ඝාතනය වූ ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධිගේ පාලන සමයේ ශ්‍රී ලංකා ඉන්දියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ස්වභාවය

Rajiv Gandhi

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල

ඉන්දියාවේ 8 වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රජීව් ගාන්ධි පිළිබඳව මෙරට ජනතාවට ඇත්තේ, සමීප මතකයකි. ඒ, ඔහු ඉන්දියාවේ අගමැති ධූරය දැරූ සමයේදී මෙරට තුළ සිදු වූ සුවිශේෂී සිදුවීම් කිහිපයකට ම ඔහුගේ ද ඍජු මැදිහත්වීමක් සිදුවීම හේතුවෙනි.

1987 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිට මුහුණ දීමට සිදුවූයේ කිසිදු රාජ්‍ය නායකයෙකු බලාපොරොත්තු නොවන අනපේක්ෂිත සිදුවීමකට ය.

කවුද මේ රජීව් ගාන්ධි?

1947 වසරේදී ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට බිහි වූ පළමු අගමැතිවරයා වන ශ්‍රී ජවහර්ලාල් නේරුගෙන් ආරම්භ වූ ඉන්දීය දේශපාලන ගමන් මග තුළ නේරු - ගාන්ධි පවුලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ජවහර්ලාල් නේරුගේ දියණිය වූ ඉන්ධිරා, එරට තවත් ප්‍රබල දේශපාලන පවුලක් වන ගාන්ධි පවුලේ සාමාජිකයෙකු වන ෆෙරෝස් ගාන්ධි සමග 1942 වසරේදී විවාහ විය. විවාහයෙන් අනතුරුව ඔවුන්ගේ පවුලට රජීව් සහ සංජේ යනුවෙන් පුතුන් දෙදෙනෙක් එක්වූහ.

ඔවුන් දෙදෙනා අතරින් වැඩිමහල් දරුවා වන රජීව් ගාන්ධි 1944 අගෝස්තු මස 20 වන දා මුම්බායිහිදී උපත ලැබූ අතර, ඉන්දියාවට නිදහස හිමි වන විට රජීව් ගාන්ධිගේ වයස අවුරුදු 3කි.

තම බාල සහෝදරයා වන සංජේට වැඩි සමීපබවක් දැක්වූ රජීව් ගාන්ධි වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යය බලා ගිය අතර, ඔහු එහිදී ලන්ඩන්හි ඉම්පීරියල් විද්‍යාලයේ කාර්මික ඉංජිනේරු විෂය හැදෑරීය.

විශ්වවිද්‍යාලයේදී හමුවූ ඉතාලි ජාතික තරුණියක වන සෝනියා මයිනෝ සමග රජීව් ගාන්ධි 1968 වසරේදී විවාහ වූ අතර ඔවුන් දෙපළ රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි යනුවෙන් දරුවන් දෙදෙනකු ලැබූහ.

දේශපාලනයට සම්බන්ධ නොවූ රජීව් ගාන්ධි ගුවන් නියමුවෙකු ලෙස එයාර් ඉන්ඩියා ගුවන් සේවයට එක්විය.

1966 වසරේදී පළමු වරට ඉන්දියාවේ අගමැති ධූරයට පත්වූ ඉන්ධිරා ගාන්ධි නැවත වරක් 1980 දී අගමැති ධූරයට පත්වූ අතර එම වසරේදී සිදුවූ ගුවන් යානා අනතුරකින් අගමැතිවරියගේ බාල පුත්‍රයා වන සංජේ ගාන්ධි ජිවිතක්ෂයට පත්විය.

සංජේ ගාන්ධිගේ වියෝවෙන් අනතුරුව තම මව වූ ඉන්ධිරා ගාන්ධිගේ දේශපාලන කටයුතු සඳහා සහය වීමේ වගකීම පැවරීම හේතුවෙන් දේශපාලන කරළියට පය තැබූ රජීව් ගාන්ධි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට ඉන් ජයග්‍රහණය කර දේශපාලනයට එක්විය.

