රතු නිවේදන 60%කින් ඉහළට; විදුලිබිල ගෙවා ගන්න බැරිනම් මොකද කරන්නේ?

electricity

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉහළ ගිය විදුලි බිල හමුවේ මෙරට බහුතරයක් ජනතාව දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටියි. ඇතැම් විදුලි පාරිභෝගිකයින් පවසන්නේ සිය මාසික විදුලි බිල්පත මේ වන විට දැරිය නොහැකි අයුරින් ඉහළ ගොස් ඇති බවය.

බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළ මේවනවිට විශ්‍රාමිකව සිටින ගාමිණී තිලකරත්න සඳහන් කර සිටියේ සිය නිවසේ මාසික විදුලි බිල මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

'මගේ ගෙදර ඉන්නේ මමයි, බිරිඳයි දරුවන් හතර දෙනයි. අපේ ගෙදර ලොකුවට රූපවාහිනිය බලන්නේ නැහැ. උපරිම දවසට පැය 2-3ක් වගේ තමයි ටීවී එක බලන්නේ. ඉස්සර රුපියල් පන්දාහක් වගේ තමයි ගෙදර විදුලි බිල තිබුනේ. ඒත් දැන් විදුලි බිල රුපියල් අටදාහ පනිනවා. අපි වෙනදා වගේම තමයි කරන්ට් එක පාවිච්චි කරන්නේ. ඒත් මේ එන බිල ගැන හිතා ගන්න බැහැ.' යනුවෙන් ඔහු පවසයි.

‘රිවර්ස් සරදියෙල් විදුලි බිල’

මෙරට දුප්පත් ජනතාවට විදුලි බිල වැඩිවීම 1138% වෙද්දි ධනවතුන්ගේ විදුලි බිල වැඩිවීම 160% ක් වන බැවින් මෙය රිවර්ස් සරදියෙල් ක්‍රමය ලෙසින් හැඳින්විය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ පසුගියදා (මැයි මස 26 වෙනිදා) කොළඹදී “ජනතාව පෙළන විදුලි බිල අඩු කළ නොහැකිද?” යනුවෙන් පැවැති සම්මන්ත්‍රණය හා එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,"2022 අගෝස්තු මාසයේ මාසයකට ඒකක 30ක් දක්වා පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයින් ඒකකයට ගෙව්වේ රු2.50යි. අද ඒක රු30යි. ඒ අයගෙන් අය කළ ස්ථාවර ගාස්තුව රු30 සිට රු 400 දක්වාත් වැඩි වුණා. එහෙම බලන විට මාසයකට ඒකක 30ක් භාවිතා කරන විදුලි පාරිභෝගිකයෙකුට විදුලි බිල වැඩි වීම 1138%ක්. මම වැරදි නම් මාව නිවැරදි කරන්න. මේ ලෝකයේ කිසිම රටක කිසිම දිනක එතරම් දැවැන්ත මිල වැඩි කිරීමක් කෙටි කාලයක් ඇතුළත කරලා නෑ. මාස හතක් ඇතුළත 1138% වැඩි වීමක් තියෙනවා."

"මාසයකට ඒකක 30ක් කියන්නේ දවසට එක ඒකකයක්. විදුලි බුබුළු දෙකක්, රූපවාහිනිය, ජංගම දුරකතනය සහ ඇඳුම් මදින ස්ත්‍රික්කයට වඩා දෙයක් ඒ ගෙදර නෑ. විදුලි බුබුළු දෙකක් කියන්නේ යන්තම් කුස්සියේ සහ සාලයේ විතරයි විදුලි බුබුළු පත්තු වෙන්නේ. තාත්තා රූපවාහිනි බලන, අයියා යාළුවෝ එක්ක කතා කරන තැනමයි නංගි පාඩම් කරන්නේ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

"ලංකාවේ විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 68න් ලක්ෂ 15ක්ම විදුලිය භාවිතා කරන්නේ ඒකක 30ට අඩුවෙන්. පොහොසත් ජනතාවට බිල වැඩි කලා නම් ඒ අයට වැඩිපුර විදුලි බුබුළු නිවා දමන්න පුළුවන්."

