IMF: ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ඔබ දන්නවා ද?

 සමාලෝචනයේ අවසන් සාකච්ඡාව සැප්තැම්බර් 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සමාලෝචනයේ අවසන් සාකච්ඡාව සැප්තැම්බර් 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාව මේවන විට ආරම්භ වී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් විස්තීරණය අරමුදල් පහසුකම යටතේ වන මීළඟ ණය වාරිකය නිදහස් කිරීමට පෙර සිය කොන්දේසි ඉටු කිරීමේදී ශ්‍රී ලංකා රජය දක්වා ඇති ප්‍රගතිය හා කැපවීම මේ යටතේ සමාලෝචනය කරනු ඇත.

සති 2ක කාලයක් මෙම සාකච්ඡා පැවැත්වෙන අතර සමාලෝචනයේ අවසන් සාකච්ඡාව සැප්තැම්බර් 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

IMF ණය ලබා ගැනීම සහ කොන්දේසි

ඉකුත් මාර්තු මස 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණයක් අනුමත කරන ලදී.

ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා වූ සිව් අවුරුදු ණය වැඩසටහනක් යටතේය.

එම ණය මුදල අනුමත කිරීම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් පළමු වාරිකය ලෙස ඉකුත් මාර්තු මස 21ක් වෙනිදා මෙරටට හිමිවිය.

IMF වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රජය සැපිරිය යුතු කොන්දේසි 100ක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් හඳුන්වා දෙනු ලැබුවේ මෙරට ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒමේ අරමුණින් යුතුවය.

IMF

ප්‍රගතිය අත්කර ගත් කරුණු මොනවාද ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් 38ක් ශ්‍රී ලංකාව අගෝස්තු මාසය අවසානය වන විට ඉටුකර ඇති බවත් කැපවීම් 8 ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇති බවත් 'වෙරිටේ රිසර්ච්’ විසින් හඳුන්වා දී ඇති අයි.එම්.එෆ්. මීටරය මගින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තරමක ප්‍රමාදයක් පවතින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පවා පෙනී ගොස් ඇති පසුබිමක පළමු සමාලෝචනය සිදුකිරීම ප්‍රමාද කර ඇති බවට පෙනී යන බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය නිශාන් ද මැල්, බීබීසි සිංහල වෙත පැවසුවේය.

ඔහු වැඩිදුරටත් පවසනු ලැබුවේ මෙවර සමාලෝචනයේදී අවධානය යොමු වන්නේ ලංකාවේ රජය විසින් ජුනි මාසය අවසන් වන විට සම්පුර්ණ කළ යුතුව තිබු කරුණු සම්බන්ධයෙන් බවයි.

එහිදී ලංකාවේ ඉදිරි ගමන තරමක ප්‍රමාදයක් තිබෙන බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් එය තේරුම් ගෙන අදාළ සමාලෝචන ක්‍රියාවලිය ප්‍රමාද කර ඇති බවක් පෙනෙන්නට තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් 38ක් ශ්‍රී ලංකාව අගෝස්තු මාසය අවසානය වන විට ඉටුකර ඇති බවත් කැපවීම් 8 ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇති බවත් 'වෙරිටේ රිසර්ච්’ විසින් හඳුන්වා දී ඇති අයි.එම්.එෆ්. මීටරය මගින් පෙන්වා දී ඇත.

“උත්සහයේ තරමට ප්‍රතිඵල නැහැ”

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෝජනා කළ කොන්දේසි ඉටු කිරීමට රජය උත්සහ කළ ද ඒවා සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවත් රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල බීබීසි සිංහල වෙත පැවසුවේය.

උදාහරණයක් වශයෙන් අල්ලස් හෝ දුෂණ වංචා සම්බන්ධ පනත කෙටුම්පතක් සාදනු ලැබුවද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන්නේ නම් එහි කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ඔහු සඳහන් කළේය.

