ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හුවමාරු කර ගත් ගිවිසුම් මොනවා ද?

Exchanging agreements.

ඡායාරූප මූලාශ්‍රය, PMD

    • Author, බීබීසී සිංහල

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් වූයේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් රැසක් හුවමාරු කර ගැනීම ය.

එහිදී, බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් 7ක් හුවමාරු කර ගැනිණි.

ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් අප්‍රේල් 8 වන දා පාර්ලිමේන්තුවේදී ඒවායේ අන්තර්ගතය පිළිබඳව ප්‍රකාශ කරනු ලැබුවේ ය.

එහිදී ඔහු සඳහන් කළේ, මෙම අවබෝධතා ගිවිසුම් නීතිපතිවරයා වෙත යොමු කර ඔහුගේ අනුමැතිය ලබා ගෙන ඇති බව ය.

එමෙන් ම මෙම ගිවිසුම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, අදාළ අමාත්‍යංශ වෙත ද ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඒවාට අත්සන් තැබූ බව අමාත්‍යවරයා පැවසීය.

මෙම ගිවිසුම්වල ස්වභාවය පැහැදිලි කරමින් ඔහු පැවසුවේ, ඒවා "දෙරට අතර නීතිමය බැඳීමකට වඩා, දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය සහ ඒ කටයුතු කිරීම සඳහා වෙච්ච පුළුල් බැඳියාවක් ඇති කර ගැනීමක් පමණයි," යනුවෙනි.

"ඕනෑ ම මොහොතකදී රටවල් දෙකෙන් එකකට මේ ගිවිසුම්වලින් ඉවත් වීමේ හැකියාව තියෙනවා. මාස 3කට පෙරාතුව දැනුම් දීලා ඒ ගිවිසුම්වලින් ඉවත් වෙන්න පුළුවන්. සමහර අවබෝධතා ගිවිසුම් තියෙනවා, වසර 3කට, වසර 5කට බලපැවැත්වෙන පරිදි අත්සන් කරලා තියෙනවා," අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

1. බලශක්ති හුවමාරු ගිවිසුම

දෙපාර්ශවය අතර හුවමාරු කර ගත් පළමු අවබෝධතා ගිවිසුම වූයේ, දෙරට අතර බලශක්ති හුවමාරු ගිවිසුම යි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බලශක්ති ආනයනය සහ අපනයනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් මෙම සංචාරයේදී හුවමාරු විය.

මෙය සිදුවූයේ, ශ්‍රී ලංකා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සහ ඉන්දියාවේ විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිශ්‍රි අතර ය.

මෙම ගිවිසුම පිළිබඳව පැහැදිලි කරමින් අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ, මෙරට නිෂ්පාදනය කරන අතිරික්ත විදුලිය ඉන්දියාවට අපනයනය කිරීමට මෙමගින් හැකි වනු ඇති බව ය.

"ඉන්දියාවේ මදුරෙයි දක්වා අපේ විදුලි බල පද්ධතිය, grid connection එක ඇති කිරීම සඳහා වන ව්‍යාපෘතිය. මේක HDVC කියන, අධිවෝල්ටීය සරල ධාරා අන්තර් සම්බන්ධතාව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම.

මේකෙදි වෙන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන අතිරික්ත විදුලිය තියෙනවා නම්, අදට අපේ අතිරික්තයක් නැහැ, නමුත් අපිට එවැනි සැලසුම් තියෙනවා. ව්‍යාපෘති තියෙනවා. ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කළාට පස්සේ, අතිරික්තය අපිට ඉන්දියාවට අපනයන කරන්න පුළුවන්. ඒ වගේ ම බිම්ස්ටෙක්, ඒ කලාපයේ රටවල්වලට අපනයනය කරන්නත් අපිට ඒ හරහා ප්‍රවේශය ලබා ගන්නත් පුළුවන්," ඔහු පැවසීය.