"සතියේ ඇඳුම් එකවර මැද ගන්න පුළුවන්. පරණ පුරුදු ජීවිතයම ඕනෑ නම් වහල උඩ සූර්ය පැනලයක් සවි කරන ගන්න පුළුවන්. එහෙම කලොත් ගල්අඟුරු සහ තෙල් වලට රටින් පිටට යන විදේශ විනිමයත් ඉතිරි වෙනවා. ගෙදර සාලයට මුළු පවුලම රොක් වෙලා එක විදුලි බුබුළක් දල්වා ගෙන ඉන්න පවුලකට බිල වැඩි කලා කියලා අරපිරිමැස්මක් කරන්න පුළුවන් ද? එකම විදුලි බුබුළත් නිවා දමා කළුවරේ ඉන්නද කියන්නේ?"

"මේ අයට 1138% විදුලි බිල වැඩ කරන අතරේ ඒකක 180ක් භාවිතා කරන අයට වැඩි කලේ කීය ද? 2022 අගෝස්තු මාසයේ දී ඒකක 180ක් භාවිතා කරන අයෙකුට මාසික බිල 3,755යි. ඒකක කාණ්ඩ අනුව වෙන වෙනම ගණන් කරලා බැලුවාම දැන් ඒක 9,780යි. ඒ කියන්නේ බිල වැඩිවීම 160%යි. දුප්පත් මිනිහාට බිල වැඩිවීම 1138%යි. පොහොසත්ම මිනිහාට 160%යි. මේක සාධාරණ ද? එහෙම නම් මොකක්ද මේ කරලා තිබෙන්නේ ? දුප්පතාගෙන් වැඩිපුර අය කරගෙන පොහොසතාට සහන දීම." යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී පවසා සිටියේය.

‘ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රටවල් අතරට ලංකාවත්’

මේ වන විට ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රටවල් අතරට පැමිණ සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

"අවසානයේ දී ආයෝජන මණ්ඩලය මොන තරම් ප්‍රචාරය කළත් ලංකාවට ආයෝජකයෝ එන්නේ නෑ. පොහොසත් ජනතාවට සහන දෙන්න කර්මාන්ත හිමියන් මත ඒ බර පටවලා තිබෙන්නේ. ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රටක් ලංකාව. අද ලංකාවේ ඉන්න කම්හල් හිමියොත් ඒවා වහලා දාලා බංගලිදේශයට, වියට්නාමයට යනවා. ප්‍රධානම හේතුව දරා ගන්න බැරි අසාධාරණ විදුලි බිල."

විදුලි බිලට සහනයක් දෙන්න පුලුවන්ද ?

ඉහළ ගොස් ඇති විදුලි බිල හමුවේ අසරණ වී සිටින ජනතාවට සහනයක් ලබාදීමට හැකි ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් ගෙන් විමසීමක් කරන ලදී.

එහිදී සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ජනතාවට සහන ලබාදීමේ බලයක් තම මණ්ඩලයට නොමැති බවයි.

"අපිව රෙගුයලේට් කරන්නේ මහජන උපයෝගිතා කොමිසමෙන් නේ. එතකොට ඒ ගොල්ලෝ සහ රජය විසින් සාකච්ඡා කරලා සහනයක් දෙනවා මිසක් අපි සහන ලැබෙන විදිහට සහ අඩුම කොටස් වලට සහන ලැබෙන විදිහට එහෙම අපි විදුලි බිල ගණනය කරලා මහජන උපයෝගිතා කොමිසමට ලබා දීලා තියෙන්නේ. ඒ ගොල්ලෝ තමයි තීරණය කරන්න ඕන රෙගුයුලේටර් විදිහට කොයි විදිහට සහනය දෙනවද කියලා. අපි නෙමෙයි." යනුවෙන් ඔහු පැවසුවේය.

විදුලි බිල ගෙවීමට අපහසු පුද්ගලයෙකුට ලබාදිය හැකි සහනය කුමක් ද ?

