හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට ඇප: අධිකරණයේදී අද හෙළිවූ කරුණු

Sri Lanka Prison Commissioner General: Thushara Upul Deny

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවෙකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට වැඩ තහනමකට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 09) නියම කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කළා ය.

ඒ අනුව සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුට දිවයිනේ බන්ධනාගාරවලට ඇතුළු වීම ද තහනම් කළා ය.

ඊට අමතරව, විදේශ ගමන් තහනමක් ද පැනවුණු අතර, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කෙරිණි.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වෙසක් දින නීති විරෝධී ආකාරයෙන් ජනාධිපති පොදු සමාවට මුවා වී නීති විරෝධී ලෙස නිදහස් කළ රැඳවියා ජනාධිපති සමාව මත නිදහස් කළ බවට අනුරාධපුර මහාධිකරණයට සහ අධිකරණ අමාත්‍යංශයට වැරදි තොරතුරු ඇතුළත් ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු පිළිබඳව විමර්ශන සිදුකළ බව පැවසීය.

එම විමර්ශනවලදී පසුගිය වෙසක් දින නීත්‍යනුකූල ලේඛනවල ඇතුළත් නොවූ අනුරාධපුර බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර හතරක සිරකරුවන් 09 දෙනෙකු නිදහස් කර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් එම නිලධාරියා පැවසීය.

ඊට අමතරව, පසුගිය කාලයේ අවස්ථා තුනකදී නීති විරෝධී ආකාරයට පොදු සමාවට මුවා වී සිරකරුවන් 212 දෙනෙකු නිදහස් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරු නිදහස් කිරීම සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී මෙම සැකකරු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා සිය මූලස්ථානයට ගෙන්වාගෙන සාකච්ඡා කර ඇති බවත් ඊට අදාළ සමීප ආවේක්ෂණ දර්ශන ලබාගෙන විමර්ශන සිදුකිරීමට අවශ්‍යව තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීවරයා පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමේදී ඇතැම් බන්ධනාගාර නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මැළිකමක් දක්වන ආකාරය පෙනී ගිය බවත් බොහෝ ප්‍රශ්නවලට ඔවුන් "මතක නෑ" යනුවෙන් පිළිතුරු ලබා දෙන බව පෙනී ගොස් ඇති බවත් ඔහු කියා සිටියේ ය.

ඒ අනුව, මෙම සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවහොත් ඉදිරි විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණ හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා මේ වන විට මාසයකට ආසන්න කාලයක් රිමාන්ඞ් භාරයේ පසුවන බව ද ඔහු කිසිදු සාක්ෂිකරුවකුට බාධා කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති බව ද දැනුම් දුන්නේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණුවලට අනුව දැන් ඉතිරිව තිබෙන්නේ, තාක්ෂණික කාරණා සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම බවත්, ඊට මැදිහත්වීමට තම සේවාදායකයාට හැකියාවක් නොමැති බවත් පැවසූ ජනාධිපති නීතිඥවරයා මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයා කිසිදු කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට සාක්ෂි හෙළි වී නොමැති බවත් කියා සිටියේ ය.

පසුගිය නඩු වාරයේදී හිටපු අමාත්‍යවරයෙකු වන මිල්රොයි ප්‍රනාන්දුගේ මරණීය දණ්ඩනය ලබා සිටි බිරිඳ ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද කරුණු සම්පූර්ණයෙන් ම වැරදිසහගත බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

2008 වසරේ එවක ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛකයට අනුව මරණීය දණ්ඩනය ලබා සිටි කාන්තාවන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා ලිහිල් කෙරුණු බව පැවසූ ජනාධිපති නීතිඥවරයා, පසුව බිනර පොහොය දා එම ජීවිතාන්ත සිර දඬුවම වසර 20 දක්වා අඩු කෙරුණු බවත් කියා සිටියේ ය.

ඉන්පසුව එළඹුණු කාන්තා දිනය දා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි කාන්තාවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණු අතර, ඉන්පසුව එම දඬුවමට එරෙහිව එම තැනැත්තිය ඉදිරිපත් කර තිබූ ඇපෑල අභියාචනාධිකරණයෙන් ඉවත් කර ගත් බවත් ඔහු කියා සිටියේ ය.