මීට අමතරව රජයේ ආදායම් වැඩි කර ගැනීමට සහ වියදම් අඩු කර ගැනීම පිළිබඳ සඳහන් කෙරුණද, ඉකුත් මාස හයේදී රජයේ ආදායම 43% කින් ඉහළ යන විට රජයේ වර්තන වියදම් සියයට 48 කින් ඉහළ ගොස් ඇති බව මහාචාර්යවරයා කියා සිටියේය.

මෙවැනි කරුණු IMF නියෝජිතයින්ට ලිඛිතව පෙන්නුම් කළ හැකි වුවද රටේ පවත්නා ආර්ථික අර්බුදයට එමගින් විසඳුම් ලැබී නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රජය විසින් ලබාදෙන වාර්තා ආදිය සම්බන්ධ ප්‍රගති සමාලෝචනයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මුලික අවධානය යොමු කරන බැවින් එහිදී ලංකාව බොහෝ කොන්දේසි ඉටුකර ඇති බවට පෙනෙන්නට තිබුණද ප්‍රායෝගිකව එය එසේ නොවන බව ඔහු පැවසුවේය.

මීළඟ IMF ණය වාරිකය ප්‍රමාද වෙයි ද?

මීළඟ ණය වාරිකය ලබා ගැනීම සඳහා රජය විසින් මෙරට දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට කටයුතු කළ යුතුව ඇති බවත්, සේවක අර්ථසාධක අරමුදල හැර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉටු කර ගැනීමට රජය අපොහොසත්ව ඇති බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කළේය.

"IMF දෙවැනි ණය වාරිකය නිකුත් කරන්න පෙර දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන්න අවශ්‍යයි කියලා. නමුත් රජයට තවම හැකියාව ලැබිලා නැහැ දේශීය ණයවත් සම්පුර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට යන්න."

"උදාහරණයක් විදිහට ETF එකෙන් සිදුකළ ආයෝජන සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අවසන් තීන්දුව ගත්තේ IMF සමාලෝචනය ආරම්භ කරපු දවසේ උදෑසන."

"නමුත් මහ බැංකුව විසින් දුන් ණය ගැන තවම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදුවෙලා නැහැ. ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තවම අවශ්‍ය සැලැස්මවත් ඉදිරිපත් කරලා නැහැ." ඔහු පෙන්වා දෙන ලදී.

මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රමාදයක් නොව, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රජයේ පවතින ප්‍රමාදයක් බැවින් දෙවන ණය වාරිකය හිමිවීමේ යම් ප්‍රමාදයක් යම් අයුරකින් ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

“IMF යෝජනාවලියෙන් පමණක් රට හදන්න බැහැ”

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට කාර්තු 6ක් අඛණ්ඩව සෘණ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලියෙන් පමණක් රට නැවත ගොඩගත නොහැකි බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙයි.

අඛණ්ඩව සිදුවූ දරුණු ආර්ථික කඩා වැටීම තුළ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හඳුන්වා දුන් යෝජනාවලිය රට තුල ක්‍රියාත්මක කිරීමට රජය උත්සාහ දරමින් පසුවන බව සඳහන් කළ මහාචාර්යවරයා එම යෝජනාවලිය තුලින් පමණක් රටේ ඇති ප්‍රශ්න සඳහා විසඳුම් නොලැබෙන බවත් සඳහන් කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උත්සහ දරන්නේ රටේ ආර්ථිකය ස්ථායිකරණය කිරීමට බව පැවසූ මහාචාර්යවරයා එයට සමගාමීව රට තුළ ආර්ථික වර්ධනයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය.

රජය ද රටේ ආර්ථික ස්ථායිකරණය කිරීම සඳහා කටයුතු කරමින් පසුවන බවත්, මේ හේතුවෙන් රටේ ආර්ථික ස්ථායිකරණය මෙන්ම ආර්ථික වර්ධනය ද කඩා වැටීමක් පෙන්නුම් කරන බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් ප්‍රකාශ කළේය.