පවතින දුෂ්කරතාවයන් හමුවේ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි විදුලි පාරිභෝගිකයෙකු සිටීනම් ඒ සම්බන්ධයෙන් ලබාදිය හැකි සහනය කුමක්ද යන්න සම්බන්ධයෙන් ද අප විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් විමසන ලදී.

එම පැනයට ඔහු විසින් ලබා දුන්නේ මෙවන් පිළිතුරකි,"මෙහෙමයි, අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ලොකු බිලක් ඇවිල්ලා පහුගිය කාලයේ යම් කිසි සාධාරණ හේතුවක් මත නොගෙවා සිටීමක් වුනා නම්, යම් මාස දෙක තුනක කාලයක් සහනයක් දෙන්න පුළුවන් සුවිශේෂී කරුණකට නම්. එහෙම නැතිව අපිට කරන්න බැහැ. අපි පහුගිය කාලයේ හෝටල් කේෂ්ත්‍රය, ගෙවල් වලට සහනය දුන්නා කොටස් වශයෙන් ගෙවන්න අවස්ථාව ලබා දුන්නා." යනුවෙන් සභාපතිවරයා පැවසුවේය.

අතේ ඇති මුදල ගෙවා සහනයක් ගන්න පුළුවන් ද?

තමන්ට ලැබෙන විදුලි බිල සම්පුර්ණයෙන් ගෙවීමට නොහැකි පුද්ගලයෙකුට අත ඇති මුදල පමණක් විදුලි බිල්ප්ත සඳහා ගෙවා ලංකා විදුලි බල මණ්ඩලයෙන් සහනයක් ලබා ගැනීමට හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් ද ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් අප කරුණු විමසන ලදී.

"එහෙම සහනයක් ගන්න බැහැ. එයාගේ අතේ ඇති මුදල ගෙවන්න පුළුවන්. නමුත් එයාගේ විදුලි බිල්පත සම්පුර්ණයෙන් ගෙවන්න ඕන අපි ලබාදීලා තිබෙන කාලය තුලදී. අපි හැම කෙනෙකුටම කාල සීමාවක් ලබාදීලා තියෙනවා. විදුලි පාරිභෝගිකයෙකුට දින 40ක කාලයක් තියෙනවා තමන්ගේ බිල්පත පියවන්න. ඒ කාලය තුලදී විදුලි බිල ගෙවීමේ වගකීම පාරිභෝගිකයා මත තිබෙනවා."

හිඟ විදුලි බිල්පත් වල වටිනාකම කොපමණ ද ?

පාරිභෝගිකයින් විසින් මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයට පියවීමට ඇති සමස්ත හිග මුදල් ප්‍රමාණයේ වටිනාකම සම්බන්ධයෙන් ද සභාපතිවරයාගෙන් අප විමසීමක් කළේය.

"මෙහෙමයි එක වෙලාවේදී රුපියල් බිලියන 40ක විතර බිලක් පාරිභෝගිකයින් ගෙන් අයවෙන්න තියෙනවා. ඒකෙන් බිලියන 20ක් විතර කොහොමත් දීලා තියෙන දවස් 40 සහනයට ඇතුළත් වෙනවා. මොකද පාරිභෝගිකයෙක්ට විදුලි බිල නිකුත් කළ දිනයේ සිට දින 40ක කාලයක් තියෙනවා ඒක පියවන්න. ඊලඟ බිල එනකොට තමයි එයාලා රතු බිල් ඛාණ්ඩයට වැටෙන්නේ. දින 30-40ක් තියෙනවා බිල ගෙවන්න. ඒ කාල සීමාවේදී අපි දරන පිරිවැය තමයි රුපියල් බිලියන 40ක්."

"මේ වන විට හිඟ විදුලි බිල්පත් ගෙවීම් ශේෂය රුපියල් බිලියන 20ක් තිබුණා, නමුත් දැන් අපි ඒක රුපියල් බිලියන 16ක් දක්වා අඩු කර ගෙන තියෙනවා." යනුවෙන් සභාපතිවරයා පැවසුවේය.

