විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට ඇප

Keselwatta Police Officers
    • Author, බීබීසී සිංහල

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 9) නියෝග කළේ ය.

ඒ අනුව, සැකකාරීය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග නියම කළා ය.

කෙසෙල්වත්ත පොලිසිය මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය පරිදි වාචිකව කරුණු දැක්වීමක් නොකරන බවයි.

ඒ අනුව, මෙම සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය ඇප මත මුදා හැරීමට නියම කළ අතර පැමිණිල්ල නැවත අගෝස්තු මස 27 වන දා කැඳවන ලෙස නියම කළා ය.

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප නොදුන් හේතුව

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ජූලි 15 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ජූලි 8 වන දා නියෝග කළේ ය.

අදාළ වෛද්‍යවරියගේ වාට්ටුවේ ලිපිකරු වන කේ. ඉන්දික සහ ඇය විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයේ සේවකයෙකු බව කියන නිමල් රංජිත් මුතුකුඩ යන සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග නියෝග කළා ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම පැමිණිල්ල එදින කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ; "ස්වාමීනී... සැකකාර වෛද්‍යවරිය නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදල් ඇයගේ නිවසේ සගවා සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ඇය විසින් පදිංචි ලිපිනය ලෙස ලබා දුන් කොළඹ රොස්මිඩ් පාරේ අංක 7 දරන ස්ථානයට නිලධාරීන් කණ්ඩායමක් ගියා. එම අවස්ථාවේදී එම නිලධාරීන්ට අනාවරණය වෙලා තිබෙනවා ඒක සැකකාරිය පදිංචි ස්ථානය නොවන බව. එම ස්ථානයේ ආයතනයක් තිබෙන අතර එය සැකකාර වෛද්‍යවරිය විසින් පවත්වාගෙන යන ආයතනයක් බවට අනාවරණය වී තිබෙනවා. පසුව ඇය පදිංචි බව සඳහන් කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි අංක 27 දරන ස්ථානයට ඔවුන් ගොස් පරීක්ෂා කළා. එහිදී සැකකටයුතු කිසිවක් සොයා ගෙන නැහැ. පසුව මේ සැකකාරියගේ සත්‍ය පදිංචි ලිපිනය සොයා ගැනීම සඳහා මැතිවරණ කොමිසම හරහා විමර්ශන කළා. එහිදී අනාවරණය වුණා ඇයගේ ඡන්දය ලියාපදිංචි වී තිබෙන්නේ මීරිගම, ලෝලුවාගොඩ අංක 42 ස්ථානයේ බවට. ස්වාමීනි... මේ අනුව පැහැදිලි වෙනවා මෙම සැකකාරිය පදිංචිය ලෙස ව්‍යාජ ලිපිනයක් තමයි ලබා දී තිබෙන්නේ," යනුවෙනි.

මෙම විමර්ශනයට අදාළව සැකකාර වෛද්‍යවරිය භාරව කටයුතු කළ රෝහල් වාට්ටුවේ කාර්ය මණ්ඩලයෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කරමින් විමර්ශන කරන බව ද අල්ලස් කොමිසමේ නිලධාරීයා සඳහන් කළේ ය.

පැමිණිල්ල සහ විත්ති පාර්ශවය අතර උණුසුම් වාද විවාද

මෙම සැකකාර වෛද්‍යවරිය එමාෆාම් නමැති ආයතනයකින් රුපියල් 55,000 වැනි මුදලකට මිල දී ගන්නා ඊ.වී.ඩී ශල්‍ය අයිතමය 175,000ක් වැනි ඉහළ මිල ගණන්වලට රෝගීන්ට අලෙවි කර තිබෙන බවත් ඊට අදාළ බිල්පත් අල්ලස් කොමිසමට ලැබී තිබෙන බවත් එම නිලධාරියා කියා සිටියේ ය.

සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

"ස්වාමීනී... මේ වෛද්‍යවරිය මේ වන විට ශල්‍යකර්ම 10,000ක් පමණ සිදු කර තිබෙනවා. ඉන් ශල්‍යකර්ම 8000ක් පමණ ශ්‍රී ලංකාව තුළ සිදු කර තිබෙනවා. තවත් සැත්කම් 2000ක් පමණ ඇය එංගලන්තයේ සිදු කර තිබෙනවා. එහෙත් ශල්‍යකර්මවලින් පසුව මියගොස් තිබෙන්නේ රෝගීන් 100කට වඩා අඩු සංඛ්‍යාවක්. ඒ රෝගීන් පවා ශල්‍යකර්ම නිසා මියගිය අය නොවෙයි," යැයි සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පැවසුවේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් සපයන ඇතැම් ශල්‍ය අයිතම භාවිතයට නුසුදුසු මට්ටමක පවතින නිසා ඒවා පිටතින් මිල දී ගැනීමට රෝගීන්ට සිදුවු බව ය.

අධිකරණය පොලිසියට අවශ්‍ය දේ ඉටු කරන රබර් මුද්‍රාවක් බවට පත් නොවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් උපුටා දක්වමින් ජනාධිපති නීතිඥවරයා එහිදී පැවසීය.

ඒ අනුව, සැකකාරිය ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව සෙසු සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස පැවසීය;

"ස්වාමීනී... මේ නඩුවට ඇප ගන්නවා කියන්නේ හරියට මක්කමේ බෝ ගසක් හොයනවා වගේ වැඩක්. ස්වාමීනී... මීට පෙර දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගන්නා සැකකරුවන් මේ ආකාරයෙන් රිමාන්ඩ් කරන්නේ නෑ. ඒ අවස්ථාවේදී ම ඇප දෙනවා. පසුගිය මාස දෙක තුන තුළ තමයි මේ වගේ තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන්නේ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශයක් පුවත්පතක පළ කර තිබෙනවා. එහි සඳහන් වෙනවා කැබිනට් තීරණවලට පවා දූෂණ චෝදනා යටතේ අල්ලස් කොමිසමට කටයුතු කළ හැකි බව. ස්වාමීනී... පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට ජනතා පරමාධිපත්‍යය බලය හිමි වී තිබෙනවා. අල්ලස් කොමිසමට ඒවාට අත තියන්න හැකියාවක් නෑ. අල්ලස් කොමිසම මහින්ද රාජපක්ෂගේ, දිසානායක නමැති ඥාතියෙකුගේ නඩුවක් සති දෙකෙන් ඉවත් කර ගත්තා."

එහිදී ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයින් ඇප මත මුදා හරින ලෙස ය.

නීතිඥ ගුණරත්න වන්නිනායක ඉදිරිපත් කළ ඇතැම් කරුණු මෙම නඩුවට අදාළ නොවන බවට අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණයේ අවධානය යොමු කළ අවස්ථාවේදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.

පසුව මහේස්ත්‍රාත්වරිය මැදිහත් වී එම තත්ත්වය සමනය කළා ය.

මෙහිදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරියගේ දියණිය ඉකුත් සිකුරාදා කුරුඳුවත්ත පොලිසියට ප්‍රකාශයක් ලබා දුන් බව විත්තියේ නීතිඥවරු සඳහන් කළ ද එම ප්‍රකාශය ලබා දී තිබෙන්නේ ඉරිදා දිනයේ බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමු කර ඇති බවත් පැවසුවා ය.

එම ප්‍රකාශයට දැඩි විරෝධය පළ කර සිටි විත්තිය වෙනුවෙන් පෙනී සිට නීතිඥ මෛත්‍රී ගුණරත්න පැවසුවේ, සැකකාරියගේ දියණිය එම ප්‍රකාශය කරනු ලැබුවේ ඉකුත් සිකුරාදා බව ය.

අල්ලස් කොමිසම විසින් අධිකරණය නොමග යවන ආකාරයෙන් සිදු කරන ලද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

'EVD නමැති ශල්‍ය අයිතමය රෝහලේ තිබියදී පිටතින් මිල දී ගන්නා ලෙස සැකකාර වෛද්‍යවරිය රෝගීන්ට දැනුම් දීලා'

Dr. Maheshi Wijeratne

ඡායාරූප මූලාශ්‍රය, Screenshot

"අල්ලස් කොමිසමේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්," බව සඳහන් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටින නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, "සැකකාර වෛද්‍යවරිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිටින එක ම ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය," බව ය.