මෙම සිද්ධිය වූ අවස්ථාවේ මෙම සැකකරු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් කටයුතු නොකළ අතර, ඔහු එම තනතුරට පත්වුණේ, පසුගිය 2021 වසරේදී බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත නොකොට ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙස නියෝග කළා ය.

මෙම නඩුව නොවැම්බර් මස 20 වන දා යළි කැඳවීමට නියම කෙරිණි.

'මොකද්ද මේ සැක සහිත ලිපිය'

පැමිණිල්ල ජූනි 25 වන දා කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වෙසක් පොහොය දින සමාව යටතේ නිදහස් කෙරුණු අතුල තිලකරත්න නමැති පුද්ගලයා සම්බන්ධයෙන් පුවත්පතක පළ කර තිබූ මාධ්‍ය වාර්තාවක් පිළිබඳව මෙම සැකකරු අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරියට ලිපියක් යවා තිබූ බව සඳහන් කළේය.

"ස්වාමීනී... මේ සැකකරු විසින් ජුනි මස 6 වනදා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට යැවූ ලිපිය සමඟ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විසින් එවූ බව කියන ලිපියකුත් යවා තිබෙනවා. අනුරාධපුර බන්ධනාගාරයෙන් ලැබුණු ලිපිය සම්බන්ධයෙන් අපට විශාල සැකයක් තිබෙනවා. මොකද මේ අනුරාධපුර ලිපිය එවපු දිනය පිළිබඳ මුද්‍රාවක් නැහැ. ලැබුණු දිනය පිළිබඳ මුද්‍රාවකුත් නෑ. එම ලිපියේ ලිපි ගොනු අංකය සඳහන් වන්නේත් නැහැ. රාජ්‍ය ආයතනයකට මේ ආකාරයෙන් ලිපි යවන්න හැකියාවක් නැහැ ස්වාමීනි... ඒ නිසා අපට විශාල සැකයක් තිබෙනවා මේ සැකකරු තමන්ගේ ස්ථාවරය සාධාරණීකරණය කිරීම සඳහා මෙම ලිපිය සකස් කරන්නට ඇති බවට. මොකද රාජ්‍ය ආයතනයක උසස් නිලධාරියෙකුට මේ ආකාරයෙන් ලිපි යවන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ ලිපිය සැක සහිතයි."යනුවෙන් ඇය සඳහන් කළාය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය "ජනාධිපති සමාවට මුවාවී නිදහස්ව ගිය පුද්ගලයින් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනවා.

ලැයිස්තුවලට පිටින් නිදහස්ව ගිය පුද්ගලයින් ගැනත් මේ විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා. මොහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. මොහුට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා නීති විරෝධී ආකාරයට පුද්ගලයින් නිදහස් කරවීම පිළිබඳව විමර්ශන සිදුකරන අවස්ථාවක ඔහුට ඉදිරියේදීත් අප ඉහත සඳහන් කළ ආකාරයේ ලිපි නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. ඒක විමර්ශන වලට බාධාවක්. පොලිසිය මේ සැකකරු අත්අඩංගුවට ගත්තේ සාධාරණ කරුණු අනාවරණය වීමෙන් පසුවයි. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ලබා දුන් තීන්දුවක සඳහන් වෙනවා විශ්වාසදායී තොරතුරු තිබෙනවානම් අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. නමුත් මෙම සිද්ධියේදී විශ්වාසදායක තොරතුරකට වඩා ඔබ්බට ගිය කරුණු අප සොයගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරි විමර්ශන වලට කාලය ලබා දෙමින් මෙම සැකකරුගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය" ස්වාමීනි අද මේ සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරද්දී පෙනී සිටියා හිටපු අමාත්‍යවරයකු වන මෙල්රෝයි ප්‍රනාන්දු නැමැත්තාගේ බිරිඳ විසින් සිදුකළ මිනීමැරුමකට අදාළ නඩුවකට. එම නඩුවේදී විත්තිකාරිය මරණීය දණ්ඩනය ලැබුවා. මේ තැනැත්තියත් පසුව ලැයිස්තුවට පිටින් ජනාධිපති සමාව ලබා නිදහස්ව තිබෙන බව හෙලිවෙලා තිබෙනවා. පොදු සමාව යටතේ මිනීමැරුම් චෝදනා ලැබු අය නිදහස් කරන්න බැහැ. එහෙත් එහෙම නිදහස් වෙලා තිබෙනවා." යනුවෙන් සඳහන් කර සිටියා ය.