‘රතු නිවේදන යොමු කිරීම 60% කින් ඉහළට’

2022 වසරේ ජනවාරි මාසයේ සිට එම වසරේ දෙසැම්බර් මාසය දක්වා විදුලි බිල් පත් නොගෙවූ පාරිභෝගිකයින්ට ලංකා විදුලි බල මණ්ඩලය විසින් රතු නිවේදන යොමු කිරීම 60%කින් ඉහළ ගොස් ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම කොමිසමේ වෙබ් අඩවියේ ඇතුලත් දත්ත අනුව ඉකුත් වසරේ ජනවාරි මාසයේදී බිල් පත් නොගෙවූ පාරිභෝගිකයින් 253,465 ක් සඳහා රතු නිවේදන නිකුත් කර ඇත.

කෙසේවෙතත් එම වර්ෂයේ දෙසැම්බර් මාසයේදී රතු නිවේදන යොමු කර ඇති මුළු විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව 408,489ක් වේ.

ඒ අනුව එය 60%කින් පමණ ඉහළ ගොස් ඇති බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි.

මෙරට වාර්ෂික ඒක පුද්ගල විදුලි පරිභෝජනය කොපමණ ද ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලොව සෙසු රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉතා අවම මට්ටමක පවතින බව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය බීබීසී සිංහල සේවය වෙත පවසා සිටියේය.

"ඇත්ත වශයෙන්ම අපේ පාරිභෝගිකයෝ හරි හොඳයි. ඒගොල්ලන්ට තව අඩුකර ගන්න ක්‍රම නැති තරම්. අපේ පාරිභෝගිකයෙක් පාවිච්චි කරන්නේ විදුලි ඒකක 670ක්, මේ ගිය අවුරුද්දේ. මේකට ගේදොර අවශ්‍යතා, කර්මාන්ත ඇතුළු සියලු දේ අයිති වෙනවා."

"ඒක පුද්ගල වාර්ෂික විදුලි පාරිභෝජනය අතින් ගත්තම ඉන්දියාවේ පුද්ගලයෙකු වසරකට විදුලි ඒකක 1100ක් භාවිත කරනවා. එතකොට බ්‍රිතාන්‍යයේ බැලුවොත් ඕක ඒකක 14,000ක් වගේ වෙනවා. ඇමෙරිකාවේ ඒකක 12,000ක් වගේ වෙනවා. ලෝකයේ වැඩිම ඒක පුද්ගල පරිභෝජනය සහිත රට නොර්වේ හි වසරකට පුද්ගලයෙකු විදුලි ඒකක 25,000ක් භාවිත කරනවා. මේ විදිහට ගත්තම ලංකාවේ පුද්ගලයින් විදුලිය පාවිච්චි කරන්නේ හරිම පිරිමැසුම්දායක විදිහටයි."

"වියදම් අධික නිසා, විදුලි බිල දරාගන්න බැරි නිසයි මේ විදිහට ගෙවල් වල වුණත්, කර්මාන්ත ශාලාවල වුණත් විදුලි භාවිතය සීමාසහිතව තියෙන්නේ.මේ පසුබිමේ ඉඳන් තමයි අපිට කතා කරන්න වෙන්නේ තවත් විදුලි පරිභෝජනය අවම කර ගන්න ඕන කොහොම ද කියලා." ආචාර්යවරයා පැවසීය.

ලොව සෙසු රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉතා අවම මට්ටමක පවතී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව සෙසු රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉතා අවම මට්ටමක පවතී

ශීතකරණය සහ විදුලි පංකාවෙන් විදුලිය ඉතුරු කර ගන්නේ මෙහෙමයි ?

විදුලි පරිභෝජනය අවම කර ගැනීමේදී නිවසේ එදිනෙදා භාවිතයට ගැනෙන විදුලි උපකරණ සම්බන්ධයෙන් අවදානය යොමු කිරීම ඉතා වැදගත් බව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්යවරයා මෙසේ පැවසුවේය.

