IMF: ශ්‍රී ලංකාවට වාහන ආනයනයට මාර්ග සිතියමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (ජුනි 14 වැනිදා) සිය ස්ථාවරය පැහැදිලි කරනු ලැබීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් ඒම පැහැදිලි කිරීම කරනු ලැබුවේ බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.
ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි ඇගයීම සහ 'ආටිකල් iv' උපදේශනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ නියෝජිත කණ්ඩායම අද (14) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.
පීටර් බෲවර් මෙහිදී පෙන්වා දුන්නේ ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගරු කරන බවය.
ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් IMF වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන බවත් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර නැවත කාලරාමුවක් සකස් කරගැනීම සිදුවෙන බවද ඔහු තවදුරටත් පැවසීය.
“ඕනෑම රටක මැතිවරණ පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට අපි සම්පූර්ණයෙන්ම ගරු කරන අතර අපි එම ක්‍රියාවලියට අනුගත වෙනවා. එබැවින්, වැඩසටහනට අනුකූල වීම සහ ඉදිරියට යන ප්‍රතිසංස්කරණ සාකච්ඡා කිරීම සඳහා අප විසින් සිදු කරන අපගේ දූත මණ්ඩලවල කාලයට මෙය ටිකක් බලපායි. ඉතින් තවම මැතිවරණය කැඳවලා නැහැ. එබැවින් අපි එය බලාගෙන ඉන්නවා. ඉන්පසුව මැතිවරණය අනුව අපේ කාලසටහන සකස් කර ගන්නේ කෙසේද යන්න බලධාරීන් සමඟ සාකච්ඡා කරනවා” යැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර බෲවර් අවධාරණය කළේය.
වාහන ආනයනයට මාර්ග සිතියමක්
මෝටර් වාහන ආනයනය සඳහා වන සීමාවන් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් මූලික මාර්ග සිතියමක් සකස් කර ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනාවරණය කළේය.
ඒ අනුව 2024 තුන්වන කාර්තුවෙහි පොදු මගී ප්‍රවාහන සහ විශේෂ කාර්ය වාහන ආනයනය ආරම්භ වන අතර 2024 හතර වන කාර්තුවේදී භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය සහ 2025 දී සෙසු ආනයනය ආරම්භ කිරීමට නියමිතය.

කාර්ය සාධනය ශක්තිමත් නමුත් ආර්ථිකය තවමත් අවදානම් බවට අනතුරු ඇඟවීමක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ තුන්වන ණය වාරිකය අනුමත කිරීමට පෙර එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් පැවැත් වූ සමාලෝචනය අවසන් කර ශ්‍රී ලංකාවට, තුන්වන ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් වෙත ක්ෂණික ප්‍රවේශය ලබා දීමට ජාත්‍යන්තර අරමුදල විසින් අනුමැතිය ලබා දෙනු ලැබීය.
ජාත්‍යන්තර මූල්‍ය රමුදල විසින් ජුනි 12 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙන අතර සමාජ සුභසාධන වියදම් හැර අනෙක් සියළු ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව විසින් 2023 දෙසැම්බර් වන විට සපුරා ඇතැයි එහි දැක් වේ.
ආර්ථිකය තවමත් ආදානම් තත්වයක
ආර්ථිකය නැවත ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්යය සාධනය ශක්තිමත් වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එහෙත් ධනාත්මක වර්ධනයන් නොතකා, ආර්ථිකය තවමත් අවදානම් තත්ත්වයක පවතින අතර ණය තිරසාරත්වයේ මාවත තවමත් අවදානම් තත්ත්වයක ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මිල ස්ථායිතාව පවත්වා ගැනීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම ඇතුළු ආර්ථික වර්ධනයට අදාල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීම සම්බන්ධයෙන් මෙවර වැඩි අවධානයක් යොමුව තිබේ.
දළ දේශීය නිෂ්පාදිතය 2023 දෙවන භාගයේදී 3%කින් ප්‍රසාරණය වී ඇති අතර, 2024 මැයි උද්ධමනය 0.9%ක් වූ බවත්, 2024 අප්‍රේල් අවසන් වන විට දළ ජාත්‍යන්තර සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වැඩි වී ඇති බවත් එහි සඳහන් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අක්‍රීය ණය වර්ධනය බැංකු පද්ධතිය තවදුරටත් අවදානමේ හෙළා ඇති බව නිවේදනයේ දැක්වේ.
