ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: මේ මොකක්ද? මොනවද කරන්නේ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/AFP
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යනු සාමාජික රටවල් 190කින් යුත් ජාත්‍යන්තර සංවිධානයකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු කුමක් ද?
ඔවුන්, ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා එක්ව ක්‍රියාකරයි.යම් අවශ්‍යතා කිහිපයක් සපුරාලන ඕනෑම රටකට මීට එක්වීම සඳහා ඉල්ලුම් කළ හැකි ය. මේ අවශ්‍යතාවන්ට, අදාළ රටෙහි ආර්ථිකය පිළිබඳ තොරතුරු සැපයීම සහ 'දායකත්ව පංගුව' ලෙස හැඳින්වෙන මුදලක් ගෙවීම ඇතුළත් ය. රට පොහොසත් වන තරමට, එය ගෙවිය යුතු දායකත්ව පංගුව ද විශාල වේ.

ආර්ථිකය නිරීක්ෂණය සහ ඊට සහායවීම වෙනුවෙන් IMF ප්‍රධාන කාරණා තුනක් ඉටුකරයි:
- ආර්ථික හා මූල්‍යමය සිදුවීම් නිරීක්ෂණය. එය රටවල් (ආර්ථික හා මූල්‍යමය වශයෙන්) ක්‍රියාකරන ආකාරයත්, වෙළඳ ආරවුල් වැනි අවදානම් විභවය නිරීක්ෂණයන් ආදීය සිදු කිරීම.
- ඔවුන්ගේ ආර්ථිකය වැඩිදියුණු කරන්නේ කෙසේදැ යි සාමාජික රටවලට උපදෙස් දීම
- ආර්ථිකව අපහසු අඩියක සිටින රටවලට කෙටිකාලීන ණය සහ ආධාර ලබාදීම
මේ ණය සඳහා අරමුදල් සැපයෙන්නේ දායකත්ව පංගුවලිනි. 2018 දී, ආජන්ටිනාව IMF ඉතිහාසයේ විශාලතම ණය වන ඩොලර් බිලියන 57ක මුදලක් ලැබීය.
IMF සංවිධානයට එහි සාමාජිකයින්ට ලබාදිය හැකි මුළු ණය මුදල ඩොලර් ට්‍රිලියනයකි.
IMFහි ප්‍රධාන ජයග්‍රහණයන් මොනවා ද?
IMF බොහෝවිට විස්තර කෙරෙන්නේ "අවසාන විසඳුම වන ණයදෙන්නෙකු" ලෙස ය. අර්බුදකාරී සමයන්හි දී මූල්‍යාධාර ලබාගැනීම සඳහා රටවල් ඒ මත යැපෙයි.
හාවර්ඩ් විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යාඥ බෙන්ජමින් ෆ්‍රීඩ්මන් තර්ක කරන පරිදි, IMFහි මැදිහත්වීම් විසින් [යම් රටක] තත්ත්වය යහපත් අතට හරවා තිබේ ද, නැතහොත් "අනෙක් විකල්ප සියල්ලටම වඩා නරක අතට හරවා තිබේ ද" යන්න දැනගැනීමට නොහැකි බැවින් එහි කාර්යසාධකත්වය මැනීම අපහසු ය.
කෙසේ වෙතත්, 1980 ගණන්වල මුල දී මෙක්සිකෝව සිය ණය ආපසු ගෙවීමට නොහැකි වෙතැ යි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එරටට ආධාර කිරීමේ IMF කාර්යයභාරය ඇතැම්හු පැසසුමට ලක්කළහ.
2002 දී, බ්‍රසීලය සිය ණය පැහැරහැරීමෙන් වැළැකීම සඳහා IMF ණය ලබාගත්තේ ය. සාපේක්ෂව ඉක්මණින් එහි ආර්ථිකය යහපත් අතට හැරවීමට එරට රජයට හැකිවූ අතර, නියමිත කාලයට වසර දෙකකට පෙර සම්පූර්ණ ණය ගෙවා දැමීමට සමත්විය.
IMF වෙත එල්ලවන විවේචන මොනවා ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ණය ලබාදෙන රටවලට පනවන කොන්දේසි ඉතා පරුෂබවට ඇතැම්විට විවේචනයට ලක්ව තිබේ.
