රේගු පරීක්ෂාවක් නොකර බහාලුම් 309ක් නිදහස් කිරීම ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවෙන් හෙළිකළ කරුණු

ඡායාරූප මූලාශ්‍රය, SCREENSHOT
- Author, බීබීසී සිංහල
ආනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක් කමිටුවක් පත් කරනු ලැබූ අතර එහි වාර්තාව සම්බන්ධයෙන් අද දිනයේ (ජූනි 30) පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති විය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ අතර, එය සභාගත කරමින් ඔහු පැවසුවේ, එය ජනාධිපතිවරයා විසින් අදාළ කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරනු ලැබූ කමිටුවේ වාර්තාව බව ය.
'ඔබතුමාලා කරන්නේ නැති නිසා අපි හරි මේ වාර්තා ගෙනල්ලා සභාගත කරන්න ඕනේ'
"ජනවාරි මාසේ විශේෂයෙන් ම රේගුවේ තදබදයක් ඇති වෙලා විශාල ආන්දෝලනාත්මක සිදුවීමක් සිදුවුණා. ඒ තමයි රේගුවේ තිබුණු බහාලුම් 323ක් රේගුවෙන් පිට කළා කියන චෝදනාව. ඒ චෝදනාව එල්ල වුණා ම විශේෂයෙන් ම ඒ චෝදනාව පරීක්ෂා කරන්න ජනාධිපතිතුමා යම් කමිටුවක් පත් කළා. කමිටුව පත් කළේ ජනවාරි 30 වැනිදා 2025," මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවේ ය.
"දැන් මේ කමිටුව තමයි ජනාධිපතිතුමා පත් කළේ, මේකෙදි 323ක් බහාලුම් පිටමන් කිරීමේ ප්‍රශ්නය පිළිබඳව පරීක්ෂා කරලා වාර්තාවක් ඉදිරපත් කරන්න කියලා. ඒ කමිටුව 2025 පස් වෙනි මාසේ 21වෙනි දා දක්වා රැස්වෙලා තියෙනවා. රැස්වෙලා ජනාධිපතිතුමාට 2025 ජූනි 12 වෙනිදා මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. මේ වාර්තාව ඉදිරිපත් කරලා දැන් සති දෙකකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. තවම මේ වාර්තාව එළියට ආවේ නෑ," ඔහු පවසයි.
ඔහු පැවසුවේ, මෙම වාර්තාව පැමිණීමට පෙර ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් එම බහාලුම් සම්බන්ධයෙන් සාධාරණීකරණය කරමින් මීට පෙර කරුණු දැක්වූ බව ය.
"පාර්ලිමේන්තුවට සභාගත කළෙත් නෑ. අපි නොයෙකුත් දේවල් ඇහුව ම ආණ්ඩුවේ ඇමතිවරු නොයෙකුත් දේවල් කිව්වා, එහෙම දෙයක් වෙලා නෑ, එහෙම වංචාවක් වෙලා නෑ, මේක සද්භාවයෙන් කළේ, විනිවිදභාවයක් තියෙනවා කියලා අපේ ඉන්න ඇමතිවරු විශාල ප්‍රමාණයක් එදා මේක සාධාරණිකරණය කරලා කතා කළා. අද මේ වාර්තාව මම සභාගත කරනවා, ඒ වගේ ම හැන්සාඩ් ගත කරනවා. ඔබතුමාලා කරන්නේ නැති නිසා අපි හරි මේ වාර්තා ගෙනල්ලා සභාගත කරන්න ඕනේ, මොක ද ඔබතුමාලා වාර්තා ඉදිරිපත් කරන්නේ නෑනේ," ඔහු පැවසුවේ ය.
'නිදහස් කිරීමට පෙර ස්කෑන් පරීක්ෂාවක් සිදුකළ යුතු වුවත් රතු ලෙස වර්ගීකරණය කළ බහාලුම් 151න් 37ක් ස්කෑන් කරලා නෑ'
ඉන්පසුව මන්ත්‍රීවරයා එම වාර්තාවේ සඳහන් කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
"මේ වාර්තාවේ කරුණු ගණනාවක් හෙළිදරව් කරලා තියෙනවා. නිරීක්ෂණ කියන කාරණාව යටතේ පිටු අංක 6 සඳහන් වෙනවා අවදානම් කළමනාකරණය යටතේ රේගුවේ රතු, කහ, කොළ ලේබල් වර්ග තියෙනවා."