තවද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මන්දගාමී තත්වයක තවමත් පැවතීම ද මූල්‍ය අර්බුදය තීව්‍ර කිරීමට හේතුවක් විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙයින් පෙන්වා දී තිබේ.
එනිසා ණය තිරසාරත්වයේ මාවත තවත් ඇහිරී ඇති බව ද, මූල්‍ය සංංචිත රැස්කරගැනීමට බැංකුවලට ඇති හැකියාව එනිසා අවදානමක පවතින බව ද නිවේදනයේ සඳහන් ය.
මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව විසින් ශක්තිමත් ප්‍රතිසංස්කරණ පිළිබඳ උත්සහ කිරීම, හදිසි සැලසුම් හා මූල්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සැලකිල්ලකින් කටයුතු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතයයි.
'අපේ වැඩපිළිවෙළ ගැන විශ්වාසයක් ගොඩනගලා තිබෙනවා'
ජුනි 12වන දින කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සෙමසිංහ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසය දිනාගැනීමට හැකිව ඇති බවයි.
"ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වර්ධනය පිළිබඳ වැඩසටහනේ පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමක් මෙම තුන්වන වාරිකය අනුමත වුණාට පසු සිදුවේවි කියලා බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව කඩාවැටීමේ සිට නැවත ප්‍රශස්ත මට්ටමක් ඇති කරගැනීම දක්වා අපේ මිත්‍ර සහ හවුල්කාර රටවලුත් සංවිධානත් අපට සහය දැක්වුවා. ඒ සහය දිගටම ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා."

ඡායාරූප මූලාශ්‍රය, x|Shehan Semasinghe
කාර්යය සාධනය අතින් ශ්‍රී ලංකාව ශක්තිමත් බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළද, ස්වාධීන පර්යේෂණ ආයතන පසුගිය සතිය තුළ අනාවරණය කර තිබුණේ, ශ්‍රී ලංකාව තවමත් IMF වෙත පොරොන්දු වූ කැපවීම් ඉටුකර නොමැති බවය.
වැටී සිටින ආර්ථික බංකොලොත්භාවයෙන් මිදී නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට ශ්‍රී ලංකාව ජාත්‍යතර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹෙන්නේ පසුගිය වසරේ දීයි.
විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමේ දී ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉටු කර පෙන්විය යුතු කොන්දේසි හා කැපවීම් වලින් බහුතරයක් තවමත් ඉටු වී නොමැති බවට ඇතැම් පාර්ශව අදහස් පළ කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ශ්‍රී ලංකාව පොරොන්දු වූ කැපවීම් ළඟා කරගෙන නෑ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී ලංකාවේ ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන “Verite Research” ආයතනය ජුනි 9 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ 2024 මැයි මස අවසන්වන විට ශ්‍රී ලංකාව විසින් ඉටු කළ යුතුව තිබූ කැපවීම්වලින් 25%ක් ඉටු කර නොමැති බව ය. එම ආයතනයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට සමස්ත කැපවීම්වලින් ශ්‍රී ලංකාව මේ වන විට ඉටු කර තිබෙන්නේ 30%ක් පමණි. 15%ක් ඉටු කිරීමට නොහැකි වී ඇති අතර, 41%ක් තවමත් ඉටු කිරීමට අදාළ කටයුතු කෙරෙමින් පවතියි. 14%ක කැපවීම් සම්බන්ධයෙන් තොරතුරු සොයාගැනීමට නොහැකි වී ඇත.
මෙම අධ්‍යනය ශ්‍රී ලංකා මහබැංකුව, මුදල් අමාත්‍යංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විසින් ප්‍රසිද්ධ කර ඇති දත්ත හා තොරතුරු පදනම් කරගෙන කළ බව Verite Research ආයතනයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ රාජාකුලේන්ද්‍රන් බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ, තෙවන වාරිකය ලබා ගැනීමට මෙම කැපවීම් ඉටු නොකිරීම බලපෑමක් ඇති නොකළත් ආණ්ඩුකරණය සම්බන්ධයෙන් වැදගත් කැපවීම් රැසක් ශ්‍රී ලංකාව විසින් ඉටු කර නොමැති බවයි.