"විදුලි ආලෝකය, රූපවාහිනිය, විදුලි පංකා සහ ශීතකරණයට තමයි ලංකාවේ පාරිභෝගිකයෝ විදුලිය භාවිත කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තම රෙදි සෝදන යන්ත්‍රය, රයිස් කුකර් එක වගේ දේවල් ඇත්තටම තියෙන්නේ ගෙවල් වලින් 50%කට අඩු සංඛ්‍යාවක තමයි තියෙන්නේ. සමීක්ෂණ වලින් පෙන්නේ ඒකයි."

"විදුලි ආලෝකය කළමනාකරණය කිරීම අතින් ලංකාවේ පාරිභෝගිකයින් හොඳ මට්ටමක සිටිනවා. විදුලිය සඳහා භාවිතා කරන බල්බ් වර්ග ගැන බැලුවොත් සමීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා නිවෙස් වලින් සීයයට 80ක් පමණ CFL හෝ LED බල්බ් වලට මාරුවෙලා තියෙනවා කියලා. බොහොම සුළු ප්‍රමාණයක් තමයි පරණ සුත්‍රිකා ලාම්පු තියෙන්නේ."

"නිවෙස් වල විශාල තිර සහිත රූපවාහිනියක් භාවිතා නොකර සිටීමෙන් විදුලිය වැයවීම සිමා කර ගත හැකියි. මොකද ආසන්න වශයෙන් සියලුම රූපවාහිනී පරිවර්තනය වෙලා ඉවරයි LED තාක්ෂණයට. තවත් බොහෝ සුළු රූපවාහිනී ප්‍රමාණයක් තමයි පැරණි තාක්ෂණයේ ඒවා තියෙන්නේ. ලංකාවේ රූපවාහිනී භාවිතය සියයට සියයයි අපේ රටේ. හැම ගෙදරකම රූපවාහිනියක් තියෙනවා."

විදුලි පංකා භාවිතය

"අවසන් වරට සිදුකළ සංඛ්‍යා ලේඛනයන් අනුව රටේ නිවෙස් වලින් සියයට 70ක පමණ එක් විදුලි පංකාවක් හෝ තියෙනවා. විදුලි පංකා අතින් බැලුවම සිවිලිමේ සවිකරන විදුලි පංකාවකට යන විදුලියෙන් සීයයට 50ක් පමණයි ටේබල් විදුලි පංකාවක් සඳහා වැය වන්නේ. හේතුව ටේබල් ෆෑන් සහ, බිත්තිවල සවිකරන පංකාවල මෝටරය පොඩි. පාරිභෝගිකයින්ට හැකියාවක් තියෙනවනම් මිලදී ගැනීමේදී සිවිලිම් විදුලි පංකාවක් වෙනුවට මේසය මත තබන විදුලි පංකාවක් හෝ බිත්තියේ සවිකළ හැකි විදුලි පංකාවක් තමයි මිලදී ගත යුත්තේ. ඒකෙන් 50%ක් විදුලි ඉතිරියක් සිදුකර ගන්න පුළුවන්."

ශීතකරණ

"ලංකාවේ ශීතකරණ තියෙන්නේ නිවෙස් තියෙන්නේ 60-65%ක් වගේ ප්‍රමාණයක්. අඩු අදායම් තියෙන බොහෝ නිවෙස්වල ශිතකරණ නැහැ. ශීතකරණවල තාක්ෂණය පසුගිය අවුරුදු 10 තුලදී විශාල වෙනස්කමකට භාජනය වුනා. වර්තමානයේ ශීතකරණ වල තියෙන්නේ ඉන්වර්ටර් කියන තාක්ෂණයයි."

"පැරණි තාක්ෂණය සහිත ශීතකරණයක මිල සහ නව ශීතකරණයක මිල සමග සැසදීමේදී එය සීයයට 30-40ත් මිල වැඩියි. ඒ වගේ විදුලි භාවිතය සීයයට 30-40ත් අතර ප්‍රමාණයක් අඩුයි. සාමාන්‍යය නිවෙස්වල තියෙන පැරණි තාක්ෂණය සහිත දොර දෙකේ ශීතකරණයක් මාසිකව විදුලි ඒකක 80ක් විතර භාවිත කරනවා. අලුත් තාක්ෂණයේදී ඕක විදුලි පරිභෝජනය ඒකක 45ක් වගේ අඩු වෙනවා. නව තාක්ෂණය සහිත ශීතකරණයක් මිලදී ගන්න යන මුදල පාරිභෝගිකයාට දරා ගන්න පුලුවන්නම් එය වටිනාකමක්."

