‘බිල් නොගෙවා සිටින්න ජනතාවට පුළුවන්’ - විදුලි සේවක සංගමය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කොරෝනාවෛරසය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් 'ගහෙන් වැටී' සිටින ජනතාවට 'ගොනා අනින්නාක් මෙන්', මාස කිහිපයක් තුළ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය ගන්නා උත්සහය පිළිබදව දැඩි මතභේදකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.
පසුගිය අගෝස්තු මාසයේ දී ඉහළ දැමූ විදුලි ගාස්තු නිසා මේ වන විටත් ජනතාව චෝදනා කරන පරිදි "දරාගත නොහැකි විදුලි බිල්" ලැබෙමින් පවතියි.
රජය යළිත් වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට සැරසෙන්නේ මෙවන් තත්ත්වයක් තුළ ය.
මෙම අර්බුදය හේතුවෙන් විදුලි බල අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, සහ විදුලි සේවක සහ ඉංජිනේරු වෘත්තිය සමිති අතර ඝට්ඨනයක් නිර්මාණය වී තිබේ.
"විදුලි ගාස්තු 60%කින් ඉහළට"
නව ගාස්තු සංශෝධනය අනුව විදුලි ගාස්තු 60%ත්, 65%ත් අතර ප්‍රතිශතයකින් ජනවාරි මාසයේ දී ඉහළ දැමීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී රොහාන් සෙනෙවිරත්න අගහරුවාදා (දෙසැ. 27) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
“දළ වශයෙන් 60% – 65% අතර ප්‍රමාණයක් ඒවි. අපේ අමාත්‍යංශය මඟින් තමයි ඒ කටයුත්ත කරන්නේ,” ඔහු පැවසීය.
ඔහු පැවසුවේ, විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සදහා රු. 48.42ක් වැය වන අතර දැනට අය කරන ගාස්තුව රු. 29.14ක් බව ය.
මෙම යෝජිත ගාස්තු ක්‍රියාත්මක කළහොත් රු. 3000ක් ලෙස පවතින විදුලි බිල අවම වශයෙන් රු. 4800ක් දක්වා ඉහළ යනු ඇත.
ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසන්නේ, 60%ක ගාස්තු ඉහළ දැමීම මුල් ඒකක 30ට පමණක් අදාළ වන අතර අමතර ඒකක සදහා ඊට වඩා ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ යන බව ය.
විදුලි බල ඇමතිගේ අනතුරු ඇඟවීම
මේ අතර, අගහරුවාදා පැවති මාධ්‍ය හමුවේ දී විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ, "විදුලි ගාස්තු ඉහළ නොදමන්නේ නම් පැය කිහිපයක විදුලිය විසන්ධි කිරීමකට හුරු විය යුතු," බව ය.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
"මහජනයා නොමඟ යැවීමක්"
මේ අතර, රජය විදුලි ගාස්තු ඉහළ දැමීමට පදනම් කර ගනිමින් සිටින්නේ වැරදි දත්ත බවත්, එම තීන්දුව ක්‍රියාත්මක කළහොත් ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුළුව සමස්ත කර්මාන්ත අංශය කඩා වැටෙනු ඇතිබවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ජයනාත් හේරත් පවසයි.
විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයා හා ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් අඟහරුවාදා (දෙසැ. 27) ඉදිරිපත් කළ දත්ත එකිනෙකට පරස්පරයැ යි ද, මෙමඟින් කෙරෙන්නේ "තනිකරම මහ ජනයා නොමඟ යැවීමක්යැ," යි ද ලේකම්වරයා කීය.
එම නිසා මෙම දෝෂසහගත දත්ත මත විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන තීන්දු නොගන්නැ යි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෘත්තීයවේදීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේයැ යි ද ඔහු අවධාරණය කළේ ය.
"විදුලිය විසන්ධි කරන්න අපි යන්නේ නෑ"
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
යළිත් විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් විදුලි බිල් නොගෙවා සිටීමට ජනතාවට හැකි බවත්, එසේ බිල් නොගෙවන පාරිභෝගිකයින්ගේ විදුලිය සැපයුම විසන්ධි කිරීමට විදුලි සේවකයින් නොයන බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් බීබීසී සිංහල සේවයට පැවසීය.
"ආණ්ඩුව ගාස්තු වැඩි කරන පළියට බිල් ගෙවන්න ජනතාවට බැහැ. බිල් නොගෙවා සිටින්න ජනතාවට පුළුවන්. කැමති අයට ගෙවන්න පුළුවන්. අකමැති අයට නොගෙවා ඉන්න පුළුවන්. විදුලි බිල නොගෙව්වා කියලා ඔවුන්ගේ නිවාසවල ලයිට් කපන්න අපි යන්නේ නෑ. මොක ද අපට බැහැ ජනතාවගෙන් ගුටිකන්න," රංජන් ජයලාල් පැවසීය.
"මේ විදිහට ගාස්තු වැඩි කරලා විදුලි බල මණ්ඩලේ පාඩු පියවගන්න බෑ. විදුලි බිල් නොගෙවා මණ්ඩලයට පොල්ල තියපු මැති ඇමතිලා ගොඩක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. ඔවුන්ගේ නිවාසවල විදුලිය විසන්ධි කරන්න ගියාම අපේ සේවකයින්ට තර්ජනය කරනවා. පහර දෙනවා. අපි ඒ ගැන පොලිසිවල පැමිණිලි දාලා තියෙනවා. ඒත් කිසි ම විභාගයක් නෑ. ඔවුන්ගෙන් ඒ ගාස්තු අයකර ගන්න රජය කිසිම උත්සාහයක් ගන්නෙ නෑ. අහිංසක මිනිස්සුන්ට තමයි ආණ්ඩුව තවත් පීඩන එල්ල කරන්නේ. ඒ නිසා අපි විදුලි ගාස්තු ආයෙත් වැඩි කරන එකට විරුද්ධ යි."
"මේ අසාධාරණ ගාස්තු වැඩිවීම කළොත් මේ රටේ ඉන්න සියලුම විදුලි පාරිභෝගිකයෝ රජයට එරෙහිව පාරට බස්සනවා," රංජන් ජයලාල් අනතුරු ඇඟවීමක් ද කළේ ය.
"එහෙම තීන්දු ගන්න විදුලි සේවකයින්ට බැහැ"
රජය ගන්නා තීන්දු ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය බැඳී සිටින බවත්, එම තීන්දු ක්‍රියාත්මක නොකර සිටීමට සේවකයින්ට අයිතියක් නොමැති බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශක සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි බීබීසී සිංහල සේවයට පැවසීය.
"විදුලි බිල් නොගෙවන අයට විදුලිය විසන්ධි කරන්නේ නැහැ කියලා සේවකයින්ට කියන්න බෑ. ඔවුන්ගේ රැකියාව කරන්න ඕන. රජය ගන්න තීන්දු ක්‍රියාත්මක නොකර ඉන්න ඒ ගොල්ලන්ට බෑ නේ. එහෙම නොකළොත් රටේ සහ මණ්ඩලයේ නීති තියෙනවා ඔවුන්ට විරුද්ධව පියවර ගන්න," ඔහු අවධාරණය කළේ ය.