"ශ්‍රී ලංකාව දැනට ඉටු කරලා නැති කැපවීම් 16 ප්‍රධාන කොටස් තුනකට බෙදුවොත් ඒවා අයත් වෙන්නේ මූල්‍ය විනිවිදභාවයට, මූල්‍ය කළමනාකරණයට සහ දූෂණ මර්දනයට. මේ දේවල් යහපත් ආණ්ඩුකරණයකට ඉතාම වැදගත් දේවල්. මේ කැපවීම් රජය විසින් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වුණ දේවල් මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පනවපු දේවල් නොවෙයි," ඔහු පැවසුවේ ය.
Verite Research මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව දැනටමත් ඉටු කර ඇති ඇතැම් කැපවීම් ජාත්‍යතර මූල්‍ය අරමුදල සමඟ එළැඹ තිබූ 16 වැනි මූල්‍ය පහසුකම් සම්බන්ධ ගිවිසුම්වල ද තිබූ ඒවා බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටු නොකළහොත් නැවත වරක් ශ්‍රී ලංකාවට තවත් අවුරුදු කිහිපයකින් වර්තමාන ඉරණම උදාවනු ඇති බවයි.
ඉටු කර නැත්තේ මොනවාද?
Verite Research ආයතනයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට මූල්ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කළ යුතු ඇතැම් ලේඛන මේ වන තෙක් ප්‍රසිද්ධ කිරීමට රජය අපොහොසත් වී ඇත.
- රජයේ ප්‍රසම්පාදන වෙබ් අඩවියක ප්‍රසිද්ධ කිරීම
- උසස් තනතුරු දරණ රජයේ නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශයට පත් කිරීම
- මීට අමතරව වගවීම සහ වගකීම සම්බන්ධ කැපවීම් රැසක් ද තවම ඉටු කීරීමට නොහැකි වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, X
'තෙවන වාරිකය ලබා ගැනීමට එය ගැටළුවක් නැහැ'
ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දුන් මෙම පොරොන්දු ඉටු නොකෙරුණත් තෙවන වාරිකය ලබා ගැනීමට එය ගැටළුවක් නොවනු ඇති බව රාජකුලේන්ද්‍රන් පැවසුවේ ය.
බීබීසී සිංහල කළ විමසීමක දී වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ප්‍රකාශ කළේ මෙවර ණය වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරනු ලැබුවත්, ඔවුන් විසින් ශ්‍රී ලංකාවට එම කැපවීම් ඉටු කරන ලෙස වැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ය. මීට පෙර 16 වතාවක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකම් ලබාගෙන තිබුණ නමුත් ඇතැම් ඒවා අතරමග නතර කර තිබෙන්නේ ශ්‍රී ලංකාව පොරොන්දු වූ කැපවීම් ඉටු කිරීමට අපොහොසත් වූ අවස්ථා වලයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ණයක් නොව ජාත්‍යන්තරයට සහතිකයක්'
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන මෙම ණය පහසුකම යනු ණයකටත් වඩා ජාත්‍යතරයට ලබා දෙන සහතිකයක් බවයි. "මේ විස්තීරණ ණය පහසුකම යටතේ අපට මාස හයක කාලසීමාවකට ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් වගේ මුදලක්. නමුත් ශ්‍රී ලංකව වර්තමානය වන විට විදේශ ප්‍රේෂණ සහ අපනයන වලින් ඊට වඩා වැඩි ආදායමක් ලබනවා. මෙම ණය මුදලේ මූල්‍ය වටිනාකමට වඩා එය ජාත්‍යන්තරයට පණිවුඩයක් දෙනවා අපි මේ වෙනකොට අපේ රට තුළ හොඳ මූල්‍ය විනයක් හදාගනින් ඉන්නවා කියලා," මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
ඔහු පවසන්නේ තවත් සිදු කිරීමට නොහැකි වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එය හොඳ අවස්ථාවක් ලබා දෙන බවයි. දැනටමත් මේ නිසා යම් රටවල් සහ ආයතන ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාවය පල කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවට මාසික විදෙස් ප්‍රේෂණවලින් ඩොලර් මිලියන 500ක පමණ ආදායමක් ඇති අතර, අපනයන ආදායම මාසිකව ඩොලර් බිලියනයක් පමණ වේ. වසරකට ජාත්යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 600කට අධික මුදල ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟය පියවා ගැනීමට සහයක් වනු ඇත. එමෙන් ම එය දැනට පසුව මුදල් ගෙවීමට ලබා ගන්නා ආනයන වලට ද ධනාත්මක බලපෑමක් ඇති කරයි.
