Paye Tax නව වෙනස ඔබේ වැටුපට බලපාන්නේ කොහොම ද?

උපයන විට ගෙවීම් බද්ද (Paye Tax) සංශෝධනය කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියේ වෛද්‍යවරුන්, නීතිඥවරුන් ඇතුළු මෙරට වෘත්තිකයින් ය.
ඒ අනුව දැනට පනවා ඇති උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කිරීමට නව ආණ්ඩුව සැලසුම් කර තිබේ.
වෘත්තිකයින් රට හැර යාම වැළැක්වීමට මෙම නව සංශෝධනය ප්‍රමාණවත් ද? මේ ඒ පිළිබඳ විමසා බැලීමකි.
ආදායම් බදු අය කිරිමේ ක්‍රමවේදය සංශෝධනය කළ යුතු බව මෙන් ම බදු නිදහස් කිරීමේ සීමාව ලක්ෂ දෙකක සීමාවට ගෙන ආ යුතු බවට වෘත්තියවේදීහු දිගින් දිගට ම ඉල්ලා සිටියහ.
"අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ජනාධිපතිතුමත් ඒ වගේ ම රජයත් මේ සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලලා වෘත්තියවේදීන්ට මෙයින් එහා ගිය සහන ක්‍රමවේදයක් මේ බදු අය කිරීමේදී ලබා දෙයි කියන එක," යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් සුගතදාස මාධ්‍ය වෙත කියා සිටියේ ය.
ඉන්දීය සංචාරය නිම කරමින් දිවයිනට පැමිණි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් බදු සහන කිහිපයක් ඉදිරියේදී ලබා දීමට තීරණය කර ඇති බව පැවසුවේ ය.
ඉන් ප්‍රධාන ම තැනක් ගන්නේ උපයන විට බද්දට සිදු කිරිමට යෝජිත වෙනස්කමයි.
මේ වන විට මසකට රුපියල් ලක්ෂයේ වැටුප් තලයේ සිට අය කර ගනු ලබන උපයන විට බදු මුදල, රුපියල් ලක්ෂ එකහමාර දක්වා බදු මුදලින් නිදහස් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 18 වන දා පාර්ලිමේන්තුවේදී සහතික විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන ඇගයීමේදී සිදු වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බදු පැනවීමේ සීමාව ඉහළ දැමීමට හැකි බව ද ජනාධිපතිවරයා එහිදී පැවසුවේය.
"මාසික වැටුප ලක්ෂ එකහමාරක් ගන්න කෙනෙක්ට බදු 100%ක් නිදහස්. ලක්ෂ 2ක් වැටුප ගන්න කෙනෙක්ගේ වැටුපෙන් 71%ක් බදුවලින් නිදහස්. ලක්ෂ දෙකහමාරක් වැටුප් ගන්න කෙනෙක්ගෙන් බද්ද 61%ක් නිදහස්. ලක්ෂ 3ක් වැටුප් ගන්න කෙනෙක්ගෙන් 47%ක් බද්ද නිදහස් වෙනවා. ලක්ෂ තුනාහමාරක් ගන්න කෙනෙක්ගෙන් බද්ද 25.5%කින් නිදහස්," යනුවෙන් ජනාධිපතිවරයා පැහැදිලි කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බදු ප්‍රතිශතය වෙනස් වෙන්නේ කොහොම ද?
ජනාධිපතිවරයාගේ යෝජනාව අනුව වසරකට රුපියල් මිලියන 1.8 සිට 2.8 දක්වා 6%ක බදු ප්‍රතිශතයක් අය වන අතර රුපියල් මිලියන 2.8 සිට 3.3 දක්වා 18%ක බදු මුදලක් අය වන බව පැවසෙයි.
