රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 300ක් නිදහස් කිරීම ගැන ඇමති බිමල් රත්නායකට චෝදනා එල්ල වන්නේ ඇයි?

බහාලුම් 300කට වැඩි ප්‍රමාණයක් රේගු පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා පිළිබඳව බිමල් රත්නායක අමාත්‍යවරයා ජුනි 6 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Department of Government Information

ඡායාරූප ශීර්ෂ වැකිය, බහාලුම් 300කට අධික සංඛ්‍යාවක් රේගු පරීක්ෂාවට ලක් නොකර නිදහස් කිරීම සම්බන්ධව එල්ල වන චෝදනා පිළිබඳව බිමල් රත්නායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේ ය
    • Author, බීබීසී සිංහල

ආනයනික භාණ්ඩ සහිත බහාලුම් රේගු පරීක්ෂාවට ලක්කර නිදහස් කිරීම සඳහා තදබදයක් පැවති බවට වාර්තා වූ සමයේ රේගු පරීක්ෂාවට ලක් නොකර බහාලුම් 300කට වැඩි ගණනක් ශ්‍රී ලංකා රේගුව විසින් මුදා හරිනු ලැබ ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරන ලද්දේ මේ වසරේ ජනවාරි මාසයේදී ය.

ජනවාරි 17 සහ 18 යන දෙදින තුළ මෙසේ ආනයනික බහාලුම් 323ක් රේගු නිෂ්කාෂණයට ලක් නොකර නිදහස් කර ඇති බව එම සංගමයේ සභාපති අමිල සංජීව එහිදී සඳහන් කළේ ය.

මෙම බහාලුම්වලින් 80%ක් පමණ දැඩි රේගු පරීක්ෂාවට ලක් විය යුතු රෙඩ් චැනල් කාණ්ඩයට අයත් වන බවත් ඔහු පවසා තිබිණි.

"රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙත් අශීර්වාදය ඇතිව, නිලධාරීන් 3 දෙනෙක් එකතු වෙලා තීරණය කරලා තියෙනවා මේවා පරීක්ෂා කිරීමෙන් තොරව නිදහස් කරලා එළියට යවනවා කියලා," රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා එහිදී බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ වෙතත් මාස 6කට ආසන්න කාලයක් ගත වී ඇතත් එම බහාලුම්වල තිබුණේ මොනවා ද, ඒවායේ හිමිකාරීත්වය දැරුවේ කවුද? යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කර නොමැත.

එමෙන් ම, මෙම සිදුවීම සම්බන්ධව සොයා බැලීමට මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක් පත්කරනු ලැබූ අතර එම කමිටු වාර්තාව ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය මහ ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැන්වූ බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බහාලුම්වලින් 60%ක පමණ ප්‍රමාණයක් මුදා හරිනු ලබන්නේ පරීක්ෂාවකින් තොරව බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ ජුනි 08 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Department of Government Information

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බහාලුම්වලින් 60%ක පමණ ප්‍රමාණයක් මුදා හරිනු ලබන්නේ පරීක්ෂාවකින් තොරව බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

'කන්ටේනර් එකේ ආපු බඩුවල තිබ්බේ අපේ ප්‍රභාකරන්ගේ ගිනිඅවි'

මෙම බහාලුම් නිදහස් කිරීමට අමාත්‍ය බිමල් රත්නායකගේ සම්බන්ධයක් ඇති බවට චෝදනා නැගෙන පසුබිමක රේගු පරීක්ෂාවට ලක් නොකරන මුදා හරින ලද බහාලුම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ජූනි 05 වන දා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කිරීමත් සමග මේ සම්බන්ධ වූ කතාබහ තවත් තීව්‍ර විය.

