ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි දිවයිනෙන් පිටත්ව ගියේ ය.

සාරාංශය

  • ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගියේය.
  • අගමැති මෝදි ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගත්තේය
  • ඉන්දියානු රජයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය
  • සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් විවෘත කෙරුණි
  • දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, සෞඛ්‍ය සහයෝගීතාව, ඩිජිටල්කරණ සහයෝගීතාව ඇතුළු ගිවිසුම් හුවමාරු කර ගැණුනි
  • අගමැති මෝදිට 'ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන' සම්මානය පිරිනැමිණි.

සජීවී වාර්තාකරණය

ඉෂාරා ධනසේකර - සංස්කාරක , සම්පත් දිසානායක - ඩිජිටල් වාර්තාකරු/ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, තාරක සම්මාන් - මාධ්‍යවේදී

  1. ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත්ව යයි

    මෝදි

    ඡායාරූප මූලාශ්‍රය, Randhir Jaiswal

    ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මීට ටික වේලාවකට පෙර දිවයිනෙන් පිටත්ව ගියේ ය.

    අද උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක සමග අනුරාධපුරයට ගිය අගමැති මෝදි පළමුව ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගත්තා.

    අනතුරුව ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව- ඕමන්ත දුම්රිය මාර්ගය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නිල වශයෙන් විවෘත කළා.

    එම කටයුතු වලින් පසු, ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි දිවයිනෙන් පිටත්ව ගියා.

  2. මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ මහව- ඕමන්ත දුම්රිය මාර්ගය විවෘත කෙරේ

    මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ මහව- ඕමන්ත දුම්රිය මාර්ගය විවෘත කෙරේ

    ඡායාරූප මූලාශ්‍රය, Narendra Modi

    ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව- ඕමන්ත දුම්රිය මාර්ගය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට ටික වේලාවකට පෙර නිල වශයෙන් විවෘත කළා.

    ඒ, නායකයින් දෙදෙනා අද උදෑසන අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමෙන් අනතුරුවයි.

  3. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනී

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනී

    ඡායාරූප මූලාශ්‍රය, Narendra Modi

    ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අනුරාධපුර සංචාරය ආරම්භ කරමින් අද උදෑසන ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගත්තා.

    එහිදී ඔවුන් අටමස්ථානාධිපති හිමියන්ද හමුවී ආශීර්වාද ලබා ගත්තා.

    මීට පෙර 2015 වසරේ දිවයිනට පැමිණි අවස්ථාවේද මෝදි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගත්තා.

  4. නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයේ අවසන් දිනය, අද අනුරාධපුරයේ සංචාරයක

    අගමැති මෝදි

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ආයුබෝවන්

    සුබ උදෑසනක්...!

    ඉන්දීය අග්‍රමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අද.

    අද දිනයේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට නියමිත වනවා.

    මීට පෙර 2015 වසරේ දිවයිනට පැමිණි අවස්ථාවේද මෝදි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගත්තා.

    ඉන්දියානු රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක්ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කිරීමටද නියමිත වනවා.

    ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව- ඕමන්ත දුම්රිය මාර්ගය නිල වශයෙන් විවෘත කිරීමටත් සැලසුම් කරලා තිබෙනවා.

    අද (අප්‍රේල් 06 වන දින) පස්වරුවේ ශ්‍රී ලංකා සංචාරය නිල වශයෙන් නිම කරමින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

  5. අගමැති මෝදි 1996 දී ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් හමුවෙයි.

    මෙරට සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, 1996 දී ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් හමුවිය.

    ඡායාරූප මූලාශ්‍රය, Narendra Modi

    මෙරට සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, 1996දී ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් වුණා.

    X පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා පැවසුවේ, ඔවුන් හමුවීම සතුටක් බව යි.

    මෙම කණ්ඩායම අති මහත් ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ හදවත් දිනා ගත් බව ද අගමැති මෝදි පවසනවා.

    මේ අතර, ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොළඹ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයට ද පුෂ්පෝපහාර දැක්වූවා.

  6. අගමැති මෝදි දෙමළ දේශපාලන නියෝජිතයින් පිරිසක් හමුවෙයි

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද පස්වරුවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලනඥයින් පිරිසක් හමුවුණා.