මේ අතර, 1984 වසරේ ඔක්තෝබර් මස 31 වන දා ඉන්දිරා ගාන්ධි සිය ආරක්ෂක නිලධාරියෙකුගේ අතින් ජීවිතක්ෂයට පත්වූයේ ඇගේ නිල නිවාසය තුළදී ය.

සිය මවගේ මරණයෙන් පසුව රජීව් ගාන්ධි ඉන්දියාවේ 8 වන අගමැතිවරයා ලෙස පත් වූයේ එරට ඉතිහාසයේ ළාබාලතම අගමැතිවරයා බවට පත්වෙමිනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 40ක් විය.

රජීව් ගාන්ධි කුඩා වියේදී සිය මුත්තණුවන් වූ ජවහර්ලාල් නේරු සමග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රජීව් ගාන්ධි කුඩා වියේදී සිය මුත්තණුවන් වූ ජවහර්ලාල් නේරු සමග

පසමිතුරෙකු වූ අසල්වැසියා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රජීව් ගාන්ධි ඉන්දියාවේ අගමැති ධූරයට පත්වන විට ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය කේන්ද්‍ර කර ගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ජනතාව වෙනුවෙන් 'වෙන ම නිජබිමක්' යන සංකල්පය මත සන්නද්ධ අරගලයක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබිණි.

මෙම අරගලයට අවශ්‍ය ආයුධ සහ අවි පුහුණුව උතුරේ වෙසෙන දෙමළ තරුණයන්ට ඉන්දියාවෙන් හිමි වන බවට ද එකල විශාල ප්‍රචාරයක් ශ්‍රී ලංකාව තුළ පැතිර යමින් තිබිණි.

දකුණු ඉන්දියාවේ දෙමළ දේශපාලඥයින් විසින් ඉන්දීය මධ්‍යම රජයට සිදුකළ බලපෑම් හමුවේ 1984 වසරෙන් පසුව ශ්‍රී ලංකාව සහ ඉන්දීය රජය අතර යම් ආකාරයක හොඳ හිත පළුදු වීමක් සිදුවූ බව දේශපාලන විශේෂඥයෝ පෙන්වා දෙති.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ප්‍රදීප් පීරිස් බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ, මෙම කාල සීමාව වන විට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය බටහිර පිළිවෙතට අනුගතවීම ඉන්දියාව තම අසල්වැසියා වූ ශ්‍රී ලංකාව කෙරෙහි පසමිතුරු අදහසක් ඇති කරලීමට හේතු වූ බව ය.

''අපි අයිති වෙන්නේ ඉන්දියානු කලාපයට. කලාපයේ බලවතා වන ඉන්දියාව සමග අවබෝධයෙන් කටයුතු නොකළ හැම අවස්ථාවකදී ම ඉන්දියාව අපිට අඬගහලා මේ පාඩම උගන්නලා තියෙනවා. 1987 වැඩේ වෙන්න කලින් ඉඳලා ශ්‍රී ලංකාව ජේ.ආර්. ජයවර්ධනගේ රජය කාලයේදී නොබැඳි පිළිවෙතින් අයින් වෙලා බටහිර පිළිවෙතට දැඩිව ගමන් කරපු වෙලාවේ ඉන්දියාව එක්ක පසමිතුරුකම ඇති වෙන්න පටන් ගත්තා. එක අතකින් අපිට හිතන්න පුළුවන් අපි නොබැඳි රාජ්‍යයක් හැටියට ඇයි ඉන්දියාවට යටත් වෙලා ඉන්නේ කියලා.''

''ඉන්දියාව කොහෙත් ම කැමති නැහැ එයාලගේ බල රාමුව තුළින් අපි එළියට යනවට. එයාලගේ ආර්ථික සහ ආරක්ෂක තත්ත්වයට බලපෑම් එල්ල වෙයි කියන ගැටලුව එක්ක. ශ්‍රී ලංකාවේ දේශපාලඥයින් අනුවණ විදිහට ගත්ත යම් තීන්දු නිසා මේ තත්ත්වය ඇති වෙන්න එක හේතුවක් වුණා,'' ඔහු පැවසීය.

ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන සමග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි, ශ්‍රී ලංකාවේ එවකට ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන සමග

ජනවාර්ගික අර්බුදය විසඳීමට ඉන්දියාවේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය නිමාවට පත්කිරීමේ අරමුණින් 1985 වසරේදී ඉන්දියාවේ මැදිහත් වීමෙන් භූතානයේ තිම්පුහිදී විශේෂ සාම සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කණ්ඩායමක් එක්ව සිටිය අතර, එම කාල සීමාව වන විට උතුරේ ක්‍රියාත්මක වූ LTTE, EROS, PLOTE, TELO, TULF යන සංවිධාන තම නියෝජිතයින් තිම්පු සාම සාකච්ඡා සඳහා එක් කර තිබිණි.

කෙසේ වුවත්, එම සාකච්ඡා සාර්ථක නොවුණේ ද්‍රවිඩ සංවිධාන විසින් ශ්‍රී ලංකා රජයට යොමු කළ ඉල්ලීම් 4ක් පිළිගැනීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිලූකා ප්‍රියදර්ශනී බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ, තිම්පු සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු උතුරේ ස්වයං පාලනයක් ඉල්ලා සටන් කළ අවිගත් තරුණ කණ්ඩායම් සමග යුද්ධයට යාමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය ද ඉන්දියාවට යම් ආකාරයේ සිත් රිදවීමක් ගෙන දුන් කරුණක් වූ බව ය.

"තිම්පු සාකච්ඡාවට සහභාගි වුණ LTTE ඇතුළු අනෙක් සංවිධාන කරපු ඉල්ලීම් තමයි දෙමළ ජාතිකත්වය පිළිඹිඹු වෙන්න ඕන, ස්වයංනිර්ණ අයිතිය, උතුරු - නැගෙනහිර දෙමළ නිජ භුමිය ඇතුළු කරුණු. ශ්‍රී ලංකාවේ රජය ඒවාට විරෝධය පළ කිරීම නිසා ඒ සාකච්ඡාව අසාර්ථක වුණා කියලා අපිට කියන්න පුළුවන්."

"1985 තිම්පු සාකච්ඡා බිඳ වැටුණට පස්සේ ශ්‍රී ලංකා රජයේ හමුදා උතුරේ LTTE සංවිධානයට එරෙහිව මෙහෙයුම් ආරම්භ කළා. මේක ඉන්දියාවේ සිත් රිදවපු කරුණක් වුණා. මොක ද උතුරු - නැගෙනහිර ජීවත් වුණේ බහුතරයක් දෙමළ ජනතාව. ඒ වගේ ම ඉන්දියාවේ අත පෙවීමට ශ්‍රී ලංකාවේ රජය අනුගත නොවීම කියන කරුණත් ඉන්දියාවට තදින් දැනුණා වෙන්න පුළුවන්," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය පැවසුවා ය.

1987 වසරේ යාපනය නගරයට ආසන්නව ඉදිකර තිබු බංකරයක රැකවල්ලා සිටින LTTE සංවිධානයේ සාමාජිකයෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1987 වසරේ යාපනය නගරයට ආසන්නව ඉදිකර තිබූ බංකරයක රැකවල් ලා සිටින LTTE සාමාජිකයෙක්

'ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳන්න ඇත්ත ම අවශ්‍යතාවක් තිබුණ ද?'

මෙවන් පසුබිමක උතුරේ ක්‍රියාත්මක වූ LTTE සංවිධානය ඇතුළු ද්‍රවිඩ විමුක්ති සංවිධාන අඩපණ කිරීම සඳහා 1987 වසරේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. යාපනය නගරය මුදවා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරුණු වඩමාරච්චි මෙහෙයුමට ඒ අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි විය.

සාර්ථක මෙහෙයුමක් බවට පත්වෙමින් තිබූ එම මෙහෙයුම අතරමග නතර කිරීමට ආරක්ෂක අංශ වෙත මෙරට දේශපාලන බලධාරීන් විසින් නියෝග කරනු ලැබුවේ, ඉන්දියාවෙන් එල්ල වූ සෘජු මැදිහත් වීම මත බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිලූකා ප්‍රියදර්ශනී බීබීසී සිංහල වෙත පැවසුවා ය.

"ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයට ඉන්දියාව අත පෙවීමට මූලික හේතුව වුණේ ඉන්දීය දෙමළ ජාතිකයින් මෙරට උතුරුකරයේ ජීවත්වීම නිසා වෙන්න පුළුවන්. නමුත් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳන්න ඇත්ත ම අවශ්‍යතාවක් තිබුණ ද කියන එක වෙන ම ම බලන්න ඕන දෙයක්."

"නමුත් ඉන්දියාවේ බලපෑම ගැන මායිම් කරන්නේ නැතිව ශ්‍රී ලංකාවේ හමුදාව LTTE සංවිධානයට එරෙහිව යුද්ධ කළා 1987දී. නමුත් 1987 වඩමාරච්චි මෙහෙයුම හොඳ අවස්ථාවක් වෙන්න තිබුණා මේ යුද්ධය සම්පුර්ණයෙන් අවසන් කරන්න. නමුත් ඉන්දියාවේ මැදිහත්වීම නිසා ශ්‍රී ලංකාවේ රජයට සිදුවුණා ඒ මෙහෙයුම නතර කරන්න."

''මේ හේතුව නිසා ශ්‍රී ලංකාවට යුද්ධයට අවශ්‍ය ආයුධ විදේශ රටවලින් මිල දී ගැනීම වළක්වන්න පවා රජීව් ගාන්ධි රජයෙන් බලපෑම් කළා වගේ ම උත්සාහ කළා. මේ කාලසීමාවේදී තමයි ඉන්දියාව යාපනයට ගුවනින් ආහාර ද්‍රව්‍ය හෙළන්න 'පූමාලෙයි මෙහෙයුම' ක්‍රියාත්මක කළේ. මේ වඩමාරච්චි මෙහෙයුම වගේ ම පූමාලෙයි මෙහෙයුම ලංකාවේ ඉතිහාසය වෙනස් කරපු මෙහෙයුම් දෙකක් කියලා කියන්න පුළුවන්," ඇය පැවසුවාය.

ඉන්දීය සාම සාධක හමුදාව යාපනය නගරයේදී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය සාම සාධක හමුදාව යාපනය නගරයේදී

යාපනයට ගුවනින් දැමූ ඉන්දීය ආධාර

LTTE සංවිධානය සමග ඇතිව තිබූ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ යාපනය අර්ධද්වීපයට තිබූ ගොඩබිම් මාර්ග වසා දැමීම නිසා 1987 වසරේදී යාපනය නගරයේ ජීවත් වන ජනතාවට ආහාර ද්‍රව්‍ය යැවීමට ඉන්දීය රජය විසින් තීරණය කරන ලදී.

ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නාවික යාත්‍රා යොදා ගැනීමට පළමුව තීරණය කර තිබිණි. යාපනයේ ජනතාවට ආහාර ද්‍රව්‍ය රැගත් ඉන්දීය යාත්‍රා මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට පැමිණි අවස්ථාවේදී ඒවාට වෙඩි තබන බවට මුර සංචාරයේ නිරතව සිටි ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කිරීමෙන් අනතුරුව සහනාධාර රැගත් යාත්‍රාවලට නැවත ඉන්දියාව බලා යාත්‍රා කිරීමට සිදුවිය.

මෙම සිදුවීමෙන් පසුව ඉන්දීය රජය යාපනයේ රැඳී සිටි දෙමළ ජනතාවට ගුවනින් ආහාර හෙළීමට තීරණය කළ අතර, ඒ අනුව 1987 වසරේ ජූනි මස 03 වන දා ඉන්දියාවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවලින් පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටොන් 25ක් පමණ යාපනය නගරයට ගුවනින් හෙළන ලදී.