''මම කන්ටේනර් ගැන කතා කරනවා. මේක කතා කරනකොට මට වෙඩි වදින්න පුළුවන් මොක ද මට ආරක්ෂාව දීලා නෑ. ජනාධිපති ඡන්දෙට කලින් ජර්මන් ගිහිල්ලා ඩයස්පෝරාව හම්බවුණා. ඩයස්පෝරා එක හම්බවෙලා ඒගොල්ලන්ට කරන්න පුළුවන් කියලා, මේ රටේ කරන්න බැරි දේවල් අපිට පොරොන්දුවක් දුන්නා එහෙම කරනවා කියලා. තායිලන්තයේ කන්ටේනර්වල තිබ්බ බඩු ටික අපේ ප්‍රභාකරන්ගේ බඩු ටික. 2009ට කලින් ප්‍රභාකරන් ගෙන්නන්න ට්‍රයි කරපු බඩු ටික තායිලන්තයේ ඉතුරු වෙලා ඒක කේපී, කුමරන් පද්මනාදන් හරහා ඒගොල්ලෝ ඒ කන්ටේනර් ටික මෙහාට ගෙනත් තියෙනවා කියලා මිනිස්සු කතා වෙනවා. මටත් මගේ ඩයස්පෝරා එකෙන් කතා කරලා කිව්වා ජර්මනිවල, අන්තිමට ඉතිරි වෙච්ච ආයුධ ටික, ගිනිඅවි ටික ඒ කන්ටේනර්වල දාලා මේ ළඟදී ගෙනල්ලා තියෙනවා කියලා. හැබැයි මට මේක ඔප්පු කරන්න බැහැ."

"ඒ තුන්සීය ගාණක් කන්ටේනර් එකේ ආපු බඩුවල තිබ්බේ අපේ ප්‍රභාකරන්ගේ ගිනිඅවි. ඒවා ඉතුරු වෙලා තායිලන්තයේ තිබිලා ඒවා තැන් තැන්වලට ගිහිල්ලා ආපහු ගෙනල්ලා තියෙනවා," යැයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකට එරෙහිව හිටපු අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර සහ උදය ගම්මන්පිල එල්ල කරන චෝදනා පිළිබඳ විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතීඥ නලීන් සම්පත් පැමිණිල්ලක් කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් මේ සම්බන්ධව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබී ය.

"මම ඔය සිදුවීම ගැන කරුණු අරගෙන ප්‍රෙස් එකක් තිබ්බා. ඒකෙ කියපු කරුණු මත තමයි මේගොල්ලෝ ගිහිල්ලා සී.අයි.ඩී. එකේ පැමිණිල්ලක් දැම්මේ," යනුවෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

'බිමල් රත්නායකයට කිසි ම බලයක් නැහැ රේගුවට අත ගහන්න'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර, එම බහාලුම් නිදහස් කරන ලද ආකාරය මෙන් ම බිමල් රත්නායක අමාත්‍යවරයා වෙත එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද විපක්ෂ මන්ත්‍රීවරයා අදහස් පළ කළේ ය.

"2024.12.13 ජනාධිපතිතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා බහාලුම් පිළිබඳ තියෙන අර්බුදයත් එක්ක. බිමල් රත්නායක ඇමැතිවරයා සහ වරාය නියෝජ්‍ය ඇමැතිවත් දාලා ඒගොල්ලන්ගේ යටතේ තව 10 දෙනෙක්ගේ කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවට භාර දෙනවා මේ සම්බන්ධව දිගු කාලීන සහ කෙටි කාලීන විසඳුම් කමිටුව රැස්වෙලා ඉදිරිපත් කරන්න කියලා. මේකේ තියන ප්‍රධාන ම ප්‍රශ්නය තමයි මේකට මුදල් අමාත්‍යංශයේ කිසි ම නිලධාරියෙක් දාන්නේ නැහැ."

"මේ වන තුරු එහෙම රිපෝර්ට් එකක් ගිහින් නෑ කැබිනට් එකට. නමුත් 18 වෙනි දා මේ කන්ටේනර්ස් රිලීස් කරනවා. නියෝජ්‍ය ඇමැති ඇවිල්ලා කියනවා කන්ටේනර්ස් 800ක් විතර අපි සම්පූර්ණයෙන් නිදහස් කළා දැන් ඒ ප්‍රශ්නය ඉවර යි කියලා. හැබැයි කිසි ම අනුමැතියක් නැහැ, බිමල් රත්නායකයට කිසි ම බලයක් නැහැ රේගුවට අත ගහන්න."

රේගු පනත යටතේ මෙවැනි ක්‍රියාවක් සඳහා පූර්ණ බලය ඇත්තේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට පමණක් බව නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය.

"කිසියම් ආකාරයක ප්‍රශ්නයක් සම්බන්ධව ඔය වගේ තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්ට විතර යි."