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"රතු ලේබල් නම් භෞතික පරීක්ෂාවට සහ ස්කෑන් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. කහ ලේබල් කියන කන්ටේනර් වර්ගය සාම්පල් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. ස්කෑන් පරීක්ෂාවට ලක් කරන්නත් ඕනේ. කොළ ලේබල් කියන වර්ගය ඩොකියුමන්ට් විතරක් පරීක්ෂා කරලා යවන්න පුළුවන්. එකේදී භෞතික පරීක්ෂාව අවශ්‍යත් නෑ ස්කෑන් පරීක්ෂාව අවශ්‍යත් නෑ. මේ කාරණා ටික ඒකෙ අඩංගු වෙනවා," ඔහු පැහැදිලි කළේ ය.
"ඊළඟට පිටු අංක 07 සඳහන් වෙනවා රේගු ආඥා පනතේ දෙවැනි වගන්තියේ කිසිදු අවස්ථාවකදී රාජ්‍ය ප්‍රතිපත්තියක් හෝ ජාතික ආරක්ෂාව යන්න ව්‍යතිරේඛයක් ලෙස සඳහන් කර නොමැති නිසා පරීක්ෂාවකින් තොරව රතු ලෙසින් හඳුනාගන්නා ලද බහාලුම් නිදහස් කිරීම නිවැරදි තීරණයක් නොවන්නේ ය. මේ කියන්නේ ජනාධිපතිතුමා පත් කළ කමිටුව," ඔහු පවසයි.
බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් රේගුවේ පත් කර තිබූ කමිටුවකින් බහාලුම් නිදහස් කර ඇති නමුත් එම කමිටුවට බලය ඇත්තේ රතු ලේබල් සහිත බහාලුම් නිදහස් කිරීමට පමණක් බවත් වාර්තාවේ සඳහන්ව ඇතැයි මන්ත්‍රීවරයා පැවසුවේ ය.
"මාධ්‍යවල 323ක් කියලා කිව්වට ඇත්තටම නිදහස් කරලා තියෙන්නේ 309යි. රේගු අධ්‍යක්ෂතුමා පත් කරලා තියෙනවා කමිටුවක්. මේ කමිටුව තමයි තීන්දු කරන්නේ රෙඩ් ලේබල් කන්ටේනර් ටික නිදහස් කරන්න. මේ කමිටුවට බලය තිබුණේ රතු කන්ටේනර් නිදහස් කරන්න විතරයි. කහ කන්ටේනර් නිදහස් කරන්න බලය දීලා තිබුණේ නෑ."
"නමුත් මොකක් ද කමිටුව කරලා තියෙන්නේ. කමිටුව කහ කන්ටේනර්, ඒ කියන්නේ කහ කන්ටේනර් කියලා හඳුනා ගත්ත ඒවා අනිවාර්යෙන් ම ස්කෑන් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. සාම්පල් චෙක් කරන්න ඕනේ. අන්න ඒ වර්ගයේ කන්ටේනර් 158ක් මේ කමිටුව මගින් ඒ ගොල්ලෝ නිදහස් කරලා තියෙනවා," ඔහු පැවසුවේ ය.
එමෙන් ම ඔහු පෙන්වා දුන්නේ, මෙම බහාලුම් නිදහස් කිරීමට තීන්දුව ගැනීමට පෙර මෙම බහාලුම් තොගයේ බහාලුම් දෙකක් නිදහස් කර ඇති බව ය.