සිද්ධිය සියැසින් දුටු මරියදාස්ගේ අත්දැකීම

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවලින් යාපනය නගරයට ගුවනින් ආහාර ද්‍රව්‍ය හෙළූ ආකාරය සියැසින් දුටු බව කියන 56 හැවිරිදි මරියදාස් බීබීසී සිංහල සේවය වෙත ඒ පිළිබඳව මෙලෙස විස්තර කළේ ය.

"ඒක වුණේ 1987 ජූනි මාසයේ මුල් දවස්වල. මට එතකොට අවුරුදු 18 යි වයස. අපි හිටියේ ගුරු නගර් ප්‍රදේශයේ. ඒ දවස්වල ශ්‍රී ලංකා හමුදාව සහ LTTE අතර විශාල සටනක් තිබුණා. ඒත් එක්ක ම ඉන්දියාව යාපනයට පරිප්පු ඇතුළු කෑම බීම දාන්න තීරණය කරලා තිබුණේ.''

"ශ්‍රී ලංකා රජය හා රජිව් ගාන්ධි රජය අතර ප්‍රශ්නයක් හින්දා සහ ශ්‍රී ලංකා හමුදාව යාපනයට ආහාර ද්‍රව්‍ය ගෙන එන්න දෙන්නේ නෑ කියන ප්‍රශ්නයක් එක්ක තමයි ඔය කියන පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය දැමීමට ඉන්දියාව තීරණය කරා කියලා තමයි අපි දන්නේ.''

''මම ඒ දවස්වල ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා හිටියේ. අපි තරුණයෝ කිසි බරපතළක් නොදන්න කාලයක්. ඒත් යුද්ධය තියෙනවා. අපි බයෙන් තමයි ජීවත්වුණේ, ඉන්දියන් හමුදාව කොයි වෙලාවේ වෙඩි තියයි ද, ලංකා හමුදාව කොයි වෙලාවේ වෙඩි තියයි ද කියලා. ඔහොම ඉන්නකොට තමයි LTTE එක යාපනයට කොටු කරන යුද්ධය පටන් ගත්තේ.''

''අපි ගෙවල්වල ඉන්නකොට ඔය කියන දවස්වල ඉන්දියන් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර්වලින් බඩු දානවා කියලා ආරංචි වුණා. ඒ බඩු ගෙනැල්ලා තිබ්බේ ඉන්දියාවේ ගුවන් හමුදා යානාවලින්. ඒවාවල මහ භංයකාර සද්දයක් තිබුණේ. ඉන්දීය ගුවන් හමුදාවේ මිරාජ් යානා යාපනය මුහුදු සීමාවට ඇවිල්ලා තිබුණා. එහෙම තියෙද්දී තමයි විශාල ප්‍රමාණයේ ගුවන් යානා ඉහළ අහසේ ඉඳලා පහතට ඇවිත් ගොඩබිමට භාණ්ඩ හෙළුවේ.''

"ගුවන් යානාවලින් දාපු බඩු අපේ ගම්මානවලට ටිකක් තමයි වැටුණේ. අපේ ගමේ සීමාවට බඩු දැම්මොත් ඒ බඩු වැටෙන්නේ අපේ අල්ලපු ගමට නැත්නම් ඊට එහා පැත්තේ ගම්මානවලට. මොක ද ගුවන් යානාවලින් බඩු දානකොට ඒවා ගිහිල්ලා වැටෙන්නේ වෙනත් තැන්වලට.''

''පරිප්පු, බොම්බයි ලූනු, ටින් මාළු වාගේ දේවල් තමයි දැම්මේ. ඒ දවස්වල යාපනයේ මිනිස්සුන්ට කෑම හොයා ගන්න ටිකක් අමාරු කාලයක්. මුහුද අයිනේ ගම්මානවල ජීවත්වුණ අපිට මාළු තිබුණා. බතුයි මාළුයි එක්ක තමයි අපේ කෑම හදාගත්තේ. පරිප්පු, ලූනු, ටින් මාළු, සීනි, භූමිතෙල් ඔය කියන ඒවා බොහොම හිඟයි."