ඉන් අනතුර සැකකාර තුෂාර උපූල්දෙනිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස කියා සිටියේ ය.

" ස්වාමීනී.... පසුගිය නඩු දිනයේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා ඉදිරි සති දෙක තුළ අධිකරණය මවිතවයට පත්වන ආකාරයේ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන බවට. ඒ වගේම අනුරාධපුරයෙන් නිදහස් වූ තිලකරත්න නැමති පුද්ගලයා විදේශගත වී ඇති බවටත් ඔහු පැවසුවා. නමුත් අද උසාවිය විමතියට පත්වන කිසිම තොරතුරක් පැමිණිල්ල ඉදිරිපත් කළ නෑ. තිලකරත්න නමැති පුද්ගලයා අනුරාධපුර උසාවියේ අත උස්සලා කියනවා තමන් තවම ඉන්නවා කියලා. ස්වාමීනී යම් පුද්ගලයෙක්ව නීති විරෝධී ආකාරයට නිදහස් කරලා තිබෙනවා නම් එක දෙයයි කළ යුත්තේ. ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ යුතුයි. නමුත් එවැනි පියවරක් තවම අරගෙන නැහැ." යනුවෙන් සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා" මෙතන කිසිම අපරාධමය වරදක් සිදු වෙලා නැහැ. අධිකරණ අමාත්‍යංශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලිපියක් ලැබෙනවා පසුගිය මැයි මස 05 වන දා වන විට පොදු සමාව යටතේ නිදහස් කළ හැකි රැඳවියන්ගේ ලැයිස්තුවක් එවන්න කියලා. නිදහස් කිරීම සිදුවන්නේ මැයි මස 12 වනදා. ඒ අතරතුර මැයි මස 05 වනදා සහ 12 වනදා කාලයේ තවත් පිරිසක් නිදහස්වීම සඳහා සුදුසුකම් ලබනවා. ඒ පිරිසත් නිදහස් කිරීම සිදු කරනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. සෑම වසරකම කලින් තෝරගන්න පිරිසට වඩා වැඩි පිරිසක් නිදහස් වෙනවා. ඒවා සිදු වන්නේ ජනාධිපතිවරයා එවන නිර්ණායක අනුවයි. පසුගිය අප්‍රේල් මස 30 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් විසින් මගේ සේවා දායකයාට ලිපියක් එවනවා ලැයිස්තුවෙන් පිට කිසිවකු නිදහස් කරන්න එපා කියලා. පසුව ඔහු මේ අතිරේක ලේකම්වරියට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරනවා. පසුව මේ ලිපිය ඉවත් කරගෙන තිබෙනවා. සෑම වසරකම ලැයිස්තුවලට සඳහන් ප්‍රමාණයට වඩා වැඩි රැදවියන් පිරිසක් නිදහස් වෙනවා. බන්ධනාගාර පනතේ 47 වන වගන්තිය යටතේ නිදහස් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණය ගත හැක්කේ අදාළ බන්ධනාගාරයේ ජේලර්වරයාට පමණයි. මගේ සේවා දායකයාට ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න බෑ. මීට පෙර සිටි බන්ධනාගාර කොමසාරිස්වරු කටයුතු කරලා තිබෙන්නේ මේ ආකාරයට ම තමයි" යනුවෙන් පැවසුවාය.

