බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීම ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කරයි

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය

ඡායාරූප මූලාශ්‍රය, Department of Prisons

    • Author, බීබීසී සිංහල

දැනට වැඩ තහනමට ලක් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට වැඩ තහනමට ලක්ව සිටින කාලය තුළ වැටුපෙන් අඩක් ගෙවීමට කැබිනට් තීරණයක් ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ 48 වන පරිච්ඡේදයේ 31/12 උපවගන්තිය පරිදි ඔහුට වැටුපෙන් අඩක් ගෙවීමට තීරණය කළ බව ය.

මේ අතර, ජනාධිපති පොදු සමාව අවභාවිත කිරීම සම්බන්ධයෙන් "බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට පමණක් වගකීම පැවරීම" සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

මාධ්‍යවේදියා: "බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙ පමණක් බෙල්ලෙන් අල්ලා ගැනීම හරි ද? දැන් මේ ලේඛනවලට අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා අත්සන් කරනව. ජනාධිපති ලේකම් අත්සන් කරනව. එතකොට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විතරක් මේකට යටත් කරන්න හදන්නෙ ඇයි?"

කැබිනට් ප්‍රකාශක: "පරීක්ෂණයෙන් හෙළිදරව් වුණා ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැති රැඳවියා නිදහස් කිරීම සම්බන්ධ ප්‍රශ්නය. ඒ අනුව, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. එමෙන් ම, අධිකරණ අමාත්‍යංශය මගින් විමර්ශනයක් කරනව. ඒ විමර්ශනයට බාධා නොවෙන පරිදි තමයි හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල්දෙණිය මහතා වැඩ තහනමකට ලක් කළේ."

මාධ්‍යවේදියා: "අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විතරක් නෙවෙයි, ජනාධිපති ලේකම්වරයාත් මේකට වගකිව යුතු යි කියන තත්ත්වයක් එනව. මොක ද ඔවුනුත් මේකට අත්සන් කරන නිසා. මෙතනදි අධිකරණ ඇමතිටත් විශේෂ වගකීමක් තියෙනව. ඒ කියන්නෙ තමන් දන්නෙ නැතුව තමන් අත්සන් කරනව. දෙවෙනි ලේඛනයක් කියල සඳහන් කරනව. ජනාධිපතිවරයාට ගිය පළවෙනි ලේඛනයෙ නම නෑ කියනව.... නිලධාරීන් පිට දාල නිකං ඉන්න ද හදන්නෙ?"

කැබිනට් ප්‍රකාශක: "ඔබ ප්‍රශ්නය පටලවන්න හදන්නෙ. ජනාධිපතිවරයා අත්සන් කරපු කිසි ම ලේඛනයක මොහුගේ නම සඳහන් වෙන්නෙ නෑ. ඒ නිසා තමයි ප්‍රශ්නය පැන නගින්නෙ. ඒකට අවසර නොදීපු අය වග කියන්න ඕන නැහැ."

Thushara Upuldeniya

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් සඳුදා (ජූනි 9) සවස අත්අඩංගුවට ගැනිණි.

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ ය.

විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න අනුරාධපුර මහාධිකරණය හමුවේ මූල්‍ය වංචා චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් සිරදඬුවම් නියම වීම

විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්නට වෙසක් පොහෝ දින ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දීම

විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස ලබා ඇතැයි අනුරාධපුර මහාධිකරණය හමුවේ කරුණු අනාවරණය වීම.

"ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව" යන ශීර්ෂය යටතේ ජනාධිපති ලේකම්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීම

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී මොහාන් කරුණාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී මොහාන් කරුණාරත්න ජූනි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම

Image copyright by Department of Prisons

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ජූනි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම

Image copyright by Department of Prisons

'අපිට තරාතිරම වැඩක් නෑ. නෛතික ක්‍රියාමාර්ග ගන්නවා'

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය,

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල අද (ජූනි 9) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම සිද්ධියට සම්බන්ධ වැරදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ය.