කොන්දේසි ඉටු කිරීම ජනතාවට පීඩාවක් ද?
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ගෙන් බීබීසී සිංහල විමසා සිටියේ මෙම පොරොන්දු වූ කොන්දේසි ඉටු කීරීම ජනතාවට කුමන ආකාරයෙන් බලපාන්නේ ද යන්නයි. එහි දී මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව විසින් ඉටු කිරීමට එකඟ වූ පොරොන්දුවල කිසිඳු ගැටළුවක් නොමැතිවුවත් ඒවා ඉටු කිරීමට තෝරාගන්න ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බව ය.
බදු ආදායම වැඩි කරගැනීමට බදු ගෙවන ජාලය පුළුල් කරගැනීමක් සිදු නොකර එකම පිරිසකට නැවත නැවත බදු ගැසීම සුදුසු නොවන බව ඔහු පෙන්වා දෙයි."දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් පමණ තිබුණ රාජ්‍ය ආදායම 8%අට අඩු වුණ නිසා ශ්‍රී ලංකාව පොරොන්දු වුණා ඒක 16%ක අගයකට ගෙන එන්න. ඒකට නැවත් කළේ වැට් එක වැඩි කාලා ඉන්න අයට තව බදු ගහපු එක. ඒ නිසා තමයි බොහෝ අය රටින් පිට වෙලා යන්නේ සහ බදු ගෙවාගෙන යන්න බැරිව ව්‍යාපාර වහලා දාන්නේ. මේ ඉලක්කම් වල ප්‍රශ්නයක් නෑ. නමුත් එය ඉටු කරන ආකාරය පිළිබඳ ගැටළුවක් තිබෙනවා."
ඩොලර් ආවත් භාණ්ඩ මිල අඩු නැත්තේ ඇයි?
ආර්ථිකය අස්ථාවර වීමත් සමඟ ආනයන සීමා හා වියදම් ඉහළ යාම හේතුවෙන් වෙළඳපොල භාණ්ඩ මිල වේගයෙන් ඉහළ ගියේ ය. මේ නිසා එම කාලය තුල උද්ධමනය 60%ක් දක්වා පවා ඉහළ මට්ටමක පැවතුණි. නමුත් වර්තමානය වන විට ආනයන සීම ලිහිල් කර ඇති අතර, විදේශ සංචිත ද ගොඩනැගෙමින් පවතින නිසා තවමත් වෙළඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම සිදුවන්නේ ඇයිදැයි බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තිබේ.
සරළව ම උද්ධමනය පහළ යාම යනුවෙන් අදහස් කෙරෙන්නේ භාණ්ඩවල මිල මට්ටම නොව මිල ඉහළ යාමේ වේගයයි. පසුගිය කාලයේ පැවති ආර්ථික තත්වය යටතේ භාණ්ඩ මිල වේගයෙන් ඉහළ ගිය නිසා උද්ධමනය ද විශාල අගයක් ගන්නා ලදි.
වර්තමානය වන විට උද්ධමනය තනි අගයක පවත්වාගෙන යාමට රජය සමත්ව තිබුණ ද එයින් අදහස් වන්නේ භාණ්ඩ වල මිල ගණන් අඩුවනවා යන්න නොවේ. එයින් අදහස් වන්නේ භාණ්ඩවල මිල ගනන් ඉහළ යාඅමේ වේගය අඩු වී ඇති බවයි. යම්හෙයකින් භාණ්ඩ මිල අඩුවීමට නම් උද්ධමනය සෘණ අගයක පවත්වාගෙන යා යුතුයි.













