භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය: දුමින්ද සිල්වාට ප්‍රදානය කළ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි

ඡායාරූප මූලාශ්‍රය, Duminda Silva
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ලෙස ක්‍රියාවේ යොදවමින් අනීතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජනවාරි 17 වැනිදා) තීන්දු කළේය.
ඒ අනුව දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රදානය කළ සමාව බල ශූන්‍ය යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔහුට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරනු ලැබීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කරමින් දුමින්ද සිල්වා නිදහස් කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර , දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශ කළේය.
අර්ජුන ඔබේසේකර, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන"මෙම නඩු විභාගයේ දී ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරනු ලබන සමාව නැවත සලකා බැලීමට අධිකරණයට බලයක් නොමැති බවට වග උත්තරකාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ කරුණු මතු කර තිබුණා. මීට අදාලව පසුගිය කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු ගණනාවක්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම තීන්දු විශ්ලේෂණය කිරීමේදී ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය ප්‍රකාරව අධිකරණයට යළි සලකා බැලිය හැකි බව අප තීන්දු කරනවා."යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව ජනාධිපතිවරයාගේ සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය යළි සලකා බැලීමට අධිකරණයට බලයක් නොමැති බවට වගඋත්තරකරුවන් විසින් මතු කරනු ලැබූ තර්ක ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් කර සිටියේය.
වරදකරුවන්ට සමාව දීමේ ක්‍රියාවලිය ඇරඹෙන්නේ කෙසේද?
වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා "අධිකරණය මගින් වරදකරු කරනු ලැබූ පුද්ගලයකුට සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තියේ සඳහන් ප්‍රතිපාදනවලට යටත්ව කටයුතු කිරීමට සිදුවෙනවා. එම ප්‍රතිපාදන වලට අනුව යම් වරදකරුවෙකුට සමාව දීමට පෙර එම පුද්ගලයා වරදකරු කරනු ලැබූ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් කැඳවිය යුතුයි. පසුව එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කළ යුතුයි. පසුව ඊට අදාළව නීතිපතිවරයාගේ ස්ථාවරය ද සමඟ එම වාර්තාව අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කළ යුතුයි. පසුව අධිකරණ අමාත්‍යවරයා විසින් තමන්ගේ නිර්දේශයද ඇතුළත්ව අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමුකරනු ලබයි. යම් පුද්ගලයකුට සමාව ප්‍රදානය කරන්නේ ද? නැද්ද? යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ලබන්නේ එම සියලු පටිපාටි සම්පූර්ණයෙන් කිරීමෙන් අනතුරුවයි."
"එහෙත් මෙම නඩුකරයේ වග උත්තරකාර දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමට පෙර එම නීතිමය ක්‍රියා පටිපාටිය හිටපු ජනාධිපතිවරයා විසින් අනුගමනය කරන තිබෙන බව අධිකරණය හමුවේ තහවුරු කිරීමට ඔහු අසමත් වී තිබෙනවා." යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා මෙම සමාව දීමේ ක්‍රියාවලියේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ආකාරයට ක්‍රියාවේ යොදවමින් කටයුතු කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.
"හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කරන කරුණු පිළිගන්න බැහැ...."
වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කර සිටියේ "මෙම වගඋත්තරකරුට සමාව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දිවුරුම් පෙත්සමක් ගොනු කරමින් කරුණු පැහැදිලි කර තිබුණා. මෙම සමාව දීමේ ක්‍රියාවලියේදී තමා නිසි නීතිමය පටිපාටිය අනුගමනය කළ බවත් සද්භාවයෙන් කටයුතු කළ බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මීට අදාළව තමන් වෙත ඉදිරිපත් වූ කරුණු නිසි පරිදි සැලකිල්ලට භාජනය කර තම නීතිමය බල සීමාව තුළ මෙම තීන්දුව ගත් බවත් ජනාධිපතිවරයා සිය දිවුරුම් පෙත්සමේ ප්‍රකාශ කර තිබෙනවා."යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා එහෙත් මෙම සමාව දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කරන කරුණු පිළිබඳව අධිකරණයට සෑහීමකට පත්විය නොහැකි බවත් කියා සිටියේය.
සිය දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු තුළින් සමාව දීමේ ක්‍රියාවලිය සාධාරණීකරණය කිරීමට ජනාධිපතිවරයා අසමත් වී ඇති බවත් ඔහු විසින් ඉදිරිපත් කරන කරුණු අධිකරණයට පිළිගත නොහැකි බවත් විනිසුරුවරයා සිය තීන්දුවෙන් ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ තීරණයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේද?