"රජය පැත්තෙන් ප්‍රතිපත්තිමය වශයෙන් වගකීමක් තියෙනවා මෙතැනදී ඉටුවෙන්න. විශේෂයෙන් ඉන්වර්ටර් තාක්ෂණය ඇති ශීතකරණයක මිල සාමාන්‍ය ශීතකරණයක මිල සමග සැසදීමේදී 40%ක් පමණ වැඩි නිසා එය රජය සහ පාරිභෝගිකයා බෙදා ගන්න හැකිනම් අපිට ඔප්පු කරන්න පුළුවන් රජය දරනු ලබන සහනාධාරයේ ප්‍රතිලාභය ගොඩක් වැඩියි කියලා."

"එතකොට ජාතික වශයෙන් ඩීසල් මගින් සිදුකරන විදුලි උත්පාදනය සීමා වෙනවා. පාරිභෝගිකයා ගෙවන මිලට වඩා වැඩි ගණනක් ඉතුරුවෙනවා විදුලි ජනනය සඳහා වැය කෙරෙන ඩීසල් ලීටරයක් ඉතුරු කිරීම මගින්. මොකද විදුලිය ඉතිරි කිරීම ඉතිරි වන්නේ මිල අධිකතම විදුලි බලාගාරයෙන්. එතකොට මිල අධිකම විදුලි බලාගාරයේ නිෂ්පාදන වියදම පාරිභෝගිකයා ගෙවන ගණනට වඩා වැඩියි. එය මම පමණක් නොවෙයි සුනිත්‍ය බලශක්ති අධිකාරියත් පෙන්නලා තියෙනවා මේ ගැන."

"අවුරුදු 20ක් විතර භාවිත කළ ශීතකරණ මාරු කරන්න පාරිභෝගිකයින් දැන් සිතනවා ඒවායේ එන ඇතැම් ගැටලුත් එක්ක. ඒ නිසා මේ සහනය දෙන්න පුලුවන්නම් විදුලි නිෂ්පාදනයට වැයවෙන මුදල ඉතිරි කරන්න හැකියාව ලැබෙනවා වගේම පාරිභෝගිකයටත් සහනයක් ලැබෙනවා."

‘විදුලි උපකරණ මිලදී ගැනීමේදී මිල ගැන විතරක් නොවෙයි, මේ ගැනත් සිතන්න’

"විදුලි බිල පාලනය කිරීම, නිවසකට අවශ්‍ය විදුලි උපකරණ මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු අත්‍යවශ්‍ය කරුණක් බව බලශක්ති පිලිබඳ උපදේශක, වරලත් විදුලි ඉංජිනේරු නදීර විජේසිංහ පවසයි.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ විදුලි උපකරණ මිලදී ගැනීමේදී මිල සහ ඉන් ලැබෙන පහසුකම් වලට අවදානය යොමු කරනවා සේම තවත් එක් කරුණක් සඳහා ජනතාව සිය අවදානය යොමු කිරීම වැදගත් බවයි.

ගෙදරට අවශ්‍ය විදුලි උපකරණ මිලදී ගැනීමේදී ඒවායෙන් ලැබෙන පහසුකම් සහ මිලට අමතරව බලශක්ති කාර්යක්‍ෂමතාවය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව වරලත් විදුලි ඉංජිනේරු නදීර විජේසිංහ පෙන්වා දෙයි.

"එමෙන්ම ගෘහස්ත විදුලි උපකරණ සඳහා වැය කිරීමට සිදුවන පවත්වාගෙන යාමේ පිරිවැය ගැනද අවධානය යොමු කිරීම ඉතා වැදගත්."