    ඡායාරූප මූලාශ්‍රය, Narendra Modi

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද පස්වරුවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලනඥයින් පිරිසක් හමුවුණා.

    X පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවේ නායකයින් හමුවීම සැමවිට ම සතුටක් බවය.

    තමන් පෞද්ගලිකව දන්නා ගෞරවනීය දෙමළ නායකයින් වන ආර්. සම්බන්ධන් සහ මාවෙයි සේනාධිරාජාගේ අභාවය පිළිබඳව තම ශෝකය පළ කළ බවද එම පණිවිඩයේ දැක්වෙනවා.

    එක්සත් ශ්‍රී ලංකාව තුළ දෙමළ ප්‍රජාව සඳහා සමානාත්මතාවය, ගෞරවය සහ යුක්ති සහගත ජීවිතයක් සඳහා නොසැලෙන කැපවීම නැවත අවධාරණය කළ බවත්, තම සංචාරයේදී අරඹන ලද බොහෝ ව්‍යාපෘති සහ මුලපිරීම් ඔවුන්ගේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික ප්‍රගතියට දායක වනු ඇතැයි ද අගමැති මෝදි පවසනවා.

  7. අගමැති මෝදිගේ සංචාරයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂ ක්‍රියාකාරීන් විරෝධතාවක

    විරෝධතා

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හෙළා දකිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂ ක්‍රියාකාරීන් අද (2025 අප්‍රේල් 5 වන දා) පස්වරුවේ කොළඹදී විරෝධතාවයක නිරත වුණා.

  8. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි

    මෝදි සජිත්

    ඡායාරූප මූලාශ්‍රය, Narendra Modi

    ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණා.

    X පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා කියා සිටියේ, ඉන්දියා-ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ පෞද්ගලික දායකත්වය සහ කැපවීම අගය කළ බවය.

    ඉන්දියාවේ සුවිශේෂී හවුල්කාරිත්වයට ශ්‍රී ලංකාව තුළ පක්ෂ භේදයකින් තොරව සහයෝගය හිමි වන බව එම නිවේදනයේ දැක්වෙනවා.

    එමෙන්ම තම සහයෝගීතාවය සහ ශක්තිමත් සංවර්ධන හවුල්කාරිත්වයට මඟ පෙන්වන්නේ අප දෙරට ජනතාවගේ සුබ සිද්ධිය බවද අගමැති මෝදි එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

  9. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හුවමාරු කර ගත් ගිවිසුම් මොනවා ද?

    MoUs

    ඡායාරූප මූලාශ්‍රය, High Commission of India | X

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු දිනය වූ අද පෙරවරුවේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් වූයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් රැසක් හුවමාරු කර ගැනීම යි.

    එහිදී, බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් 7ක් හුවමාරු කර ගැනුණා.

    එම ගිවිසුම් පහතින් දැක්වේ.

    1. බලශක්ති හුවමාරු ගිවිසුම

    2. ඩිජිටල් සහයෝගිතා ගිවිසුම

    3. ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානය

    4. ආරක්ෂක සහයෝගිතා ගිවිසුම

    5. බහු ආංශික ප්‍රදාන සහයෝගය - නැගෙනහිර පළාත

    6. සෞඛ්‍ය සහ ඖෂධ ගිවිසුම

    7. ඖෂධ නියාමන සහයෝගිතාව

    ඊට අමතරව මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොළඹ සිට සාම්පූර් සූර්ය විදුලි බලාගාරය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සංකේතාත්මකව සිදු කළා.

    දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව ද මෙහිදී විවෘත කෙරුණා.

    තව ද ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන 5000කට වහල මත සවි කරන සූර්ය බල පද්ධති ප්‍රදානය කිරීම ද මෙහිදී සංකේතාත්මකව සිදු කෙරුණා.

    මෙම ගිවිසුම් පිළිබඳව වැඩිදුර දැන ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

  10. ඉන්දීය අගමැති මෝදි 'ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන' සම්මානයෙන් පිදුම් ලබයි

    'Sri Lanka Mitra Vibhushana'

    ඡායාරූප මූලාශ්‍රය, Narendra Modi | X

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානය ප්‍රදානය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක පියවර ගත්තා.

    ඒ, මෙම රාජ්‍ය නායකයින් විසින් පවත්වනු ලැබූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ය.

