අත්අඩංගුවට පත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ගැන මේ තොරතුරු දැන සිටියා ද?

තුෂාර උපුල්දෙණිය

ඡායාරූප මූලාශ්‍රය, X

ඡායාරූප ශීර්ෂ වැකිය, තුෂාර උපුල්දෙණිය
    • Author, බීබීසී සිංහල

මූල්‍ය වංචා 30කට අධික නඩු සංඛ්‍යාවක විත්තිකරු ලෙස නම් කර සිටි අනුරාධපුර නගරයේ පිහිටි බැංකුවක කළමනාකාරවරයෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමේ සිද්ධිය මේ වන විට දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව තිබේ.

මාධ්‍ය හරහා සිදුවුණු අනාවරණයත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශනයක් ද ආරම්භ විය.

එහි ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (ජූනි 09) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

තුෂාර උපුල්දෙණිය දීර්ඝ කාලයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරියෙකි.

කවුද මේ තුෂාර උපුල්දෙණිය?

පොලොන්නරුව රාජකීය විද්‍යාලයෙන් සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය හදාරා ඇති තුෂාර උපුල්දෙණිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධරයෙකි.

ඊට අමතරව, ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වේ.

ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය ආරම්භ කළේ, 2001 වසරේදී ය.

එම වසරේදී ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අනුයුක්ත වූයේ, සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු වශයෙනි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බන්ධනාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් කර ඇති පරිදි, ඔහු වැලිකඩ, බෝගම්බර, ගාල්ල, කෑගල්ල, කුරුවිට යන බන්ධනාගාරවල සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු ලෙස සේවය කර තිබේ.

ඉන්පසු, බන්ධනාගාර අධිකාරී තනතුරට උසස්වීමක් ලබා ඔහු එම තනතුරෙහි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මහර බන්ධනාගාරය සහ බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය යන ආයතනවල සේවය කළේ ය.

ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තනතුරට පත්වීමෙන් පසු ඔහු බන්ධනාගාර මූලස්ථානයේ සේවය කළේ ය.

පසුව, බන්ධනාගාර කොමසාරිස් තනතුරට උසස්වීම් ලබා බුද්ධි හා ආරක්ෂණ, මෙහෙයුම්, පාලන, සැපයුම් යන ක්ෂේත්‍ර භාර බන්ධනාගාර කොමසාරිස් ධූරයන්හි කටයුතු කළ බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් වෙයි.

ඔහු කලක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළේ ය.

ඔහු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධූරයට පත් කරනු ලැබුවේ, 2020 වසරේදී ය.

එම වසරේ ජූනි 08 වන දින ඔහු එම ධූරයෙහි වැඩ භාර ගත්තේ ය.

ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස වසර 5ක කාලය සම්පූර්ණ වූයේ, පසුගිය ජූනි 08 වන දාට ය.

ඊට පසු දින ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අතර අද (ජුනි 10 වැනිදා) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ජුනි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න අනුරාධපුර මහාධිකරණය හමුවේ මූල්‍ය වංචා චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් සිරදඬුවම් නියම වීම

විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්නට වෙසක් පොහෝ දින ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දීම

විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස ලබා ඇතැයි අනුරාධපුර මහාධිකරණය හමුවේ කරුණු අනාවරණය වීම.

"ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව" යන ශීර්ෂය යටතේ ජනාධිපති ලේකම්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීම

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී මොහාන් කරුණාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී මොහාන් කරුණාරත්න ජූනි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම

Image copyright by Department of Prisons

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ජූනි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම

Image copyright by Department of Prisons