"ඒ වගේම ගෙදරට ශීතකරණයක්, වායු සමීකරණ යන්ත්‍රයක් වැනි දෙයක් මිලදී ගන්නා විට එය තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙනවා ද යන්න ගැන අවධානය යොමු කිරීම වැදගත්. සල්ලි තිබුනා කියල කඩේ තියෙන ලොකුම ශීතකරණය ගෙනල්ලා ගෙදර තියා ගන්නේ නැතිව අවශ්‍යතාවයට ගැලපෙන එකක් මිලදී ගන්න."

ස්මාර්ට් හෝම්

නිවසේ ඇති විදුලි උපකරණ පාලනය කිරීමට ස්මාර්ට් තාක්ෂණය යොදා ගැනීම අද ලෝකයේ බොහෝ රටවල සිදුවන දෙයක් වුවත් ශ්‍රී ලංකාව තුල ද එවැනි ක්‍රමයක් අනුගමනය කිරීම තුළින් විදුලිය වැය වීම පාලනය කළ හැකි බව වරලත් විදුලි ඉංජිනේරු නදීර විජේසිංහ පෙන්වා දෙයි.

"සාමාන්‍යයෙන් රුපියල් දසදහසක් වගේ මුදලකින් දැන් ගෙදරකට ස්මාර්ට් හෝම් කියන සිස්ටම් එක හදන්න පුළුවන්. එතකොට තමන්ගේ ජංගම දුරකථනය උපයෝගී කරගෙන ෆෝන් එකේ තියෙන ඇප් එකක් හරහා ගෙදර තියෙන විදුලි උපකරණ පාලනය කරන්න හැකියාව ලැබෙනවා."

"නිවසේ පරණ වායු සමීකරණ යන්ත්‍රයක් තියෙනවා නම් ඒක ස්මාර්ට් කරන්න පුළුවන්. ඒ වගේම ගෙදර තියෙන විදුලි බල්බ, විදුලි පංකා වගේ දේවල් මේ ක්‍රමයෙන් පාලනය කරන්න හැකියාව තියෙනවා. ඉස්සර මේවට ලොකු මුදලක් වියදම් වුනාට දැන් එහෙම නැහැ. මිල ගණන් අඩු වෙලා තියෙන්නේ."

"ගෙදර ඉන්න අයත් එක්ක කතා කරගෙන නිවසේ තියෙන විදුලි උපකරණ ස්වයංක්‍රියව පාලනය කරන්න පුළුවන් දැන්." යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

විදුලි ගාස්තු සංශෝධනය ලබන මාසයේ..

මේ අතර ජුලි 01 වනදා සිට ක්ෂේත්‍ර කිහිපයක් සඳහා විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවට පසුගියදා දැනුම් දුන්නේය.

ඒ අනුව ගෘහස්ථ විදුලි ඒකක 0-30 අතර ප්‍රමාණයක භාවිතය සඳහා ඒකකයකට අය කරන මිල රුපියල් 30 සිට 25 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ජූලි මාසයේ සිට ඇතැම් ගෘහස්ථ පරිභෝජන කණ්ඩායම් සඳහා දේශීය ස්ථාවර ගාස්තු රුපියල් 400 සිට රුපියල් 250ක් දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

ඒ අනුව ගෘහස්ත විදුලි ගාස්තු අවම වශයෙන් 23%කින් අඩු වෙනු ඇති බව අමාත්‍ය කංචන විජේසේකර එහිදී පවසා සිටියේය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

ඒකක 31 සිට ඒකක 60 දක්වා විදුලිය පරිභෝජනය කරන කුටුම්භවල විදුලි බිල 09% කින්ද, ඒකක 0 සිට 60 දක්වා 07%කින් අඩු කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

ඒකක 0 ත් 30 ත් අතර ප්‍රමාණයක් භාවිත කරන ආගමික ස්ථානවල විදුලි ගාස්තු අවම වශයෙන් 23% කින් අඩු කරන බව ද අමාත්‍ය කාංචන විජේසේකර එහිදී ප්‍රකාශ කළේය.

හෝටල් සහ සංචාරක කේෂ්ත්‍ර සඳහා ජූලි මාසයේ සිට විදුලි ගාස්තු අවම වශයෙන් 29% සිට 40%ක දක්වා කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.