''යාපනය කොටුවට හා යාපනය ටවුමට පරිප්පු, ලූනු දාන්න බැරිවුණා. මොක ද ගුවන් යානාවලට වෙඩි තියයි කියලා බයක් ඒ දවස්වල ඉන්දියාවේ ගුවන් හමුදාවට තිබුණා. ඒත් ඔය කියන බඩු දැමිල්ල තිබුණේ ටික දවසක් විතරයි. පස්සේ තමයි රජිව් එක්ක ජේ.ආර්. ගිවිසුමක් ගැහුවේ.''

''දාපු පරිප්පු, ලූනු ටික දෙනෙකුට තමයි ලැබුණේ. සමහර අයට කොහොමටවත් ලැබුණේ නෑ. තවත් කොටස් මුහුදට වැටිලා විනාශ වෙලා ගියා. එහෙම තමයි ඔය ආහාර දැමිල්ල සිද්ධ වුණේ," මරියදාස් සිහිපත් කළේ ය.

ශ්‍රී ලංකාව උණුසුම් කළ ඉන්දු - ලංකා ගිවිසුම

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට සූදානමක් පවතින බවට පළවූ වාර්තා සමග 1987 වසරේදී ශ්‍රී ලංකාව පුරා දැඩි මහජන විරෝධතාවක් ඇති විය.

එවකට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ව්‍යාපාර විසින් රට පුරා මෙම විරෝධතා සංවිධාන කර තිබූ අතර, රජය විසින් හදිසි නීතිය සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරමින් එම විරෝධතා මැඩ පැවැත්වීමට උත්සහ දරනු ලැබීය.

ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් තැබීම පිළිබඳව එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස ඇතුළු ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ද සිය විරෝධතාව පළ කර තිබිණි.

කෙසේ වුව ද, 1987 වසරේ ජූලි මස 29 වන දා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඇතුළු දූත පිරිස එදින ම සවස ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමග ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් තබා තිබුණේ රට තුළ ඇතිව තිබූ ප්‍රබල විරෝධතා ද නොතකා ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය ප්‍රදීප් පීරිස් කියා සිටියේ, ශ්‍රී ලංකාව පත්ව සිටි තත්ත්වය සමග ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් නොකර සිටීමට හැකියාවක් නොතිබූ බව ය.

''ජේ.ආර්. ජයවර්ධන මුලදී අනුවණ විදිහට කටයුතු කළත් ඇත්තට ම ඔහුගේ තියෙන කපටි ශුරකම විදහා දැක්වූ අවස්ථාවක් තමයි, 1987 දී ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් කිරීම. එහෙනම් අපිට යුක්රේනයට අද අත්වෙලා තියෙන තත්ත්වය අපිට අත්වෙන්න තිබ්බා. අපිට කිසි ම හැකියාවක් තිබුණේ නැහැ මේ අවස්ථාවේදී ගිවිසුමට අත්සන් නොකර ඉන්න. නමුත් ජේ.ආර්. ජයවර්ධන ගිවිසුමට අත්සන් කිරීම තුළින් ඉන්දියාවත් මේ ප්‍රශ්නයට පටලවා ගැනීම හරහා ඉන්දියාවට සෑහෙන්න විපතක් ඇති කරමින් තමයි මේ ප්‍රශ්නය විසඳ ගත්තේ.''

''ඔය කියන ඉන්දු - ලංකා ගිවිසුමේ ඇතුළත් වෙලා තිබ්බ සමහරක් කරුණු කාරණා ඉන්දියාව කරන්න කියන්න කලින් ම අපිට කරන්න තිබ්බා. 1948 නිදහසින් පස්සේ ශ්‍රී ලංකා ජාතික රාජ්‍යයක් ගොඩනැගීමේ සංකල්පය තුළ ලංකාවේ හිටිය දේශපාලනඥයින් සහ ප්‍රභූවරුන් යම්කිසි විදිහකින් කල්පනා කරලා කටයුතු කළා නම් අපිට ඉන්දියාව කියනකම් ඉන්න අවශ්‍යකමක් නැහැ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරුණු ගෙන එන්න.''