"ඇය දෙවන හා තුන්වන සැකකරුවන් හරහා EVD නමැති ශල්‍ය අයිතමය රෝගීන්ට වැඩි මිලකට මිලදී ගැනීමට සලස්වා තිබෙනවා. මෙම EVD නමැති ශල්‍ය අයිතමය ජයවර්ධනපුර රෝහලේ රුපියල් 17,500.00ක මුදලකට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා," ඔහු පැවසුවේ ය.

"නමුත් මේ සැකකාර වෛද්‍යවරිය මෙම අයිතමය මිලදී ගැනීම සඳහා එම්.එන්.එම්. මෙඩිකල් සර්විස් නමැති ආයතනයකට යොමු කරනවා. මෙම ආයතනය පිළිබඳ විමර්ශනය කිරීමේදී අපට අනාවරණය වුණා එහි හිමිකරු යුශාන්ත මනෝජ් ද සිල්වා නමැත්තකු බව. පසුව මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා සැකකාර වෛද්‍යවරියගේ සැමියා වන නයිජල් නමැත්තාගේ අවශ්‍යතාවය මත මෙම සමාගම ආරම්භ කළ බව," නිලධාරියා කරුණු දැක්වූයේ ය.

"2010 වසරේ නයිජල් නමැති මෙම සැකකාරියගේ සැමියා මිය යාමෙන් පසුව එම සමාගමට අදාළ සියලු ලේඛන සැකකාර වෛද්‍යවරියට භාර දී තමන් ඉන් ඉවත් වූ බවත් එම පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා,"යනුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසීය.

'අය කරන මිල ගණන් එකිනෙකට වෙනස්. රෝගීන්ගේ තරාතිරම අනුව තමයි මිල ගණන් අය කරන්නේ'

වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා මෙම කරුණට අදාළව සැකකාර වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 88 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව සඳහන් කළේ ය.

එම ප්‍රකාශවලට අනුව ශල්‍යකර්මවලට භාජනය කරන රෝගීන්ට අවශ්‍ය කරන EVD නැමැති ශල්‍ය අයිතමය රෝහලේ තිබියදී ඒවා පිටතින් මිල දී ගන්නා ලෙස සැකකාර වෛද්‍යවරිය රෝගීන්ට දැනුම් දී තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද ඔහු කියා සිටියේ ය.

ඒ අනුව මෙම ක්‍රියාවලිය සිදුවී ඇති බවට අනාවරණය වී ඇති ආකාරය අදාළ නිලධාරියා මෙලෙස කරුණු දක්වමින් පැහැදිලි කළේ ය.

"ස්වාමීනී. ශල්‍යකර්මවලට භාජනය කරන රෝගීන්ට අවශ්‍ය කරන අයිතමය පිටතින් මිල දී ගන්නා ලෙසත්, ඒ සඳහා තුන්වන සැකකාර ලිපිකරු හමුවන ලෙසත් සැකකාර වෛද්‍යවරිය රෝගීන්ට දැනුම් දෙනවා. ඒ අනුව රෝගීන් තුන්වන සැකකරු හමුවූ පසුව ඔහු දෙවන සැකකාර මුතුකුඩ නමැත්තාගේ දුරකථන අංකය ලබාදෙනවා."

"පසුව මුතුකුඩ නමැත්තාගෙන් මුදල් ගෙවා එම අයිතමය ලබා ගැනීම රෝගීන් විසින් සිදු කරනවා. මෙහිදී අය කරන මිල ගණන් එකිනෙකට වෙනස්. රෝගීන්ගේ තරාතිරම අනුව තමයි මිල ගණන් අය කරන්නේ. මෙසේ මිල දී ගන්නා ශල්‍ය උපකරණ කිසි ම අවස්ථාවක රෝගීන්ගේ අතට ලබා දෙන්නේ නෑ."

