුමක් වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Inland Revenue Department - Sri Lanka
“මම දෙතුන් පාරක් ට්‍රයි කරලා බැලුවා. සිස්ටම් එක වැඩ කළේ නැහැ, කැරකි කැරකි තිබුණා. මම වැඩේ අතඇරලා දැම්මා,” යි නොවැම්බර් 30 වන දා ආදායම් බදු වාර්තා ගොනු කිරීමට ගත් උත්සහය අසාර්ථක වූ චතුර බීබීසී සිංහල සේවයට පැවසීය.
පෞද්ගලික බැංකුවක රැකියාවේ නියුතු ඔහු ඔක්තෝබර් මාසයේ සිට බදු වාර්තා ගොනු කිරිමට හැකි බව දැන සිටිය ද කාර්ය බහුලත්වය හා අවශ්‍ය ලිපි ගොනු සකස් කර ගැනීමට නොහැකි වීම මත අවසන් දිනට පෙර වාර්තා ලබා දීමට නොහැකි වී යැයි බීබීසි සිංහල සේවයට සඳහන් කළේ ය.
“මම වගේ හුඟක් අය ඉන්නවා මේක ෆයිල් කර ගන්න බැරි වෙච්ච ඒ නිසා මොකක් හරි සහනයක් ලැබෙයි කියලා හිතනවා,” යි චතුර කියා සිටියේ ය.
තවත් බොහෝ පිරිසකට බදු වාර්තා ගොනු කර ගැනීමට නොහැකි වී ඇති බව අපට නිරීක්ෂණය විය.
2023/2024 වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වන දා වන විට ගොනු කර අවසන් විය යුතුව තිබිණි.
එම අවසන් දිනයේ 16,000කට ආසන්න පිරිසක් බදු වාර්තා ගොනු කිරීමට දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට පිවිසිමෙන් ඇති වූ තදබදය හේතුවෙන් එම පද්ධතිය අක්‍රීය වී බොහෝ දෙනෙකුට වාර්තා ගොනු කිරීමට නොහැකි වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.
'හැකි ඉක්මනින් වාර්තා ලබා දෙන්න'
බදු වාර්තා නියමිත දිනට පෙර ගොනු කිරීමට නොහැකි වූවන් සඳහා යම් සහනයක් හෝ කාලය දීර්ඝ කිරීමක් කරන්නේ දැයි බීබීසි සිංහල සේවය දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විමසීමක් කළේ ය.
“දැනට කාලය දීර්ඝ කිරීමක් නැහැ, පනත අනුව අපි කටයුතු කරන්නේ. හැබැයි ඕන වෙලාවක වාර්තාව ලබා දෙන්න පුළුවන්. හැකි ඉක්මනින් වාර්තා ලබා දුන්නොත්, අපි හිතමු මේ සතියෙ ම වගේ දෙනවා නම් කොමසාරිස් ජනරාල්ගෙන් සහනයක් ඉල්ලීමට හැකියාවක් තියෙනවා,” යැයි එම දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සනත් හෙට්ටිආරච්චි බීබීසි සිංහල සේවයට පැවසීය.
සැප්තැම්බර් මස අග සිට හෝ ඔක්තෝබර් පළමු වන දා සිට ම ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ හැකියාව වෙබ් අඩවිය හරහා සලසා දී තිබුණු බව ද නියෝජ්‍ය කොමසාරිස්වරයා කියා සිටියේ ය.
ආදායම් බදු වාර්තා ඉදිරිපත් නොකළොත්?
ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ හෝ පැහැර හරින ලද පුද්ගලයින්, වාර්තාවේ සඳහන් ආදායම් බද්දෙන් 5%ක් සහ ප්‍රමාද වන සෑම මාසයක් වෙනුවෙන් ම එම බද්දෙන් 1%ක් ගෙවිය යුතු ය.
එසේ නොමැති නම් රුපියල් පනස් දහසක් සහ ප්‍රමාද වන සෑම මාසයක් සඳහා ම රුපියල් දස දහසක මුදලක දඩයක් ගෙවීමට සිදුවනු ඇත.
TIN අංකයක් තියෙන සියලු දෙනා බදු වාර්තා දිය යුතු ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
TIN අංකයන් හිමි සියලු දෙනා ආදායම් බදු ගෙවීමේ අවශ්‍යතාවක් නැති අතර, මාසයකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ දොළහකට වැඩි ආදායම් ලබන පුද්ගලයන් ආදායම් බදු ගෙවිය යුතු ය.
ආදායම් බදු නොගෙවුව ද ආදායම් බදු වාර්තාවක් නිකුත් වී තිබේ නම් ආදායම් බදු ගෙවීමට නොමැති බවට (Nil Return) වාර්තා ගොනු කළ යුතු අතර එසේ නොකළහොත් වාර්තා ගොනු නොකරන ලද බදු ගෙවන්නෙකු සේ සලකනු ලැබේ.
“දැනට ආදායම් බදු වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා වුණත්, ඒ තක්සේරු වර්ෂයේ එයාට ආදායම් බදු ගෙවන්න ආදායම් නැති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී එයාට සරල කරන ලද වාර්තාව කියලා එකක් තියෙනවා ඒක ලබා දෙන්න පුළුවන්.”
“දැනට ආදායම් බදු ගෙවන එක රැකියාවක් පමණක් කරන අය, පොළී ආදායම් විතරක් තියෙන අය, ඒ වගේ ම එක රැකියාවක් සහ පොළී ආදායම් කියන දෙක ම තියෙන අය වගේ ම ආදායම් බදු වාර්තාවක් නිකුත් වෙලා තිබුණත් බදු ගෙවන්න ආදායම් නැති අයට තමයි සරල කරන ලද වාර්තාව නිකුත් කරලා තියෙන්නේ,” යැයි නියෝජ්‍ය කොමසාරිස් සනත් හෙට්ටිආරච්චි විස්තර කළේ ය.
ඉහත පිරිසට අයත් නොවන බදු ගෙවන්නන් සමාන්‍ය වාර්තාවක් ලබා දීම සිදු කළ යුතු ය.
බදු ලිපිගොනුවේ ඊමේල් ලිපිනය යාවත්කාලීන නොවීම හේතුවෙන් PIN අංකය ලබා ගැනීමට නොහැකි වීම නිසා ද බොහෝ දෙනෙකුට ආදායම් බදු වාර්තා ලබා දීමට නොහැකි වී තිබේ.
එබැවින් බදු ලිපි ගොනු විවෘත කිරිමේදී හෝ දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව විසින් බදු ලිපි ගොනු විවෘත කරන ලද අවස්ථාවේ තිබූ ඊමේල් ලිපිනය වෙනස් වී ඇත්නම් වහා ම එම ඊමේල් ලිපිනය ලිපි ගොනුවට යාවත්කාලීන කරන ලෙස ද දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටී.