''එහෙම නැතිව අපි මේ අවස්ථාවේදී ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් නොකර හිටිය නම් අද වන විට ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් වෙන්න ඉඩ තිබුණා. මොක ද ඒ වන විට රටේ පැවතුණේ එවැනි තත්ත්වයක්.'' ආචාර්ය ප්‍රදීප් පීරිස් පැවසුවේ ය.

ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව පැවති ආචාර පෙළපාලියකදී ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට ශ්‍රී ලංකා නාවික හමුදා සෙබලෙකු ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාව.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට කොළඹදී එල්ල වූ ප්‍රහාරය

ඉන්දීය අගමැතිට එල්ල වූ ප්‍රහාරය

ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා ප්‍රමුඛ දූත පිරිස මෙරටින් පිටව යාමට පෙර සූදානම් කර තිබූ උත්සවයට සහභාගි වීම සඳහා කොළඹ ජනාධිපති මන්දිරයට පැමිණියහ.

එහිදී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි නාවික හමුදා සම්මාන මුරයට එක්ව සිටි අවස්ථාවේදී විජිත රෝහණ නම් වූ නාවික හමුදා සෙබළෙකු තමන් අත තිබූ ගිනි අවියේ බඳෙන් ඔහුට ප්‍රහාරයක් එල්ල කළේ ය.

එම අවස්ථාවේදී ඉන්දීය අගමැතිවරයා ඔහුගේ හිස පැත්තකට හැරවීම නිසා නාවික හමුදා සෙබළා එල්ල කළ පහර වැදුණේ ඔහුගේ උරහිසට ය.

මෙම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඡායාරූප සේන විදානගම නම් වූ ඡායාරූප ශිල්පියාගේ කැමරාවේ සටහන්ව තිබූ අතර, මෙම සිදුවීමෙන් අනතුරුව රජිව් ගාන්ධි අගමැතිවරයා ඇතුළු දූත පිරිස ඉන්දියාව බලා නික්ම ගියහ.

මෙම පහර දීමට සම්බන්ධ වූ නාවික හමුදාවේ සෙබළාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර ඔහුට සිර දඬුවම් නියම කෙරිණි.

රජීව් ගාන්ධි අගමැතිවරයා ඝාතනයට ලක්වීමෙන් පසු ඉන්දියාව තුළ LTTE සංවිධානයට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් හට ගැනුණි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රජීව් ගාන්ධි අගමැතිවරයා ඝාතනයට ලක්වීමෙන් පසු ඉන්දියාව තුළ LTTE සංවිධානයට එරෙහිව ප්‍රබල විරෝධතාවක් හට ගැනිණි.

ඉන්දීය සාම සාධක හමුදාව පැමිණීම

පසුව, ඉන්දීය යුද්ධ හමුදාවේ භට පිරිස් මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ළඟා වූහ. එලෙස පැමිණි ඉන්දීය හමුදා භට කණ්ඩායම් 'ඉන්දීය සාම සාධක හමුදාව' ලෙස හැඳින්විණි.

උතුරු - නැගෙනහිර පළාත්හි සාමය ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීම බවට පැවසුව ද දිගින් දිගට ම LTTE සංවිධානයේ ක්‍රියාකාරකම් හමුවේ ඔවුන්ට එරෙහිව ඉන්දීය සාම සාධක හමුදා භට පිරිස් මෙහෙයුම් දියත් කළහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිලූකා ප්‍රියදර්ශනී කියා සිටියේ, කලාපයේ බලවතා ලෙස ඉන්දියාව සෑම අවස්ථාවකදී ම කුමන ගැටලුවක් පැවතිය ද තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවට ඇඟවීමට කටයුතු කරන බව ය.

"කලාපයේ බලවතා විදිහට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට අත පෙවීම අපි දකින්නේ විවේචනාත්මක විදිහට යි. ඉන්දියාව තමන්ගේ අසල්වැසියා විදිහට ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කිරීම සාමාන්‍ය දෙයක්. ශ්‍රී ලංකාවේ තියෙන දේශපාලනය ගැන පවා ඉන්දියාවේ අවධානයක් යොමු වෙලා තියෙන්නේ. ඉන්දියාවට වගේ ම ශ්‍රී ලංකාවට තමන්ගේ තියෙන ගැටලු එළිපිට නොපෙන්නුවත් ඉන්දියාව සෑම විට ම ජාත්‍යන්තරය හමුවේ පෙන්වනවා තමන් ඕනෑ ම අවස්ථාවකදී ශ්‍රී ලංකාවට සහය දක්වනවා කියලා."