වසරකට ආදායම රුපියල් මිලියන 3.3 සිට 3.8 දක්වා මාසිකව 24%ක බදු ප්‍රතිශතයක් සහ 3.8 සිට 4.3 දක්වා 30%ත්, රුපියල් මිලියන 4.3 සිට ඊට වැඩි වාර්ෂික ආදායම් සඳහා 36% වශයෙන් බදු අය වෙතැයි අදහස් කෙරෙයි.
"මාසයකට දෙලක්ෂ තිස් තුන් දාහේ ඉඳලා දෙලක්ෂ හැත්තෑ පන්දාහ වෙනකම් 12% බද්ද බලපානවා ද නැද්ද කියලා තවදුරටත් පැහැදිලි කිරිමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා," යැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්නදු බීබීසී සිංහල වෙත පැවසුවේය.
"සමහර වාර්තාවල තියෙනවා එක් ලක්ෂ පනස් දාහේ ඉඳලා දෙලක්ෂ හැත්තෑ පන්දාහ වෙනකම්ම 6%යි කියලා. සමහර ඒවායේ තියෙනවා දෙලක්ෂ තිස් තුන් දාහ වෙනකම් 6%යි දෙලක්ෂ තිස් තුන් දාහේ ඉඳලා දෙලක්ෂ හැත්තෑ පන්දාහ වෙනකම් 12%යි කියලා. ඒ අනුව ඒ ගාණ වෙනස් වෙනවා නමුත් දළ වශයෙන් රුපියල් පන්දාහක විතර ටැක්ස් එකක් වදිනවා 12% ගාණේ බද්දක් ගැහුවොත්," යැයි ඔහු පැවසීය.

වැටුප අනුව මාසිකව අය වන බදු මුදල
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජනාධිපතිවරයාගේ යෝජනා අනුව රුපියල් එක් ලක්ෂ පනස් දහසේ සිට ලක්ෂ දෙක දක්වා මසකට රුපියල් 3,000ක මුදලක්, 250,000 දක්වා රුපියල් 8,000ක්, රුපියල් ලක්ෂ තුන දක්වා රුපියල් 18,500 මුදලක්, රුපියල් තුන් ලක්ෂ පනස් දහස දක්වා රුපියල් 32,500ක මුදලක් මසකට බදු වශයෙන් අය වන බව පැවසෙයි.
එම යෝජනාව අනුව රුපියල් ලක්ෂ හතරක මාසික වැටුපක් ඉපයීමේදී බදු වශයෙන් රුපියල් 50,000 අය කෙරේ. එය රුපියල් හාර ලක්ෂ පනස් දහසක වැටුපක් වුවහොත් රුපියල් 68,000ක් බදු වශයෙන් අය කරනු ලැබේ.
රුපියල් ලක්ෂ පහක වැටුපකින් මාසිකව රුපියල් 86,000ක බදු මුදලක් අය කර ගැනීමට යෝජිත අතර රුපියල් පන් ලක්ෂ පනස් දහසක් උපයන විට රුපියල් 104,000ක පමණ බදු මුදලක් ඉන් අය වෙතැයි සැලකෙයි.
රුපියල් ලක්ෂ හයක වැටුපකින් රුපියල් 122,000 බදු අය වන අතර රුපියල් හය ලක්ෂ පනස් දහසක් දක්වා ඉපයීමකදී රුපියල් 140,000ක බදු අය කිරිමට යෝජනා වී තිබේ. රුපියල් ලක්ෂ හතක වැටුපකින් රුපියල් 158,000ක් බදු වශයෙන් අය වෙතැයි ගණන් බලා ඇත.
රුපියල් 176,000 බදු වශයෙන් අය වන්නේ රුපියල් හත් ලක්ෂ පනස් දහසක් දක්වා වන වැටුපකින් වන අතර රුපියල් ලක්ෂ අටක වැටුපකින් රුපියල් 194,000ක් සහ රුපියල් අට ලක්ෂ පනස් දහස දක්වා වැටුපකින් රුපියල් 212,000ක් බදු අය වෙයි.