'දූෂණ ක්‍රියාවට එරෙහිව නඩු පවරන්න'

මෙම සිදුවීම සම්බන්ධව රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය සඳහන් කර තිබූ කරුණු ගැන ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

"එයා නිවේදනයක් නිකුත් කරනවා මේ කන්ටේනර්ස් රිලීස් කළේ අනුර දිසානායක මහත්මය යි, බිමල් රත්නායක යි මට කියපු හින්දා. එහෙම තීන්දු දෙන්න ඒගොල්ලන්ට බලයකුත් නැහැ. ඔය කන්ටේනර්ස් 80%කට වැඩිය රෙඩ් ගහපුවා තමයි තිබිලා තියෙන්නේ."

මෙය දූෂණ ක්‍රියාවක් බව පවසන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, බිමල් රත්නායක අමාත්‍යවරයා සහ ඔහුගේ අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ලබාගෙන නඩු පවරන ලෙස ය.

'බලපෑම් මත එකක්වත් නිදහස් වෙන්නේ නෑ'

බහාලුම් 300කට වැඩි සංඛ්‍යාවක් රේගු පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කිරීම සම්බන්ධව එල්ල වන චෝදනා පිළිබඳව බිමල් රත්නායක අමාත්‍යවරයා ජුනි 6 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේ ය.

එලෙස බහාලුම් 323ක් මුදා හරිනු ලැබුවේ ජනාධිපතිවරයාගේ, ඇමැතිවරයාගේ හෝ සභාපතිවරයාගේ බලපෑම මත නොවන බව ඔහු කියා සිටියේ ය.

"වරායේ බහාලුම් කිසි ම බලපෑමක් මත, ජනාධිපතිවරයාගේ හෝ ඇමැතිවරයාගේ හෝ සභාපතිවරයාගේ බලපෑම් මත එකක්වත් නිදහස් වෙන්නේ නෑ. එහෙම ඉතිහාසයේ තිබිලා ඇති. එහෙ ම එකක්වත් නිදහස් කරලා නැහැ, එහෙම නිදහස් කරන්න බලයකුත් නෑ."

"රටේ සංවාදයකට ලක් කරලා තියෙනවා කන්ටේනර් 323ක් නිදහස් කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒකට අපිවත් පටලවා තියෙනවා බොහොම උනන්දුවෙන්. ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දැන් පරීක්ෂණ පටන් අරන් තියෙනවා. ඒ පරීක්ෂණවලින් මම හිතනවා, රටට හොඳයි පිළිතුරු ලැබෙන එක." ඇමැතිවරයා පැවසීය.

බහාලුම්වල තිබුණේ මොනවා ද?

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බහාලුම්වලින් 60%ක පමණ ප්‍රමාණයක් මුදා හරිනු ලබන්නේ පරීක්ෂාවකින් තොරව බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ ජූනි 08 වන දා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ය.

බහාලුම් තදබදයට පිළියම් ලෙස ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ගනු ලැබූ තීරණයක් අනුව "ස්ක්‍රීන් යුනිට්" නම් ඒකකය පිහිටුවා පරීක්ෂා නොකර නිදහස් කළ හැකි බහාලුම් මුදා හැරීමට එම ඒකකයට බලය ලබා දුන් බවත් මෙම ක්‍රමවේදය 2024 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කළේ ය.

"මේ බහාලුම්වල අඩංගු ද්‍රව්‍ය මොනවා ද කියලා බොහොම කතාබහට ලක් වෙනවා මේ කාලේ. කෙටියෙන් කිව්වොත් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විශේෂයෙන් ප්ලාස්ටික්, රෙදිපිළි, නූල් වර්ග රසායන ද්‍රව්‍ය වගේ දේවල් මේවල තිබුණා. ඊට අමතරව නිෂ්පාදකයන්ගේ දේශීය නියෝජිතයන් ආනයනය කරන ලද මෝටර් රථ අමතර කොටස්, විදුලි උපකරණ වගේ දේවල් තිබුණා."

"ඒ වගේ ම සත්ව ආහාර, මැෂින් වර්ග, කඩදාසි, සූර්ය පැනල්, යකඩ පයිප්ප, වයර්, පොහොර, පළිබෝධ නාශක, සිමෙන්ති, ලී, දැව වගේ දේවල් තමයි මේ බහාලුම්වල අඩංගු වෙලා තිබුණේ. ඒ වගේ ම මේ බහාලුම් ආනයනය කරලා තිබුණේ ඉන්දියාවෙන් සහ චීනයෙන් තමයි බහුතරයක්. ඊට අමතරව ඉන්දුනීසියාව, හොංකොං, සිංගප්පූරුව, මැලේසියාව, ස්විට්සර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් ආරබි එමීර් රාජ්‍ය වගේ රටවලිනුත් මේ බහාලුම් ආනයනය කරලා තිබුණා."