ජනාධිපතිවරයාගේ මෙම සමාව දීමේ ක්‍රියාවලිය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේදැයි විනිසුරුවරයා සිය තීන්දුවේ මෙසේ සඳහන් කර තිබේ.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය ප්‍රකාරව වරදකරුවන්ට සමාව දීමේදී ජනාධිපතිවරයා විසින් කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කර තිබෙනවා. මෙම නඩුකරයට අදාළව මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් අතුරින් දුමින්ද සිල්වා නමැති විත්තිකරුට සමාව දීම සඳහා ජනාධිපතිවරයා තෝරා ගත්තේ කෙසේද යන්න ප්‍රශ්න සහගතයි. ඒ හරහා ඔහු වින්දිතයින් හා සාක්‍ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ 3(Q) වගන්තිය ද නොසලකා හැර කටයුතු කර තිබෙනවා. දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීම සඳහා තෝරා ගැනීමේදී පෞද්ගලික මිත්‍රත්වය හා දේශපාලන බැඳියාව මත හිටපු ජනාධිපතිවරයා විසින් කටයුතු කර තිබෙන ආකාරය පෙනී යනවා. ඒ තුළින් මෙරට අපරාධ යුක්ති ක්‍රියාදාමය කෙරෙහි මහජනයා තබා තිබෙන විශ්වාසය උල්ලංඝනය වන ආකාරයෙන් ඔහු කටයුතු කර තිබෙනවා" යනුවෙන් සඳහන් කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා වගඋත්තරකාර දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තමන්ට පැවරී තිබෙන නීතිමය බල සීමාව අභිබවා ගොස් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර කර තිබෙන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.
සියලු කරුණු විශ්ලේෂණය කිරීමේදී මෙම සමාව දීමේ ක්‍රියාවලිය තුළින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන 12(1) වගන්තියේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළහ.
ඒ අනුව දුමින්ද සිල්වාට ප්‍රදානය කළ සමාව නීතිය ඉදිරියේ බලශූන්‍ය යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔහුට අධිකරණය මගින් පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් බන්ධනාගාර කොමසාරිත් ජනරාල්වරයාට නියෝග කරනු ලැබූහ.
ජනපති සමාව ලැබූ දුමින්ද සිල්වා යළි අත්අඩංගුවට ගත්තේ ඇයි?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා (2022 ජුනි 01 වැනිදා ) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් (ජුනි 01 වැනිදා) පෙරවරුවේ ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත්කර තිබුණු බවට රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
පසුව පස්වරුවේ රෝහලට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට වරදකරුවී මරණ දඩුවම නියමව සිටි දුමින්ද සිල්වාට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් සමාව අත්හිටවූ ශ්‍රේෂ්ඨාධිකරණය වහා ඔහු අත්අඩංගුවට ගන්නැයි (මැයි 31 වැනිදා) නියෝගයක් නිකුත් කළේය.
අධිකරණය මේ නියෝගය කළේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව ඇතුලු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
ජනාධිපති සමාව ලබා දීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇතත් මරණ දඩුවම නියමවූ අයෙකු සම්බන්ධයෙන් සමාව ලබාදීමේදී අනුගමනය කල යුතු ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රමවේදය අනුගමනය කර නැතැයි පෙත්සම්කාර පාර්ශ්ව අධිකරණයට පෙන්වා දී තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති සංජය රාජරත්නම් විසින් (2022 මැයි 31) දිනම පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව දුමින්ද සිල්වා යළි සිර භාරයට ගන්නා ලෙසද අධිකරණය නියෝග කළේය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනු ලැබීය.
ජනාධිපති සමාව ලබා දීම අත්හිට වු ශ්‍රේෂ්ඨාධිකරණය දුමින්ද සිල්වාට විදෙස් ගමන් තහනම් කරමින්, අතුරු නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.
ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬල්ල මෙම නියෝගය නිකුත් කළහ.
මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.
මරණීය දණ්ඩනය නියම වුවන් 9000කට ආසන්න පිරිසක් බන්ධනාගාර ගතව ඇති තත්ත්වය තුළ පොදු සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා දුමින්ද සිල්වාව තෝරා ගත්තේ කුමන පදනමකින් ද යන ගැටලුව මතුවන බව ජනාධිපති නීතිඥ සුමන්තිරන් මෙහිදී කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා පටිපාටිය පිළිබඳව පරීක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණයට බලය පැවරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔහුට පොදු සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරු ද මෙම කරුණු අනුමත කරමින් දේශන ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයාගේ පොදු සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාපටිපාටිය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට පැවසීය.
මෙම නඩුකරයට පාදක වන පොදු සමාව ප්‍රදානය කිරීමේ දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට තිබෙන ප්‍රතිපාදන අනුගමනය කර තිබෙන බවත් එබැවින් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.
මෙම පෙත්සම් වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ද කියා සිටියේ තම සේවාදායකයාට පොදු සමාව ප්‍රදානය කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි.
මෙම පොදු සමාව ප්‍රදානය කිරීම නීත්‍යානුකූලව සිදු වී ඇති බවත් මෙම ඉල්ලීම සලකා බැලීමට අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර ලබා දෙමින් ඉහත අතුරු තහනම් නියෝග නිකුත් කළේය.
ඒ අනුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 01 වැනිදා පැවැත්වීමට දින නියම කෙරුණි.
මරණ දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව දෙනු ලැබීම පිළිබඳ සමාජ ජාල සහ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ 2021 ජුනි 24 වෙනිදා නිදහස් කෙරිණි.