'අතුල තිලකරන්න : පොදු සමාව යටතේ නිදහස් කිරීම නිත්‍යානුකූලයි'

අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වූ අතුල තිලකරන්න නමැති පුද්ගලයා පොදු සමාව යටතේ නිදහස් කිරීම නිත්‍යානුකූල බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ස්වාමීනී... අතුල තිලකරත්න නමැති පුද්ගලයාට වසර දෙකක බරපතල සිර දඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවනවා. ඉන් පසුව රුපියල් මිලියන දෙකක දඩයක් නියම වෙනවා. දඩ නොගෙව්වොත් මාස හයක ලිහිල් සිර දඬුවමක් නියම වන බවත් නියෝගයේ සඳහන් වෙනවා. නමුත් මේ පුද්ගලයා මැයි 05 වනදා වන විට නිදහස් වීමට සුදුසුකම් ලබන්නේ නෑ. මොකද ඔහු වෙනත් නඩු දෙකකට රිමාන්ඩ් භාරයේ සිටි නිසා. නමුත් පසුව ඔහුට ඇප ලැබෙනවා. ඒ නිසයි ඔහු මැයි මස 14 වනදා නිදහස් වන්නේ." යනුවෙන් සඳහන් කර සිටියේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා" ස්වාමීනි මගේ සේවා දායකයා අපරාධමය වරදක් කළ බවට කිසිම සාක්ෂියක් උද්ගත වෙන්නේ නැහැ. අධිකරණ අමාත්‍යාංශය කළ නුහුරු නුපුරුදු ක්‍රියාවක් නිසයි මේ ප්‍රශ්නය මතු වුණේ. මේ විදියට රාජ්‍ය පරිපාලනය කරන්න බැහැ. සමාජ මාධ්‍ය බලපෑම් වලට යට වෙලා තීරණ ගන්ඩ බැහැ. මින් පසුව කිසිම රාජ්‍ය නිලධාරියෙක් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට සහනයක් ලබා දෙන්න බය වේවි. මොකද ඒ තුළින් ප්‍රශ්නයක් මතුවුනොත් ජනාධිපතිතුමා දිලීප පීරිස් මහත්තයාට කියයි කුදලගෙන ඇවිල්ලා රිමාන්ඩ් කරන්න කියලා. රාජ්‍ය පරිපාලනය කරගන්න බැරි වුණාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ඒ ප්‍රශ්න විසඳගන්න හදනවා. මෙහෙම කරන්න ගියොත් අපරාධ පරීක්ෂණ අමාත්‍යාංශයකුත් පිහිටුවන්න වෙයි."යනුවෙන් සඳහන් කළේය.

තව දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා" ස්වාමීනි... මගේ සේවා දායකයාවත් අඩංගුවට ගන්න හේතුව පසුගිය නඩු දිනයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා. නිදහස් වූ පුද්ගලයා අනුරාධපුරයේ පුද්ගලයෙක් නිසා ජනාධිපතිතුමාට සිදුවන අපහසුතාවය සැලකිල්ලට අරගෙන තමයි මොහු අත්අඩංගුවට ගත්තේ. සමාජ මාධ්‍යයෙන් එල්ලවූ බලපෑම නිසයි මේක සිදුවුණේ. දැන් මේ තත්ත්වය සමනය වෙලා තිබෙන්නේ. ජනාධිපතිතුමාට කිසිදු අගතියක් සිද්ධ වෙන්නෙත් නෑ." යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තම සේවා දායකයා මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින නිසාත් ඔහුට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට හැකියාවක් නොමැති නිසාත් ඔහු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝග නිකුත් කළාය.

'අනුරාධපුරෙන් නීති විරෝධී ආකාරයට එක් සිරකරුවෙක් නෙවෙයි සිරකරුවන් 3 දෙනෙක් නිදහස් කරලා තියෙනවා'

"ස්වාමීනි... අධිකරණය මගින් වරදකරුවන් කරන පුද්ගලයින්ට සමාව ලබා දීමේ බලය ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි වී තිබෙනවා. ඒ යටතේ කාණ්ඩ හතරක වැරදිවලට සම්බන්ධ පුද්ගලයින්ට ජනාධිපතිවරයාට සමාව ප්‍රදානය කළ හැකියි. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මගින් ඉකුත් මැයි මස දෙවන දා වරදකරු කරන අතුල තිලකරත්න නමැති පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම වෙනවා.

