RTI: ඉන්දියානු ගිවිසුම් ගැන තොරතුරු ඉල්ලා දින 23යි; අමාත්‍යංශවලින් කිසිදු ප්‍රතිචාරයක් නැහැ

Presiden Anura and Prime Minister Modi

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය අප්‍රේල් 04 සිට 06 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ යෙදී සිටි නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් 7ක් හුවමාරු කරගන්නා ලදී.

බලශක්ති හුවමාරු ගිවිසුම, ඩිජිටල් සහයෝගිතා ගිවිසුම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානය, ආරක්ෂක සහයෝගිතා ගිවිසුම, බහු ආංශික ප්‍රදාන සහයෝගය - නැගෙනහිර පළාත, සෞඛ්‍ය සහ ඖෂධ ගිවිසුම, ඖෂධ නියාමන සහයෝගිතාව යන ගිවිසුම් හුවමාරු කරගැනීම එහිදී සිදුවිය.

ගිවිසුම්වල ඇත්තේ මොනවා ද?

මෙම ගිවිසුම් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර, ඒවා අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයට හෝ නීතිපතිවරයාට යොමු කර නොමැති බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය.

එහිදී විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මෙම ගිවිසුම් සභාගත කරන ලෙස ඉල්ලා සිටීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර, අමාත්‍ය විජිත හේරත් පැවසුවේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත හරහා අවශ්‍ය පුද්ගලයන්ට මෙම ගිවිසුම් ඉල්ලීමට හැකි බව ය.

ඒ අනුව විවිධ පාර්ශවයන් තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකම යටතේ මෙම පනත් ඉල්ලා තොරතුරු ඉල්ලීම් ගොනු කර තිබිණි.

ප්‍රතිචාරයක් නොමැති තොරතුරු ඉල්ලීම්

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙම ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම් කර ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තුවේදී පැවසු අප්‍රේල් 08 වන දින ම ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරය අතරතුර ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර හුවමාරු කරගත් ගිවිසුම්වල පිටපත් ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන් සහ මෙම එක් එක් ගිවිසුම නීතිපතිවරයාට යොමු කළ දිනය සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ දිනය සහ එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ දිනයන් ලබා දෙන ලෙස ඉල්ලා මා විසින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයට විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ඉල්ලීමක් සිදු කරන ලදී.

කෙසේ නමුත් අප්‍රේල් 21 වන දින එම අමත්‍යංශයේ තොරතුරු නිලධාරියා විසින් ඒවා තිබූ ලිපියක දැක්වුණේ එක් එක් ගිවිසුමේ විෂය පථයට අදාළ අමාත්‍යංශවලට නැවත එම තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසට ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඒ අනුව නැවත මා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ විද්‍යුත් තැපැල් ලිපිනයන් වන info@health.gov.lk හා info@media.gov.lk යන ඒවාට ද , ආරක්ෂක අමාත්‍යංශයේ dymindef@defence.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට ද, බලශක්ති අමාත්‍යංශයේ info@powermin.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය ට ද අප්‍රේල් 30 වන දින නැවත තොරතුරු ඉල්ලීම් සිදු කරන ලදී.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ අනුව එම අමාත්‍යංශවල තොරතුරු නිලධාරීන් විසින් දින 14ක කාලයක් ඇතුළත තොරතුරු ලබා දෙන්නේ ද නොදෙන්නේ ද යන්න දැනුම්දිය යුතු වුව ද එම ඉල්ලීම් සිදු කර රජයේ කාර්යායලීය දින 14කට පසුවත් එම කිසිඳු අමාත්‍යංශයක තොරතුරු නිලධාරියෙකු මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

තොරතුරු දැනගැනීමේ පනතේ 24 වන වගන්තියේ (3) යටතේ ඇති පරිදි පුරවැසියෙකු තොරතුරු ඉල්ලීමක් සිදුකළ පසු එම ඉල්ලීම ලැබුණු බවට තොරතුරු නිලධාරියා විසින් හැකි ඉක්මනින් ලිඛිත දැනුම්දීමක් සිදුකළ යුතු ය.

ඒ අනුව මේ වන විට තොරතුරු ඉල්ලීම සිදුකර කාර්යාලයීය දින 23ක් ගත ව ඇතත් කිසිඳු අමාත්‍යංශයක තොරතුරු නිලධාරියෙකු මෙම තොරතුරු ඉල්ලීම ලැබුණු බවට ප්‍රතිචාර දක්වා නැත.

මෙහිදී අවම වශයෙන් තොරතුරු ලබා නොදෙන්නේ නම් තොරතුරු නිලධාරීන් විසින් ඒ බව පනතේ 28 වන වගන්තියට අනුව ඒ බව මා හට දැන්විය යුතු වුව ද ඒ බව ද මෙතෙක් දන්වා නොමැත.

ඒ අනුව පනතේ 31 වන වගන්තියේ (උ) යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශය යන අමාත්‍යංශවල නම් කළ නිලධාරීන් වෙත මාගේ මූලික අයිතිවාසිකමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ සිදුකළ තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ජූනි 05 වන දින අභියාචනා විද්‍යුත් තැපෑල හරහා යවා තිබේ.

අද සිට දින තුනක් ඇතුළත මෙම අමාත්‍යංශවල නම් කළ නිලධාරීන් විසින් මෙම අභියාචනය ලැබුණු බවට දැන්විය යුතු අතර, සති තුනක කාලයක් ඇතුළත ගිවිසුම් ලබා දෙන්නේ ද නොදෙන්නේ ද යන්න දන්වා එවිය යුතු වේ.

පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ සිදු කළ තොරතුරු ඉල්ලීමකට තොරතුරු ලබාදීම යම් අයෙකු හිතා මතා ම අවහිර කරන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනතට අනුව එය වරදක් වේ.

එවැනි අයෙකුට රු. 50,000ක දඩ මුදලක් සහ සිර දඬුවම් නියම කිරීමේ හැකියාව ද පවතියි.

එමෙන් ම ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමේ හැකියාව ද පවතියි.