මිග්, Airbus, CSN, හෙලෝකෝප් විමර්ශනවලට සිදුවෙමින් තිබෙන්නේ කුමක් ද?

2005 - 2015 රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බව කියන මහත් ආන්දෝලනයකට තුඩුදුන් දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන යළි ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Air Force

    • Author, බීබීසී සිංහල

2005 - 2015 රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බව කියන මහත් ආන්දෝලනයකට තුඩුදුන් දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන යළි ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන තිබේ.

මහජන මුදල් අවභාවිතාවට ලක්වූ බව කියන එම ක්‍රියා සම්බන්ධයෙන් අදාළ කාලය තුළ ජනමාධ්‍ය, විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙන් ම සිවිල් සංවිධාන විසින් දැඩි දෝෂාරෝපණ එල්ල කරනු ලැබුව ද එම පාලන සමය තුළ ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු නොවීය.

අනතුරුව 2015 වසරේ බලයට පත්වූ යහපාලන රජය එවැනි දැඩි ආන්දෝලනාත්මක දූෂණ චෝදනා එල්ල වූ සිද්ධි කීපයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ ය.

එසේ ආරම්භ කෙරුණු විමර්ශන සහ අද වන විට ඒවාට සිදුව ඇත්තේ කුමක් ද?

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට එරෙහි මුදල් අවභාවිතා චෝදනා

මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කළ ජාලිය වික්‍රමසූරිය කළ බව කියන මූල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් 2015 වසරේ බලයට පත්වූ යහපාලන රජය සමයේ විමර්ශන ආරම්භ විය.

2013 වසරේ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිල දී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට අයත් ඇමෙරිකානු ඩොලර් 333,027ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කළේ ය.

ඉන් අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ජාලිය වික්‍රමසූරිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කොට මාස කිහිපයකට පසු ඇප මත මුදා හරිනු ලැබිණි.

ඉන් අනතුරුව පෞද්ගලික කරුණක් සඳහා තමන්ට ඇමෙරිකාවේ සංචාරය කිරීමක් අවශ්‍ය බවට ජාලිය වික්‍රමසූරිය කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැඩි කොන්දේසි සහිතව ඔහුට රටින් බැහැරව යාම සඳහා අවසර ලබා දුන්නේ ය.

මෙසේ රටින් බැහැර වූ ජාලිය වික්‍රමසූරිය මේ දක්වා යළි අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

මේ අතර, මෙම චෝදනාව සම්බන්ධයෙන් මේ දක්වා ජාලිය වික්‍රමසූරියට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කර නොමැත.

Airbus ගනුදෙනුවට අදාළ දූෂණ චෝදනා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට, Airbus ගුවන් යානා මිල දී ගැනීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් යහපාලන රජය සමයේ විමර්ශන සිදුකෙරිණි.

2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිල දී ගැනීමේදී එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේකර සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක යන අය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබා ගනු ලැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන කළේ ය.

ඉන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේකර සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කොට පසුව ඇප මත මුදාහරින ලදී.

යහපාලන රජය සමයේ ආරම්භ වූ මෙම විමර්ශනයට මේ වන විට වසර අටකට ආසන්න කාලයක් ගත වී තිබුණ ද මෙම සැකකරුවන්ට එරෙහිව මේ දක්වා අධිචෝදනා ගොනු කිරීමක් සිදු නොවීය.

එහෙත්, වත්මන් ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළ විමර්ශනය යළි ආරම්භ කළ අතර, ඊට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් පසුගිය දා ප්‍රශ්න කර ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක ගුවන් යානා මිල දී ගැනීමේ ගනුදෙනුව

2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ප්‍රහාරක මිග් ගුවන් යානා මිල දී ගැනීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂගේ රජය සමයේ චෝදනා එල්ල වූ අතර, 2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව මෙම ගුවන් යානා මිල දී ගැනීමේදී සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කරනු ලැබී ය.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු එම විමර්ශනවලට අවශ්‍ය නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කළහ.

ඒ යටතේ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ගණනාවකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් එම පොලිස් කොට්ඨාසයේ නිලධාරීහු, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සැකකරුවෙකු වශයෙන් නම් කළහ.

මෙම විමර්ශනවලදී අනාවරණය වූ ඉතා වැදගත් ම කරුණ වූයේ, මෙම ප්‍රහාරක ගුවන් යානා මිල දී ගැනීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ යුක්‍රේන ගුවන් යානා නිෂ්පාදන සමාගම අතර ඇති කර ගත් ගිවිසුමේ මුල් පිටපත අස්ථානගත වී තිබීම ය.

මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

එහෙත්, 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග ම විමර්ශන ඉදිරියට යාමක් දක්නට නොලැබිණි.

මීට අදාළව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේ, විමර්ශන ගොනු උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ය.

වත්මන් ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් පසුව මෙම සිද්ධියට අදාළ විමර්ශන යළි ආරම්භ කර තිබේ.

CSN රූපවාහිනී නාලිකාව හා බැඳුණු මුදල් විශුද්ධිකරණ චෝදනා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් අයථා ලෙස උපයා ගත් ගත් බව කියන මුදල් CSN රූපවාහිනී සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ විමර්ශන ආරම්භ විය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එම විමර්ශනය සිදුකළ අතර ඊට අදාළව 2016 වසරේ යෝෂිත රාජපක්ෂ සැකපිට අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

ඉන් අනතුරුව සති කිහිපයකින් පසුව කොළඹ මහාධිකරණය යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරීමට ද නියෝගයක් නිකුත් කළේ ය.

මෙම අපරාධ විමර්ශනය ආරම්භ වී වසර දහයකට ආසන්න කාලයක් ගත වී තිබුණ ද ඊට සම්බන්ධ විත්තිකරුවන්ට එරෙහිව මේ දක්වා අධිචෝදනා ගොනු කිරීමක් සිදුවී නොමැත.

නාමල් රාජපක්ෂට එරෙහි 'හෙලෝකෝප්' විමර්ශනය

2010 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වූ නාමල් රාජපක්ෂ අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සහ එන්.ආර්. කන්සල්ටන්සි යන සමාගම්වල ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ තවත් විමර්ශනයක් ආරම්භ විය.

එම විමර්ශනයට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන රජය සමයේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් පස් දෙනෙක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරිනු ලැබූහ.

ඉන් අනතුරුව මෙම විමර්ශනවලට අදාළව ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග විමසා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නඩු ගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම නඩුව ඉකුත්දා කොළඹ මහේස්ත්‍රාත් අධකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ය.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර වසර දහයකට ආසන්න කාලයක් ගත වී තිබුණත් මේ දක්වා විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර නොමැත.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර සිද්ධිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ඉදිකෙරුණු ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ද එම වකවානුවේ චෝදනා එල්ල කර තිබිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ දෙමව්පියන් සිහිපත් කිරීම සඳහා මහජන මුදලින් මෙවැනි කෞතුකාගාරයක් ඉදිකිරීම යුක්තිසහගත නොවන බව එම චෝදනාවලට පදනම විය.

හම්බන්තොට, මැදමුලන ප්‍රදේශයේ ඉදිකෙරුණු එම කෞතුකාගාරය සම්බන්ධයෙන් 2015 වසරේ බලයට පත්වූ යහපාලන රජය විමර්ශනයක් ආරම්භ කළේය.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අරමුදල් හා සම්පත් යොදවා ගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන කළේ ය.

එම විමර්ශනවලින් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙන් ම පසුව ජනාධිපති ධූරයට ද පත්වූ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි නඩු පැවරීය.

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී තමන් යටතේ පාලනය වූ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් වැය කර හම්බන්තොට, මැද මූලන ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.

මෙම නඩුවට අදාළ අධිචෝදනා පත්‍ර ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට භාර දීමෙන් අනතුරුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩු විභාගය ආරම්භ කිරීමට දින නියම කළේ ය.

එම චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් ඒවා නිෂ්ප්‍රභ කොට තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මූලික විරෝධතා ගොනු කළේ ය.

එහෙත්, එම මූලික විරෝධතා පිළිබඳව විභාගයක් පැවැත්වූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විරෝධතා නිෂ්ප්‍රභ කොට නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තීන්දු කළේ ය.

තමන් විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩු විභාගය ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බලරහිත කරන ලෙසත් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.

එම අභියාචනය විභාග කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම අභියාචනා විභාගය අවසන් වන තෙක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

මෙම නඩු විභාගය පැවැත්වෙන අතර වාරයේ 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය.

ඉන් අනතුරුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඉල්ලීමක් කළ නීතිපතිවරයා අදාළ නඩුවේ පළමු වන විත්තිකරු වශයෙන් නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්ව සිටින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා දුන්නේ ය.

එම කරුණු දැක්වීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ එම නඩුවෙන් ඉවත් කිරීමට තීන්දු කළේ ය.

ඉන් අනතුරුව එම නඩුවේ සෙසු විත්තිකරුවන් ද වරින් වර නිදහස් කිරීමෙන් අනතුරුව නඩු විභාගය අවසන් විය.