එහි කටයුතු අවසන් කිරීමට තවත් පියවර "ගණනාවක්" ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනීම "අනිවාර්ය නොවන" බව ඔහු පැවසීය.

"අපිට අනවශ්‍ය නම්, ඕනේ වෙලාවට ආනයනය නොකර ඉන්න පුළුවන්."

"ඉන්දියාවට ඕනේ විදිහට ස්විච් එක ඕෆ් කළා ම මෙහේ කළුවරේ ඉන්න තත්ත්වයක් මේකෙන් ඇතිවෙන්නේ නැහැ. අපිට විදුලිය හිඟතාවක් තියෙනවා නම් විතරයි අපි විදුලිය ආනයනය කරන්නේ. අපිට වැඩි විදුලිය ප්‍රමාණයක් තියෙනවා නම් ඉන්දියාවට අපනයනය කරන්න එකඟතාවක් තියෙනවා," ඔහු පැහැදිලි කළේ ය.

"අපේ බලශක්ති සෛවරීත්වය ඉන්දියාවට පාවා දීමක් මෙම ගිවිසුම හරහා කිසි සේත් ම සිද්ධ වෙන්නේ නැහැ," අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

2. ඩිජිටල් සහයෝගිතා ගිවිසුම

ශ්‍රී ලංකාව තුළ සාර්ථක ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා සහයෝගය ලබා දීමේ අරමුණින් මෙම ගිවිසුම හුවමාරු කර ගැනිණි.

මෙම ගිවිසුම අත්සන් තැබුණේ, ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික් සහ තොරතුරු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය අතර ය.

ශ්‍රී ලංකා පාර්ශවයෙන් ශ්‍රී ලංකා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සහ ඉන්දියාව නියෝජනය කරමින් විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිශ්‍රි ඊට එක්වූහ.

අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ, ඩිජිටල්කරණය පිළිබඳව ඉන්දියාව සතු දැනුම ලබා ගැනීමට මෙම අවබෝධතා ගිවිසුමට එළඹි බව ය.

"ඩිජිටල්කරණය පිළිබඳව විශාල දියුණුවක් ඉන්දියාව ලබා ගෙන තියෙනවා. අද ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල කටයුතු සිද්ධ කරන්නේ, ඩිජිටල් තාක්ෂණය හරහා. මුදල් ගනුදෙනුව සහ අනෙක් ගොඩක් දේවල් එතනට ගිහිල්ලා තියෙනවා. ඒ තාක්ෂණය අපිට ලබා ගැනීම සඳහා ඉන්දියාව එක්ක අවබෝධතා ගිවිසුමකට අපි ආවා."

3. ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානය

ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානය වෙනුවෙන් මෙම සංචාරයේදී ත්‍රෛපාර්ශවික අවබෝධතා ගිවිසුමක් ද හුවමාරු කර ගැනිණි.

ඒ, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ය.

ශ්‍රී ලංකා පාර්ශවයෙන් ශ්‍රී ලංකා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සහ ඉන්දියාව නියෝජනය කරමින් විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිශ්‍රි ඊට එක්වූ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් ඛලීඩ් නසාර් සහභාගි විය.

මෙම ගිවිසුම පිළිබඳව ද අමාත්‍ය විජිත හේරත් අප්‍රේල් 8 වන දා පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීය.

"ඒකෙදි අපි ඉතා පැහැදිලිව බලාපොරොත්තු වෙන්නේ, තෙල් සහ ගෑස් ආනයනය කරලා, ගබඩා කරලා, රට අභ්‍යන්තරයට බෙදා හරින්නත්, ඒ වගේ ම, හැකියාවක් තියෙනවා නම්, බංකරින් සේවය (මුහුදේ ගමන් කරන නැව් සඳහා තෙල් ලබා දීම) සඳහා යොදා ගැනීමත්," එම ගිවිසුම ක්‍රියාවට නැංවෙන ආකාරය ඔහු පැහැදිලි කළේ ය.