''ශ්‍රී ලංකාවේ ඉන්න දෙමළ දේශපාලනඥයින් පවා බොහෝ වෙලාවට තමන්ගේ ඉල්ලීම් මුලින් ම ඉදිරිපත් කරන්නේ ඉන්දියාවට. මොක ද මෙරට දෙමළ දේශපාලනඥයින් පවා විශ්වාස කරන දෙයක් තමයි තමන්ට සහනයක් ලැබෙන්නේ ඉන්දියාවේ අත පෙවීමෙන් කියන එක," ඇය පැවසුවා ය.

1991 වසරේදී පැවති මැතිවරණ රැස්වීමක් අතර වාරයේදී LTTE සංවිධානයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ ප්‍රහාරයෙන් ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයට ලක්විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, LTTE සංවිධානයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ ප්‍රහාරයෙන් ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයට ලක්විය.

රජීව් ගාන්ධි ඝාතනය

උතුරු සහ නැගෙනහිර පළාත්වලදී ඉන්දීය සාම සාධක බළකාය සිය සංවිධානයට එරෙහිව හමුදාමය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම LTTE සංවිධානයේ කෝපයට හේතු වූ කරුණක් වීම නිසා ඔහු LTTE ඉලක්කයක් බවට පත් විය.

1991 මැයි මස 21 වන දා තමිල්නාඩු ප්‍රාන්තයේ පැවැති ජන හමුවකට සහභාගි වූ ඉන්දියාවේ එවකට අගමැති රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්විය.

එවක වයස අවුරුදු 22ක් වූ ධනූ හෙවත් කලෙයිවානි රාජරත්නම් නමැති LTTE සාමාජිකාව අගමැතිවරයා ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබිණි.

බෝම්බ ප්‍රහාරයට ලක්ව රජීව් ගාන්ධි ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයින් 35 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් LTTE සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඉන් සිව්දෙනෙකු ශ්‍රී ලාංකිකයෝ වූහ. ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය LTTE සංවිධානයේ මෙහෙයවීම යටතේ සිදුවු බවට ද චෝදනා එල්ල විය.

මේ අතර, රජීව් ගාන්ධි ඝාතන චෝදනාවලට සිරගතව නිදහස ලබා සිටි එක් ශ්‍රී ලාංකිකයෙකු වන සාන්තන් හෙවත් ටී. සුදෙන්ද්‍රරාජා රෝගාතුරව චෙන්නායි පිහිටි රජීව් ගාන්ධි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 2024 වසරේ පෙබරවාරි 28 වන දා මිය ගියේ ය.

ජීවිතක්ෂයට පත්වූ සාන්තන්ගේ මළ සිරුර ගුවනින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ අතර, අනතුරුව ඔහුගේ නිවස පිහිටි යාපනය, උඩුප්පිට්ටි වෙත රැගෙන යාමෙන් අනතුරුව 2024 වසරේ මාර්තු 04 වන දා යාපනය, උඩුප්පිට්ටි හින්දු සුසාන භූමියේදී ඔහුගේ සිරුර අදාහනය කෙරිණි.

මේ අතර, රජීව් ගාන්ධි ඝාතනයට වැරදිකරුවන් වී වසර 33ක් සිර දඬුවම් ලබා සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු නිදහස ලැබීමෙන් අනතුරුව ඉකුත් වසරේ අප්‍රේල් 03 වන දා නැවත මෙරටට පැමිණ ඇත. ශන්මුගලිංගම් ජෙයකුමාර්, වෙන්ට්‍රිවල් මුරුගන් ශ්‍රීහරන් සහ බාලසුන්දරම් රොබර්ට් පියර්ස් එලෙස නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයෝ වෙති.