'ශ්‍රී ලංකා රේගුවට ආනයනකරුවන් විශ්වාස යි'

ශ්‍රී ලංකා රේගුව විශ්වාසය පළ කරන්නේ ආනයනයකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණක් මෙම බහාලුම්වල තිබූ බවට ය.

"මේ බහාලුම් නිදහස් කිරීමේදි අපි අනුගමනය කරන ලද ක්‍රමවේදය නිසා අපි විශ්වාස කරනවා මේ බහාලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණ යි කියලා. මේ භාණ්ඩ නිදහස් කිරීමේ ආනයන සටහන්වල සියලු ම ලියකියවිලි පරීක්ෂා කරලා තමයි මේ බහාලුම් නිදහස් කිරීම සිදු කළේ." යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ ජූනි 08 වන දා පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය

'ඔය කියන කිසි ම දෙයක් තිබුණේ නෑ'

බහාලුම් තුළ ආයුධ, මත්ද්‍රව්‍ය වැනි දෑ තිබූ බවට නැගෙන චෝදනාවලට ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිතුරු දුන්නේය.

"පහුගිය කාලේ අපිට චෝදනා නගලා තිබුණා මේ බහාලුම්වල ආයුධ තියෙන්න පුළුවන් කියලා, එහෙනම් නැත්නම් රත්තරං තියෙන්න පුළුවන් කියලා, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා. අපි තෝරා ගන්නා ලද ක්‍රමවේදයන් අනුගමනය කරපු නිසා අපිට ඉතා විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ බහාලුම් අතර ඔය කියන කිසි ම දෙයක් තිබුණේ නෑ කියලා. කෙසේ වෙතත් මේ සම්බන්ධව දැඩි කතා බහක් ඇති වෙලා තියෙන නිසා ම ශ්‍රී ලංකා රේගුව මේ සඳහා පශ්චාත් නිෂ්කාෂණ විගණනයක් සිදු කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ සඳහා පශ්චාත් විගණන අංශය මේ වන විටත් විගණනයක් සිදුකරගෙන යනවා."

ඇමැති බිමල්ට එරෙහි චෝදනා සහ අර්චුනා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය

බහාලුම් නිදහස් කිරීම සිදුකරන ලද්දේ රේගුව විසින් ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදයක් ඔස්සේ බවත් ඒ සඳහා කිසිදු පාර්ශවයකින් අණක් හෝ බලපෑමක් සිදුනොවූ බවත් අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ පැවසීය.

අමාත්‍ය බිමල් රත්නායක බහාලුම් නිදහස් කිරීමට මැදිහත් වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේ ය.

"බිමල් රත්නායක ගරු ඇමතිතුමන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන ලද වරායේ තදබදයට විසඳුම් සෙවීමට පත් කරන ලද කමිටුවේ සභාපති. ඒ කමිටුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාත් සාමාජික වශයෙන් ඉන්නවා. මේ කමිටුව සමස්ත ක්‍රියාවලිය දිහා බලලා යම් යම් පියවරයන් ගන්නවා. එසේ වුවත් රේගුව විසින් කරගෙන යන ලද නිෂ්කාෂණ ක්‍රියාවලියට කිසි ම විදියකින් එතුමා සම්බන්ධ වුණේ නැහැ. එතුමාගේ අණක් හෝ එතුමාගේ ඉල්ලීමක් හෝ කිසි ම දෙයක් අපිට ලැබුණේ නෑ."

"එහෙම කෙනෙක් කවුරු හරි කියනවා නම් දෙමළ ඩයස්පෝරාවෙන් දුන්නේ, එහෙම නැත්නම් ප්‍රභාකරන් හෝ ඒ සංවිධානයට ගෙනාපු ආයුධ මේකේ තිබුණා කියලා ඒක සම්පූර්ණයෙන් ම මම ප්‍රතික්ෂේප කරනවා. අපි ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදය ඔස්සේ එසේ එවැනි ආයුධ හෝ වෙනත් දේවල් තිබීමේ හැකියාවක් නැහැ," මන්ත්‍රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම බහාලුම් ආනයනකරුවන්ගේ සියලු විස්තර, සියලු ම ආනයන ලියවිලි සහ නිෂ්කාෂණ නියෝජිතයන්ගේ සියලු විස්තර ද ශ්‍රී ලංකා රේගුව සතුව ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මාධ්‍ය වෙත කියා සිටියේ ය.