"ඒවා කෙලින් ම ශල්‍යාගාරයට තමයි යොමු කරන්නේ. ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාරයේ ප්‍රධාන හෙද නිලධාරීනියගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මේ බව තහවුරු වෙලා තිබෙනවා. එම නිලධාරීනිය ප්‍රකාශ කළා පිටතින් එම උපකරණ රැගෙන'විත් දෙන බවත්, නැතිනම් සැකකාර වෛද්‍යවරිය ඇතැම් අවස්ථාවල ඒවා ශල්‍යාගාරයට රැගෙන එන බවත්."

ඒ අනුව රු. 17,500.00ක් මුදලකට රෝහලින් මිල දී ගත හැකි මෙම ශල්‍ය උපකරණය මෙම සැකකරුවන් විසින් රු. 150,000.00 සිට රු. 250,000.00 දක්වා මුදලකට සැකකාර වෛද්‍යවරියගේ පෞද්ගලික ආයතනය හරහා අලෙවි කර තිබෙන බවත්, ඊට අදාළ බිල්පත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීයා සඳහන් කළේ ය.

මෙම සැකකරුවන් විසින් "හෙමාෆාම්" නමැති ආයතනයකින් මෙම උපකරණ මිල දී ගෙන තිබෙන බව එම නිලධාරියා පැවසීය.

අදාළ ශල්‍ය අයිතමය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තිබෙන බවත් යම් හෙයකින් එය නොමැති බව අනාවරණය වුණොත් පැය දෙකක් වැනි කාලයක් තුළ ඒවා ලබාගත හැකි හදිසි මිල දී ගැනීමේ ක්‍රම පවා රෝහල තුළ තිබියදී සැකකාර වෛද්‍යවරිය මෙලෙස රෝගීන් බාහිර ආයතනයක් වෙත යොමු කර තිබෙන බවත් එම නිලධාරියා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

වාර්ෂික මිල දී ගැනීම් සිදු කිරීමේදී ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන EVD නමැති ශල්‍ය උපකරණය මිල දී ගැනීමට අවශ්‍ය පිරිවිතර ඉදිරිපත් කිරීම මෙම වෛද්‍යවරිය දිගින් දිගට ම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළ අවස්ථා තිබෙන බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා සඳහන් කළේය.

මෙලෙස වැඩි මිලට ශල්‍ය උපකරණ විකිණීම සම්බන්ධයෙන් චාමර අබේවර්ධන නමැත්තෙකු පැමිණිලි කිරීමෙන් පසුව "කාරියවසම්" නමැති නීතිඥවරයෙකු ඔහු කැඳවා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී එම ආරවුල සමථයට පත් කර තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ඔහු පැවසීය.

මෙම වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජූනි 23 වන දා වන විට ඇයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දුරකතන අංකයට ඇමතුම් 92ක් පමණ ලැබී තිබෙන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ ය.

මුල් පැමිණිලිකරුට මරණ තර්ජන

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කැළඹීමක් හටගෙන තිබෙන අතර මෙම වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ චාමර ප්‍රසාද් අබේවර්ධන නමැති පුද්ගලයාට මේ වන විට ජීවිත තර්ජනය එල්ල වී ඇති බවට තොරතුරු හෙළිව ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණයට කරුණු දක්වා සිටියේ ය.

මේ නිසා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට ඔවුන් ලබන 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

විත්තියේ නීතිඥවරුන්ගේ විරෝධය

අල්ලස් කොමිසමේ නිලධාරියාගේ කරුණු දැක්වීමෙන් පසුව සැකකාර වෛද්‍ය මහේෂි විජේරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්; "ස්වාමීනි.., මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන කැළඹීමක් පවතින බව අල්ලස් කොමිසමේ නිලධාරියා ප්‍රකාශ කළා. මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ එතන මාධ්‍ය හිටියා," යැයි පැවසුවේ ය.