    "අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඒ ජනතාවට සැම විට ම ලබා දුන් ශ්‍රේෂ්ඨ මිත්‍රත්වයේ සහ නොබිඳුණු බහුවිධ සහයෝගයේ සංකේතයක් ලෙස විදේශීය රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළ ම ශ්‍රී ලාංකික ගෞරවය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානය එතුමාට ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව මා සතුටින් ප්‍රකාශ කරනවා," ජනාධිපති අනුර කුමාර එම සම්මානය ප්‍රදානය කරන බව සඳහන් කරමින් පැවසුවා.

  11. සාම්පූර් විදුලි ව්‍යාපෘතිය අරඹයි

    Opening Sampur project by Indian PM and SL President.

    ඡායාරූප මූලාශ්‍රය, High Commission of India | X

    ඉන්දියානු සහයෝගීතාවෙන් සිදු කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් අද (අප්‍රේල් 5) පෙරවරුවේ මාර්ගගත ක්‍රමයට ආරම්භ කිරීම සිදු වුණා.

    සාම්පූර් බලශක්ති ව්‍යාපෘතිය වසර 20කටත් වඩා වැඩි කාලයක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ ව්‍යාපෘතියක්.

    මෙහි මුල් සැලැස්ම වූයේ සාම්පූර් ප්‍රදේශයේ තාප විදුලි බලාගාරයක් ඉදිකිරීම.

    එහෙත් එවකට ජනතා විමුක්ති මෙරමුණ ප්‍රමුඛ තවත් සිවිල් සංවිධාන රැසක් ද එම තාප බලාගාර ව්‍යාපෘතියට එරෙහිව විරෝධය පළ කරනු ලැබුවේ, පාරිසරික ප්‍රශ්න හා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය වන බවට චෝදනා කරමින්.

    සාම්පූර් බලාගාරය ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා වසර 2002 තරම් ඈතකට විහිද යනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ, 2025 තම ආණ්ඩුව යටතේ එම සාකච්ඡා අවසන් කිරීමට හැකිවූ බව ය.

    ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා ඉන්දීය අග්‍රමාත්‍යවරයා අද මුල්ගල් තැබුව ද, මෙම ව්‍යාපෘතියට එරෙහිව ඇති ජනතා විරෝධය මෙතෙක් අවසන් වී නොමැත.

    අප්‍රේල් 5 වන දා ද සාම්පූර් ප්‍රදේශෙය් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉඩම අසලට රැස්වූ ප්‍රදේශවාසීන් පිරිසක් තම ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව විරෝධය පළ කළා.

    ආන්දෝලනාත්මක සාම්පූර් විදුලි ව්‍යාපෘතිය වසර 20ක් පුරා ප්‍රමාද වූයේ ඇයි? මේ ගැන කියවන්නන මෙතැනින් පිවිසෙන්න.

  12. ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්විපාර්ශවික ගිවිසුම් හුවමාරු කර ගැනීම ඇරඹේ

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පවත්වනු ලබන ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්විපාර්ශවික ගිවිසුම් හුවමාරු කර ගැනීම මීට සුළු වේලාවකට පෙර ඇරඹිණි.

    Skip YouTube post
    Google YouTube අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

    මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

    අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ. YouTube අන්තර්ගතයේ දැන්වීම් අඩංගු විය හැකි ය.

    End of YouTube post

  13. ජනපති සහ ඉන්දීය අගමැති අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹේ

    මෝදි

    ඡායාරූප මූලාශ්‍රය, PMD

    ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා මේවන විට ආරම්භ වී තිබෙනවා.

    සාකච්ඡා පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීයි.

  14. ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයට සමගාමීව බීබීසී සිංහල පළ කළ ලිපි

  15. ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද්ධ නෞකාව දිවයිනට

    නැව

    ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy

    ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද්ධ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

    මෙම නෞකාව මෙරටට පැමිණියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතරවාරයේදී ය.

    මෙලෙස දිවයිනට පැමිණි ෆ්‍රිගේට් වර්ගයේ යුද්ධ නෞකාවක් වන ‘INS SAHYADRI’, දිගින් මීටර් 143ක් හා නැව්මුළුව 320ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් රාජත් කුමාර් (Captain Rajat Kumar) කටයුතු කරනවා.