මේ කොන්දේසි අතරට, රාජ්‍ය ණය ලබාගැනීම් අඩු කිරීමට, ආයතනික බදු කපාහැරීමට, සහ විදේශ ආයෝජන සඳහා රටේ ආර්ථිකය විවෘතකිරීමට රටවල්වලට බලකිරීම ඇතුළත් වේ.
2009 දී යුරෝපා ණය අර්බුදය ආරම්භ වූයේ ග්‍රීසියේ දී වන අතර, ඉන් වඩාත්ම පීඩාවට පත් ආර්ථිකය ද එය විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
IMF වෙතින් ඇපදීමේ ණය ලබා ගැනීමෙන් පසු, සිය ආර්ථිකයට සැලකිය යුතු වෙනස්කම් සිදුකිරීමට ග්‍රීසියට සිදුවිය.
ග්‍රීසිය අනුගමනය කළ යුතුයැ යි IMF විසින් බල කෙරුණු කප්පාදු පිළිවෙත (එහි අරමුණ වූයේ රාජ්‍ය ණය ලබාගැනීම පහත හෙළීම යි) අත්‍යන්තවූ අතර, එමඟින් ග්‍රීක ආර්ථිකයට හා සමාජයට හානි සිදුවීයැ යි විවේචකයෝ පැවසූහ.
IMFහි ප්‍රධානියා කවුද?
2019 වසරේ සිට IMFහි කළමනාකාර අධ්‍යක්ෂිකාව වූයේ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ය.
මෙම ආර්ථික විද්‍යාඥවරිය පෙර ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිනිය වූ අතර, මේ වන විට යුරෝපා මහ බැංකුවේ සභාපතිනිය වන ක්‍රිස්ටීන් ලගාර්ඩ්ගෙන් හිස්වූ තනතුර ඇය විසින් භාරගත්තා ය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
IMF වෙත නායකත්වය දීමට, යුරෝපා සංගමයේ දුප්පත්ම සාමාජිකයින්ගෙන් අයෙකු වන බල්ගේරියාවෙන් පත්වූ පළමුවැන්නිය වන්නේ ජෝර්ජියේවා ය.
සංවිධානය පිහිටුවනු ලැබූ දා පටන් සාම්ප්‍රදායිකව එහි නායකත්වය දැරුවේ යුරෝපීයයෙකු වන අතර, ලෝක බැංකුවේ සභාපතිත්වය දැරුවේ ඇමෙරිකානුවෙකි.
2019 ඇගේ පළමු වාර්ෂික සමුළුවට පෙර, එක්සත් රාජධානියට සහ යුරෝපා සංගමයට බ්‍රෙක්සිට් "වේදනාකාරී" වනු ඇතැ යි ජෝර්ජියේවා අනතුරු ඇඟවූවා ය.
IMF පිහිටුවනු ලැබූයේ ඇයි?
IMF නිර්මාණය කෙරුණේ , 1944 දී එක්සත් ජනපදයේ පැවැති බ්‍රෙටන් වුඩ්ස් සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස ය.
දෙවන ලෝක යුද්ධ සමයේ දී රටවල් 44ක නියෝජිතයින් ඊට සහභාගීවූ අතර, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ එවකට සෝවියට් සමූහාණ්ඩුව ඒ අතර විය.
පශ්චාත්-යුධ මූල්‍ය විධිවිධාන ඔවුන්ගේ සාකච්ඡාවට බඳුන්විය. ඊට, විනිමය අනුපාත සඳහා ස්ථාවර පද්ධතියක් පිහිටුවන ආකාරය සහ හානියට පත් යුරෝපීය ආර්ථිකයන් යළි ගොඩනැංවීම සඳහා මුදල් සොයාගන්නා ආකාරය ඇතුළත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසු කලෙක, මෙම අරමුණු සපුරාලීම සඳහා සංවිධානයන් ද්විත්වයක් පිහිටුවනු ලැබුණි: ඒ, IMF සහ ලෝක බැංකුව යි.
අලුතින් පිහිටුවන ලද IMFහි සාමාජිකයින් ස්ථාවර විනිමය අනුපාත පද්ධතියකට එකඟවූ අතර, එය 1970 ගණන්වල මුල්භාගය දක්වා පැවතිනි.