"එතනට මාධ්‍ය ආවේ කොහොම ද? පුද්ගලයෙක්ව අල්ලන්න කලින් ඒක අල්ලස් කොමිසමෙන් මාධ්‍යයට කියනවා. සමාජ මාධ්‍යවලින් කෘත්‍රිම රැල්ලක් ඇති කර තිබෙනවා. ඒවා මත නඩු අහන්න බෑ. එවැනි කාරණා ඔබතුමිය නඩු ඇසීමේදී සැලකිල්ලට ගන්නෙත් නැහැ කියලා අපි දන්නවා," යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

වැඩිදුරටත් කරුණු දක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසුවේ, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් යටතේ මිල දී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නොවන බව ය.

"ස්වාමීනී, මේ සැකකාරිය සිදු කරන්නේ ඉතා ම සියුම් සැත්කම්. පිටතින් ශල්‍ය උපකරණ මිල දී ගැනීම කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ජයවර්ධනපුර රෝහල කියන්නේ මුදල් අය කරලා ශල්‍ය කර්ම කරන ආයතනයක්. එහි සිදු කරන ශල්‍යකර්ම සඳහා ඕනෑ තරම් පිටතින් උපකරණ රැගෙන තිබෙනවා. මේක පළවෙනි අවස්ථාව නෙවෙයි. රෝහලේ අලවා තිබෙන දැන්වීමක් පවා ඉදිරිපත් ඉදිරිපත් කරනවා. එහි සඳහන් වෙනවා පිටතින් ශල්‍ය උපකරණ මිල දී ගෙන ඒමට අවසර තිබෙන බව," නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

"රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිල දී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නෙවෙයි. ඒ නිසා තමයි වඩාත් ගුණාත්මක උපකරණ පිටතින් මිල දී ගැනීමට රෝගීන්ට සිදුවෙලා තිබෙන්නේ. මේ නඩුකරයට අදාළ විමර්ශනය ආරම්භ වුණේ 2023 වසරේ. එතැන් පටන් මේ දක්වා විමර්ශන සිදුවෙනවා. මගේ සේවාදායිකාව කිසිදු පුද්ගලයෙකුට තර්ජනය කර නැහැ," යැයි පවසමින් ඇයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති නිසා ඇය ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

සැකකාර රෝහල් ලිපිකරු වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් "සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා ප්‍රකාශ කරලා තිබුණා පිටතින් ඖෂධ හා උපකරණ මිල දී ගැනීම වරදක් නැහැ කියලා. ඒක සෞඛ්‍ය අමාත්‍යංශයට කරන උදව්වක් ලෙසත් ඔහු ප්‍රකාශ කර තිබුණා," යනුවෙන් පැවසුවේ ය.

එසේ නම් මෙම ක්‍රියාව වරදක් වන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කළේ ය.

'සුළු ආබාධ පවතින ශල්‍යකර්ම අවශ්‍ය නොවන රෝගීන්ට, මරණාසන්න රෝගීන්ට පවා ශල්‍යකර්ම කරලා'

විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දැක්වූවා ය.

"ස්වාමීනී..., අල්ලස් කොමිසම කිසිදු අවස්ථාවක මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නෑ. මෙම සැකකාර වෛද්‍යවරිය සුළු ආබාධ පවතින ශල්‍යකර්ම අවශ්‍ය නොවන රෝගීන්ටත් ශල්‍යකර්ම සිදු කර තිබෙනවා. මරණාසන්න රෝගීන් පවා හදවත යන්ත්‍රයක් මගින් ක්‍රියාත්මක වෙමින් තිබියදීත් ඇය ශල්‍යකර්ම සිදු කර තිබෙනවා. අවසානයේදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙලා තිබෙනවා ශල්‍යකර්මයට භාජනය වූ එම රෝගියා මියගොස් දින පහක් ගත වී ඇති බව."

"ස්වාමීනී.., මෙම සැකකාර වෛද්‍යවරිය විශාල දේශපාලන බලයක් හිමි තැනැත්තියක්. ඇයට ඇප ලබා දුන්නොත් විමර්ශනවලට බාධා සිදුවෙන්න පුළුවන්," යනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට කරුණු දැක්වූවා ය.

එම කරුණු දැක්වීම්වලට විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු දැඩිව විරෝධය පළ කළහ.