    ‘INS SAHYADRI’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහ දිවයිනේ ආකර්ෂණිය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහභාගි වීමට නියමිත බව නාවික හමුදාව පවසනවා.

    තව ද, නිල සංචාරය අවසන් කරමින් ‘INS SAHYADRI’ නෞකාව අප්‍රේල් මස 7 වන දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

  16. අගමැති මෝදි ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා ජනාධිපති කාර්යාලයට

    PM Modi Leaves

    ඡායාරූප මූලාශ්‍රය, PMD

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි පිළි ගැනීමේ උත්සවය පෙරවරු 9.30ට නිමා විය.

    අනතුරුව ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලය බලා පටත්ව ගියා.

    නිදහස් චතුරශ්‍රයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් පැවැත්වුණා.

  17. 'පළමුව අසල්වැසියා'

    මෑතකාලීනව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා 'පළමුව අසල්වැසියා' යන ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන අග්‍රාමාත්‍ය මෝදිගේ පාලන සමය තුළ ඉහළ නැංවී තිබෙනවා.

    කොවිඩ් වසංගත සමයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් පළමුව ප්‍රදානය කරමින් ඉන්දියාව එම භූමිකාව නිරූපණය කළා.

    අනතුරුව 2022 වසරේදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන, ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 4කට ආසන්න ආධාර මෙරටට පරිත්‍යාග කළා.

    ආර්ථික අර්බුදය මධ්‍යයේ, 2023 මැයි මස ශ්‍රී ලංකා සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් නව දිල්ලි නුවරදී පැවතී උත්සවයකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ප්‍රකාශ කර තිබුණේ, "ලේ ජලයට වඩා ඝනකමයි" යන කාරණය නිසා, දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ඉන්දියාවට ස්වාභාවික දෙයක් වන බව යි.

    "ලේ වතුරට වඩා ඝනයි. මේ ඉතා දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ස්වාභාවික යි," ජයිශංකර් එහිදී පැවසුවා.

  18. ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය ඇරඹේ

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවයේ විශේෂ අවස්ථා

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි පිළි ගැනීමේ නිල උත්සවය මේවන විට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

    නිදහස් චතුරශ්‍රයට පැමිණ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

  19. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය ඇරඹීමට සූදානම්

    සුබ උදෑසනක්!

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය ආරම්භ කිරීම සඳහා මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

    මේවන විට ජනාධිපති අනුර කුමාර දිසානායක නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට පැමිණ තිබේ.

    ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

  20. මෝදිගේ සිව්වන ශ්‍රී ලංකා සංචාරය

    Indian PM

    ඡායාරූප මූලාශ්‍රය, High Commission of India, Colombo

    ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අප්‍රේල් අද (අප්‍රේල් 4) සිට 6 වන දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා.

    මේ, ඔහුගේ සිව්වන ශ්‍රී ලංකා සංචාරය යි. අගමැති මෝදි යනු, සිය ධූර කාලය තුළ සිව්වරක් ශ්‍රී ලංකාවට පැමිණි පළමු ඉන්දීය අග්‍රමාත්‍යවරයා යි.

    තායිලන්තයේ බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ඔහු මෙලෙස ශ්‍රී ලංකාව පැමිණි යා. මෙවර ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව යි.

    මෙම සංචාරයේදී, අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක ධූරයට පත්වීමෙන් පසු සිය පළමු රාජ්‍ය සංචාරය ලෙස ඉන්දියාවට ගිය අතර, දෙවන සංචාරය ලෙස චීනයටත් තුන් වන සංචාරය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙතත් සිදු කළා.

    තම ඉන්දීය සංචාරය තුළදී මෙරට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රමාත්‍යවරයාට ආරාධනා කර තිබුණා.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙවර තායිලන්තයේ සහ ශ්‍රී ලංකා සංචාරයේ නිරත වන්නේ, 'පළමුව අසල්වැසියා' සහ ඉන්දු-පැසිෆික් කලාපයේ දැක්ම කෙරෙහි ඇති සිය කැපවීම නැවත තහවුරු කරන ඉන්දියාවේ 'Act East' (ඇක්ට් ඊස්ට්) සහ 'Mahasagar' (මහාසාගර්) යන ප්‍රතිපත්තිවලට අනුකූලව යි.