"අවදානම් කළමනාකාරණ පද්ධතිය මගින් රතු ලෙස වර්ගීකරණය කරන ලද බහාලුම් නිදහස් කිරීමට ප්‍රථම ස්කෑන් පරීක්ෂාවක් සිදුකළ යුතු වුවත් රතු ලෙස වර්ගීකරණය කළ බහාලුම් 151න් 37ක් ස්කෑන් කරලා නෑ. 2025 ජනවාරි 18 තීන්දුව ගන්නකොට 2025 ජනවාරි මාසේ 17 වැනිදා කන්ටේනර් දෙකක් එලියට ගිහිල්ලා. දැන් තීන්දුව දෙන්න කලින් භෞතික පරීක්ෂාවකින් තොරව දෙකක් එළියට ගිහිල්ලා තියෙනවා."
'අපිට සැකයක් තියෙනවා ඔබතුමන්ලාට ඡන්දෙදි උදව් කරපු ව්‍යාපාරිකයන්ගේ බහාලුම් ද මෙහෙම එළියට දැම්මේ කියලා'
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව යැයි මන්ත්‍රීවරයා පවසන මෙම වාර්තාව උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවේ, මුල් අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් මෙය සාධාරණීකරණය කළ ආකාරය සැකසහිත බව ය.
"ජනාධිපතිතුමා පත්කළ කොමිසමෙන් විශාල කරුණු ගණනාවක් පෙන්වලා දීලා තියෙනවා මේ කන්ටේනර් 309 නිදහස් කිරීම තුළ. මේක ඇයි ඇමතිවරු මන්ත්‍රීවරු ඇවිල්ලා වහන්න උත්සහ කළේ. අපිට සැකයක් තියෙනවා ඔබතුමන්ලාට ඡන්දෙදි උදව් කරපු ව්‍යාපාරිකයන්ගේ බහාලුම් ද මෙහෙම එළියට දැම්මේ කියලා," ඔහු ප්‍රශ්න කළේ ය.
"මහ බැංකුවේ චෝදනාව රනිල් වික්‍රමසිංහ මහත්තයට එල්ල වුණේ මහ බැංකුව තිබුණේ එතුමාගේ යටතේ නිසා, ඒ නිසා හොඳට මතක තියාගන්න අද රේගුව තියෙන්නේ ජනාධිපතිතුමාගේ යටතේ කියන එක. මේ චෝදනාවෙන් ජනාධිපතිතුමාටත් ගැලවෙන්න බෑ," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
ආණ්ඩුවේ ප්‍රතිචාරය
සමගි ජන බලවේගයේ මෙම චෝදනාවට ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි ඔහුගේ කතාවක් අතරතුර ප්‍රතිචාරයක් ලබා දුන්නේ ය.
"මොකක් ද වාර්තාවක් අරන් ඇවිල්ලා කිව්වා, හොරකම් කරලා හොරකම් කරලා රේගුවෙන් හොරකම් කරලා කියලා කිව්වා. හරි සරල යි. කාගේ ද කමිටුව? විපක්ෂ නායක දාපු කමිටුවක් ද? මේක ජනාධිපතිතුමා දාපු කමිටුවක්. මොකක් ද ජනාධිපතිතුමාගේ ඉන්ටෙන්ෂන් එක? අරමුණ, ඉලක්කය," ඔහු විමසුවේ ය.
"ජනාධිපතිතුමාට ඕනේ වෙලා තියෙනවා වරදක් වෙලා තියෙනවා ද? වරදක් වෙලා නැද්ද? විමර්ශනයක් කරලා බලන්න. වරදක් වෙලා තියෙනවා නම් හෝ වරදක් වෙලා නැති නම් ඒ සත්‍යගරුක බව තහවුරු කරන්න. වරදක් වෙලා තියෙනවා නම් එක නිවැරදි කරන්න. මේක කවු ද ගෙනාවේ? මේ වාර්තාව හැදුවේ ම ජනාධිපතිවරයාගේ උවමනාව මත. ඒ විමර්ශන ඉල්ලීම මත. ඒ නිසා දැන් ජනාධිපතිතුමා ක්‍රියාමාර්ග ගන්නකන් බලන් ඉන්නේ නැතුව කොළයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ අත ඇරලා කෑ ගහගෙන ගියාට මොකුත් වෙන්නේ නෑ," මන්ත්‍රීවරයා පැවසුවේ ය.