රුපියල් ලක්ෂ නමයක වැටුපකින් රුපියල් 230,000ක බදු මුදලක් දළ වශයෙන් අය වෙතැයි සැලකෙයි.
රුපියල් මිලියනයක ඉපයීමකින් රුපියල් 266,000 දක්වා මෙන්ම රුපියල් මිලියන එකයි දශම පහක වැටුපක් දක්වා රුපියල් 446,000 දක්වා බදු අය වේ.
එතැන් සිට රුපියල් මිලියන දෙකක් දක්වා රුපියල් 626,000ක බදු මුදලක් සහ රුපියල් මිලියන තුනක් දක්වා රුපියල් 986,000ක බදු මුදලක්, රුපියල් මිලියන හතර දක්වා රුපියල් 1,346,000ක බදු මුදලක් මෙන් ම මිලියන පහක් දක්වා රුපියල් 1,706,000 දක්වා බදු මුදලක් අය කිරිමට යෝජනා වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යෝජනා කරන ලද බදු සංශෝධනයට අනුව රුපියල් මිලියන දහයක් උපයන විට රුපියල් 3,506,000ක මුදලක් ඉන් බදු වශයෙන් අය වෙනු ඇතැයි සැලකෙයි.
කෙසේ වෙතත් මෙම බදු ප්‍රතිශත හෝ එක් එක් වැටුප්තල සඳහා අය කර ගනු ලබන බදු මුදල් මෙතෙක් රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka
ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුව කුමක් ද?
ජනාධිපති අනුර කුමාර දිසානයක සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ උපයන විට ගෙවීම් බද්ධ වෘත්තියකයින්ට අසාධාරණයක් නොවන ලෙස සංශෝධනය කරන බවට ය.
ඒ අනුව, පුද්ගලයින් සඳහා වන වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා ඉහළ දැමීට ඔහු යෝජනා කර තිබිණි.
ඒ අනුව වැටුප රුපියල් ලක්ෂ 2ක් වන අයෙකුට Paye Tax එක අදාළ නොවනු ඇත.
බදු කාණ්ඩ සහ බදු අනුපාත (Tax Brackets & Tax Rates) සංශෝනය කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක එමගින් යෝජනා කර තිබිණි.
හිඟබදු කඩිනමින් අය කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත්, බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමටද ඔහු යෝජනා කර තිබිණි.
බදු වෙනස ආර්ථිකයට බලපාන්නේ කොහොම ද?
උපයන විට අය කරන මුදලින් රුපියල් මිලියන 200ක පමණ මුදලක් රජය අපේක්ෂා කරන බව කී ධනනාත් ප්‍රනාන්දු, බදු සංශෝධනය හරහා ඒ හා සමාන මුදලක් රජයට අය වෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසුවේය.
"සම්පූර්ණයෙන් Paye බද්ද කපලා නෑනේ එතකොට ඔය එක් ලක්ෂ පනස් දාහේ කොටසෙන් බද්ද අයින් වුණත් මට හිතෙනවා බොහෝදුරට මේක කවර් කරගන්න ගණනයක් තිබෙන්න ඇති කියලා. මොකද ඒ අනුව විය යුතුයි අන්තර් ජාතික මූල්‍ය අරමුදල මෙය එක්ක යම් කිසි ප්‍රමාණයකට එකඟ වුණේ කියන එක මට හිතෙන්නේ. නමුත් විශාල මුදලක් වෙන්න විදියක් නැහැ කැපිලා යන ප්‍රමාණය," යැයි බදු සංශෝධනය ආර්ථිකයට බලපාන ආකාරය ගැන විස්තර කරමින් හෙතෙම සඳහන් කළේ ය.
මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන කාල සීමාවක් රජය මෙතෙක් ප්‍රකාශයට පත් නොමැත.
නව ක්‍රමවේදය ක්‍රියාත්මක වන තෙක් මෙතෙක් පැවති ආකාරයට උපයන විට බදු අය වීම සිදු වේ.