කෙසේ වෙතත්, මෙම ගිවිසුමේ ශ්‍රී ලංකාවට තෙල් ගෙන්වන ක්‍රමවේදය (නළ මාර්ගයෙන්, මුහුදු මාර්ගය ආදිය) පිළිබඳව අවසන් නිගමනයට එළඹ නොමැති බව ත් එය සාකච්ඡාවට විවෘත බව ත් අමාත්‍යවරයා පැවසීය.

ඊට අමතරව "දිරාපත්වෙමින් පවතින ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි 85කට ආසන්න ගණන" ප්‍රතිසංස්කරණය කර ගබඩා පහසුකම් ඇති කිරීමට ද මෙම ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේ ය.

තව ද ත්‍රිකුණාමලය තුළ පිරිපහදුවක් ඉදි කිරීම පිළිබඳව ලියවිල්ලක් මෙම ගිවිසුමේ සඳහන් බව ද තවදුරටත් ඔහු පැවසීය.

4. ආරක්ෂක සහයෝගිතා ගිවිසුම

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් ද මෙම සංචාරයේදී හුවමාරු කර ගැනිණි.

එය ගිවිසුම හුවමාරු කර ගත්තේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා සහ ඉන්දියාව නියෝජනය කරමින් විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිශ්‍රි යන දෙදෙනා ය.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හරහා "දෙරට අතර හමුදා නිලධාරීන් හුවමාරුව, පුහුණු කිරීම, හමුදාවන් අතර කාර්ය මණ්ඩල සාකච්ඡා, තොරතුරු හුවමාරුව, බුද්ධිමය දේපළ අයිතීන්, ආරක්ෂක කර්මාන්තය සහ ආරක්ෂක තාක්ෂණ පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගිතාව ආදී කටයුතු" සිද්ධ වන බව අමාත්‍ය විජිත හේරත් පැවසීය.

"ඒ කියන්නේ මේකෙන් වෙන්නේ ඇත්තට ම දැනටමත් සිද්ධ වෙන දේ. මේකෙදි වෙන්නේ මේ පුහුණු කිරීම් සහ ඒ සහයෝගිතා වැඩසටහන් ඉදිරියට ගෙන යාමට එකඟතාවකට පැමිණීම," අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

ඊට අමතරව ත්‍රස්තවාදය, මිනිස් ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ආදී අනීතික කටයුතු පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම ද මේ හරහා සිදුවන බව ඔහු පෙන්වා දුන්නේ ය.

"අපේ භූමිය ඉන්දියානු රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන විදිහට අපි පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒක ප්‍රතිපත්තියක් විදිහට අපි පිළිගන්න දේ. මේ අවබෝධතාවයේ අපි ඒක සඳහන් කරලා තියෙනවා," ඔහු පැවසීය.

"මේ හරහා අපේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ නැහැ," අමාත්‍යවරයා අවධාරණයේ කළේ ය.

5. බහු ආංශික ප්‍රදාන සහයෝගය - නැගෙනහිර පළාත

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ බහු ආංශික ප්‍රදාන සහයෝගිතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් මෙම සංචාරයේදී හුවමාරු කර ගැනිණි.

මේ සඳහා එක්වූයේ, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතුෂ් ජා යන නිලධාරීන් ය.

නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම, අධ්‍යාපන, ධීවර, සෞඛ්‍යය ආදී ව්‍යාපෘති 33කට රු. කෝටි 240කට ආසන්න ආධාර මුදලක් ලබා දීමට ඒ අනුව ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුමකට එළඹි බව අමාත්‍ය විජිත හේරත් අප්‍රේල් 8 වන දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

6. සෞඛ්‍ය සහ ඖෂධ ගිවිසුම

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ඖෂධ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ද මෙම සංචාරයේදී දෙපර්ශවය අතර හුවමාරු කර ගැනිණි.