එම දඩය නොගෙවීම නිසා එම විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කොට අදාළ දඩ මුදල වන්දියක් ලෙස අය කර ගන්නා ලෙස අනුරාධපුර අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැයි මස දෙවන දා සිරගත වන මේ වරදකරු මැයි මස 12 වන දා ජනාධිපති සමාව මත නිදහස් කරනවා. දැන් ඒ පුද්ගලයා රටින් පළා ගිහින් කියලත් තොරතුරු ලැබී තිබෙනවා. ස්වාමීනි... මෙහෙම වෙන්නේ කොහොම ද?" යනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා (ජුනි 11 වැනිදා) අධිකරණය හමුවේ ප්‍රශ්න කළේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා; "ස්වාමීනී... වෙසක් දින පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීම සඳහා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා විසින් සිරකරුවන් 37 දෙනෙකුගේ නාම ලේඛනයක් මේ සැකකරුට යවනවා.

එහෙත් මේ සැකකරු සමාව දීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කරන්නේ සිරකරුවන් 36 දෙනෙකුගේ නම් පමණයි. එක් නමක් අඩුවෙන් තමයි යවන්නේ. ඉන් පස්සේ මේ සැකකරු අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම් දෙනවා ජනාධිපතිවරයා සිරකරුවන් 37 දෙනෙකුට සමාව දීලා තියෙනවා කියලා.

ඔහු ඇයි එහෙම කළේ කියන ප්‍රශ්නය මතුවෙනවා. අනුරාධපුරෙන් නීති විරෝධී ආකාරයට එක් සිරකරුවෙක් නෙවෙයි සිරකරුවන් 3 දෙනෙකු නිදහස් කරලා තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් තොරතුරු ලැබිලා තියෙනවා. අපි මේවා ගැන සම්පූර්ණ පරීක්ෂණයක් කරනවා.

දිවයිනේ සියලු ම බන්ධනාගාර අධිකාරීවරු ගැන විමර්ශනය කරනවා. අධිකරණවලින් බොහොම අමාරුවෙන් තමයි සාක්ෂි මෙහෙයවලා පුද්ගලයෙකු වරදකරු කරන්නේ. එසේ අධිකරණ තීන්දු දුන්නා ම මේ අය වෙනම ම නඩු අහලා වරදකරුවන්ට සමාව දීලා ගෙදර යවනවා.

'බන්ධනාගාර ඇතුළේ රාජධානි හදාගෙන නඩු අහලා සමාව දෙනවා'

"මෙයාලා බන්ධනාගාර ඇතුළේ රාජධානි හදාගෙන නඩු අහලා සමාව දෙනවා. මේගොල්ලෝ සර්ව බලධාරීන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ සියලු දේවල් සිදුවෙන්නේ මේ සැකකරුගේ නායකත්වයෙන්. මොහුගේ අනුදැනුම නැතුව මේ වගේ වැඩ කරන්න බැහැ. ලක්ෂයක් දඩ ගහපු පස්දෙනෙක් පොදු සමාව ලබන්න සුදුසුකම් ලබලා තිබෙනවා නම් ඔවුන් අතරින් එක්කෙනෙක් මේ ගොල්ලෝ තෝරාගන්නේ කොහොම ද? කියලා මම ප්‍රශ්න කරනවා.

ඒ අයව සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනව ද? එහෙම නැත්නම් තමන්ට ලැබෙන වාසියට අනුව නිදහස් කරන පුද්ගලයාව තෝරගන්නව ද? කියලා මම ප්‍රශ්න කරන්න කැමතියි. මෙයාලා නිදහස් කරන පුද්ගලයින් ගැන කවදාවත් අධිකරණ දැනුවත් කරන්නේ නැහැ. මොකද ඒක එයාලට මදිකමක්. එයාලා හිතාගෙන ඉන්නේ එයාලා සියල්ලට උඩින් ඉන්නවා කියලා. ඇත්තට ම වෙසක් දින නිදහස් කළ 388 දෙනා ඇත්තට ම නිදහස ලැබීමට නියමිතව සිටි අය ද කියලත් අපි පරීක්ෂණයක් කරනවා.