CID අත්අඩංගුවට පත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා රිමාන්ඩ්: අධිකරණය තුළදී අද හෙළි වූ කරුණු

අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති එච් සී/69/2018 අංක දරණ මූල්‍ය වංචා සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරු ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර මුදා හැර ඇති බව පවසමින් අනුරාධපුර මහාධිකරණයට කූඨ ලේඛනයක් ඉදිරිපත් කර අදාළ විත්තිකරු නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ලබන (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග කළේය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර, අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති එච් සී/69/2018 අංක දරන මූල්‍ය වංචා සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරු ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර මුදා හැර ඇති බව පවසමින් අනුරාධපුර මහාධිකරණයට කූඨ ලේඛනයක් ඉදිරිපත් කර අදාළ විත්තිකරු නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ජූනි 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය සඳුදා (ජූනි 09) නියෝග කළේ ය.

මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ ය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මෝහාන් කරුණාරත්න යන අයයි.

සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති නඩුවක විත්තිකරුවෙකු ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව ලබා දී ඇති බවට වන කූඨ ලේඛනයක් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගේ අත්සනින් යුතුව අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, එකී ලිපිය සලකා බලා අදාළ විත්තිකරු ඔහුට එරෙහිව තිබූ නඩුවෙන් මුදා හැර ඇති බවත් පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බව ය.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව ද සඳහන් කළේය.

අනුරාධපුර මහාධිකරණයේ පැවති එච් සී 69/2018 අංක දරණ නඩුවේ විත්තිකරු ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ලිඛිතව අනුරාධපුර මහාධිකරණයට දැනුම් දී තිබුණ ද ප්‍රශ්නගත නඩුවේ විත්තිකාර විජයකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න නමැත්තාට ජනාධිපතිවරයා ඉකුත් වෙසක් පෝය දිනයේ පොදු සමාව ලබා දී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අවධාරණය කළේ ය.

'මෙම ක්‍රියාව සැලසුම්සහගතව චේතනාන්විතව ම සිදු කළ එකක්'

ඒ අනුව අදාළ විත්තිකරුට ජනාධිපති පොදු සමාව ලබා දී ඇති බවට සිය අත්සනින් යුතුව අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර ඇති ලිපිය කූඨ ලෙස සකසන ලද එකක් බවට සැක කරන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ ය.

මෙම ක්‍රියාව සැලසුම්සහගතව චේතනාන්විතව ම සිදු කළ එකක් බවට බැලූ බැල්මට පෙනී යන බවත් ඊට සම්බන්ධ තවත් සැකකරුවන් සිටින බවට සැක කරන්නේ යැයි ද කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව පැවසීය.

දිවයිනේ වෙනත් බන්ධනාගාරවල ද මෙවැනි අක්‍රමිකතා සිදුව ඇති බවට කරුණු අනාවරණය වෙමින් පවතින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අධිකරණයට දැන්වීය.

සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

'නිර්දෝෂී බව ඉදිරියේදී තහවුරු කරනවා'

සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල පැවසුවේ, අනුරාධපුර මහාධිකරණයේ පැවැති එච් සී/69/2018 අංක දරන නඩුවේ විත්තිකරු ජනාධිපති පොදු සමාව යටතේ මුදාහැර ඇති බවට සිය සේවා දායකයා ලිඛිතව අධිකරණයට දැනුම් දුන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින නීතීවලට අනුකූලව විධිමත් ආකාරයෙන් බවයි.

තම සේවා දායකයා කිසිදු අනීතික ක්‍රියාවක් සිදුකොට නැති බව අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සිය සේවා දායකයා නීත්‍යනුකූලව රාජකාරී ඉටුකර ඇති පසුබිමක ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නේ නම් එය අයුක්තිසහගත බව ද කියා සිටියේ ය.

කූට ලේඛන සකස් කළ බවට සිය සේවා දායකයාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල සිය සේවාදායකයාගේ නිර්දෝෂී බව ඉදිරියේදී තහවුරු කරන බව ද සඳහන් කළේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතීන්ට අනුව සිදුකළ රාජකාරියක් වැරදි එකක් බවට හුවා දක්වන්නේ නම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යල් පැනගිය නීති අණ පනත් සංශෝධනය කළ යුතු බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල සඳහන් කළේ ය.

තම සේවා දායකයා ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ද නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශවයේ ම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය සැකකරු ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදාහරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ජූනි 11 දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළේ ය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පෙනී සිටි අතර සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කළ, ජ්‍යෙෂ්ඨ නීතිඥ කාලිංග රවින්ද්‍ර සහ නීතිඥ චතුර ධනංජය රණතුංග ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ජූනි 8 දින රාත්‍රියේදී ය.