ඒ, ඉන්දියාවේ සෞඛ්‍ය සහ පවුල් ශුභසාධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යංශය අතර ය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් සංතුෂ් ජා ඊට එක්වූහ.

"මේ ගිවිසුමේ තියෙන්නේ, දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් පුහුණු කිරීම, ඒ වගේ ම විවිධ පර්යේෂණවල තියෙන අලුත් දේවල් හුවමාරු කර ගැනීම. අන්‍යෝන්‍ය හුවමාරුව සහ පුහුණුව පිළිබඳ එකඟතාවක් තමයි මේකේ තියෙන්නේ," අමාත්‍ය විජිත හේරත් පැහැදිලි කළේ ය.

7. ඖෂධ නියාමන සහයෝගිතාව

ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන සහයෝගිතාව වෙනුවෙන් ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමක් ද මෙම සංචාරයේදී හුවමාරු විය.

එම ගිවිසුම ද හුවමාරු කර ගත්තේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් සංතුෂ් ජා ය.

අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ, එය ඉන්දියාවේ ෆාමකෝපියා කොමිසම (Indian Pharmacopoeia Commission) සහ මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර එළඹි අවබෝධතා ගිවිසුමක් බව ය.

එමගින් ඉන්දියාවේ ෆාමකෝපියා කොමිසම මෙරට තුළ පිළිගැනීමට ලක්වන බව ඔහු පෙන්වා දුන්නේ ය.

"මේකේ ප්‍රධාන ඉලක්කය ගත්තොත්, දැනටමත් අපි ඉන්දියාවෙන් ඖෂධ වර්ග ගෙන්නනවා අපේ මුළු බෙහෙත් අවශ්‍යතාවෙන් 80%කට ම. වැඩි ම ප්‍රමාණයක් අපි ඉන්දියාවෙන් ගේන්නේ.

"එතකොට ඒ ගෙන්වන ඖෂධවල ගුණාත්මක තත්ත්වය සහ ආරක්ෂණ තත්ත්වය පිළිබඳව සහතිකයක් ඕනේ. දැනට අපි ලංකාවේ NMRA එක හරහා, ඒ කටයුත්ත සිද්ධ වෙමින් තියෙනවා.

"දැන් මේ ගිවිසුමෙන් වෙන්නේ, ඉන්දියාවේ ෆාමකෝපියා කොමිසම අපි මෙතෙක් කල් පිළිගත්තේ නැහැ. නමුත් මේ ගිවිසුමෙන් පිළිගන්නවා," අමාත්‍යවරයා පැවසීය.

එමගින් ශ්‍රී ලංකාවට අඩු මිලට මෙන් ම ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ ලබා ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

"අනිවාර්යයෙන් ඉන්දියාවෙන් බෙහෙත් ගේන්න ඕනේ කියලා එකක් මේ ගිවිසුම්වල නැහැ." අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ව්‍යාපෘති ආරම්භ කිරීම් සහ විවෘත කිරීම්

මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොළඹ සිට සාම්පූර් සූර්ය විදුලි බලාගාරය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සංකේතාත්මකව සිදු කළේ ය.

සාම්පූර්හි ඉදිකෙරන සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් සංකේතාත්මකව ආරම්භ කළ අතර, එය සාම්පූර්හි අක්කර 500ක් පුරා පැතිරෙන මෙගාවොට් 50ක විදුලි බලය නිෂ්පාදනය කෙරෙන ව්‍යාපෘතියකි.

ඊට අමතරව, දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව ද මෙහිදී විවෘත කෙරිණි.

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් මෙය ඉදිකර තිබේ.

ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන 5000කට වහල මත සවි කරන සූර්ය බල පද්ධති ප්‍රදානය කිරීම ද මෙහිදී සංකේතාත්මකව සිදු කෙරිණි.

ඉන්දියාවෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක ප්‍රදානයන්ගෙන් දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සහ ඉස්ලාම් ආගමික ස්ථාන 5000ක් මෙමගින් ආවරණය කෙරෙනු ඇත.