මොක ද මේ පුද්ගලයින්ගේ නම් එවන්නේ නෑ. අංක විතරයි එවන්නේ. ඒ නිසා ඒ ගැනත් අපි පරීක්ෂණ කරනවා," යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු විමර්ශන කටයුතු අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේ ය.

'කිසිදු සාක්‍ෂියක් හෝ වරදක් ඉදිරිපත් කර නැහැ'

ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සැකකරුට අදාළ බී වාර්තාවේ සාක්ෂි සම්පින්ඩන දෙකක් පමණක් අන්තර්ගතව තිබෙන බව සඳහන් කළේ ය.

"ස්වාමීනී... මේ බී වාර්තාවේ සාක්ෂි සම්පින්ඩන දෙකක් පමණයි ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ සාක්ෂි සම්පින්ඩනවල මගේ සේවා දායකයාට එරෙහිව කිසිදු සාක්‍ෂියක් හෝ වරදක් ඉදිරිපත් කර නැහැ. ස්වාමීනී... මාගේ සේවා දායකයා ඉකුත් මැයි මස 19 වන දා සියලු ම බන්ධනාගාර අධිකාරීවරු වෙත ලිපියක් යොමු කරලා දැනුම් දීලා තිබෙනවා. ජනාධිපතිවරයා නියම කරන පුද්ගලයින්ට පරිබාහිරව යම් සිරකරුවෙකු නිදහස් කරන්නේ නම් එහි වගකීම තමන් විසින් පෞද්ගලිකවම දැරිය යුතු බව. ඒ බව බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් ගාමිණී දිසානායක මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙන කට උත්තරයේ සඳහන් කරලා තිබෙනවා.

ස්වාමීනී... සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හැක්කේ විමර්ශන අවසන් වීමෙන් පසුවයි. එහෙත් මේ පුද්ගලයාව පැමිණිල්ල ලැබුණු ගමන් අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ පුද්ගලයාව වැඩිදුර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පෙර ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා ද කියලා ඔබතුමියගේ අධිකරණ මනස යොමු කොට පරීක්ෂාවක් කළ යුතුයි. සිංගප්පූරු නඩු තීන්දුවක් තිබෙනවා විමර්ශන අවසන් වීමට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගන්න බැහැ කියලා. එම නිසා මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නැති හෙයින් ඔහු ඕනෑ ම කොන්දේසියක් මත ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා," යනුවෙන් ජනාධිපති නීතිඥවරයා (ජුනි 11 වැනිදා) අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්: "ස්වාමීනී... සිංගප්පූරු නඩු තීන්දු අපේ රටට හරියන්නෙ නෑ. මේ රටේ ඉන්නේ සංවිධානාත්මක වගේ ම සූක්ෂම අපරාධකාරයෝ. එයාලා පැනලා ගියොත් ආයේ අපිට අල්ලන්න හැකි වෙන්නේ නෑ. බැසිල් රාජපක්ෂ කියලා පුද්ගලයෙක් විදේශගත වෙනකොට මම විරුද්ධ වුණා. ඔහු ප්‍රබල අමාත්‍යවරයෙක්, ප්‍රසිද්ධ පුද්ගලයෙක්. දැන් විදේශගත වෙලා ගෙන්න ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.

මේ නඩුකරයේ ප්‍රධාන බූවල්ලා ඇතුළේ හිටියට එයාගේ අඬු එළියේ දස අතේ විහිදිලා තිබෙනවා. ඒ නිසා මේ වගේ පුද්ගලයෝ ගැන සැහැල්ලුවෙන් තකන්න බැහැ. ස්වාමීනී අපි විමර්ශන කරලා ඊළඟ සති දෙක තුළ අධිකරණයට හිතාගන්න බැරි මවිතයට පත්කරන තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා," යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා ය.

මීට පෙර නඩු විභාගය පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා පහත සබැඳිය වෙත පිවිසෙන්න.