ඔහු ඇතුළුව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් 93 දෙනා අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු රැඳවියන් 16 දෙනෙක් ද විය.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසු වූ රැඳවියන් නිදහස් කිරීමට ගත් පියවර පිළිගන්නා නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද වරදකරු බව තහවුරු කෙරුණු දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍යය අනතුරේ හෙළිමක් බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසීය.
ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ සටහනක් තබා ඇති ඇමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, "වගවීම සහ යුක්තිය වෙත පිවිසීමට ඇති සමාන ප්‍රවේශයන්, ශ්‍රී ලංකා ආණ්ඩුව කැප වී ඇති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් අතර ප්‍රධාන වන" බව පවසා තිබේ.

පහත දැක්වෙන්නේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩු විභාගය සහ දුමින්ද සිල්වාගේ දේශපාලන ගමන් මග පිළිබඳ BBC සිංහල සේවය විසින් කරන ලද කෙටි පසු විපරමකි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීරණයක්
2011 ඔක්තෝම්බර් 08 වෙනිදා, බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කළේය.
තීන්දුව ලබා දුන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන්:
- ප්‍රියසාද් ඩෙප් - එවක අගවිනිසුරු
- බුවනෙක අලුවිහාරේ
- ප්‍රියන්ත ජයවර්ධන
- විජිත් මළල්ගොඩ
- නලීන් පෙරේරා
මරණ දඬුවම නියමව සිටි තවත් එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමට එහිදී අධිකරණය නියෝග කළේය.
දුමින්දට මරණ දඬුවම නියම වුණේ ඇයි?

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.
එහිදී, බහුතර විනිසුරු මඬුල්ල තීන්දුව දෙමින් කියා සිටියේ, විත්තිකාර දුමින්ද සිල්වා කලක පටන් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමඟ අමනාපයකින් පසුවූ බව පැහැදිලි වී ඇති බවය.
මේ හේතුවෙන් අදාළ ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු බවට සාක්ෂි මඟින් තහවුරු වී ඇති බව කී බහුතර විනිසුරුවරු ඒ අනුව මරණීය දණ්ඩනය පැනවීමට තීන්දු කළහ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරුවේ, 2015 වසරේ මාර්තු මස 03 වෙනිදාය.
එහිදී, නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කරනු ලැබූ අධිචෝදනා සංඛ්‍යාව 17 කී. මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා රැසක් ඊට ඇතුළත් විය.
2011 වසරේ ඔක්තෝබර් මස 8 වෙනිදා පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව කොලොන්නාව ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමකදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය යාමෙන් පසු ඊට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ, චෝදනා පවත්වා ගෙන යාම සඳහා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවය.
2015 අප්‍රේල් 01
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමට අදාළ චූදිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනෙකුට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ 2015 වසරේ අප්‍රේල් මස 01 වෙනිදාය. ඒ, අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.
2015 අගෝස්තු 04
දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබුවේ, 2015 අගෝස්තු මස 04 වෙනිදාය.
විනිසුරු මඩුල්ලේ සාමාජිකයන්
- ශිරාන් ගුණරත්න - විනිසුරු මඩුල්ලේ සභාපති
- පද්මිණී රණවක ගුණතිලක
- එම්.සී.බීඑස්. මොරායස්
2015 අගෝස්තු 06
අදාළ නඩු විභාගය 2015 වසරේ අගෝස්තු 06 වෙනිදා කොළඹ මහාධිකරණයේදී ආරම්භ වූ අතර, විත්තිකරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
2011 ඔක්තෝබර් මස 08 වෙනිදා අංගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමකට සම්බන්ධ වී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම, රාජු උරුගේ ගාමිණි නමැත්තා ඝාතනයට තැත් කිරීම, එදින ඡන්දය භාවිත කිරීමට පැමිණ සිටි පිරිස ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බිය ගැන්වීම, නීති විරෝධී රැස්වීමකට සම්බන්ධවීම ඔවුන්ට එරෙහි චෝදනා අතර විය.
අදාළ සියලු චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ අධිකරණය හමුවේ කියා සිටියහ.
මේ අතර මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ 'යහපාලන ආණ්ඩු' සමයේ එවක අමාත්‍යවරයෙකුව සිටි රන්ජන් රාමනායක සහ ආණ්ඩුවේ ඇතැම් පාර්ශව ඉහත කී නඩු විභාගයට බලපෑම් කර ඇති බවට 2020 වසර ආරම්භයේ චෝදනා එල්ල විය. ඒ රන්ජන් රාමනායක සහ මහාධිකරණ විනිසුරන් අතර සිදු වූ බව පැවසෙන දුරකථන සංවාද ඇතුළත් හඬ පට අන්තර්ජාලය වෙත මුදා හැරීමේ සිදු වීමත් සමඟය.
කවුද මේ දුමින්ද සිල්වා?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවෙනි අදියරයේදී ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළේය. එවක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය.
දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියට අවතීර්ණ වූයේ, එක්සත් ජාතික පක්ෂය හරහාය. 2004 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.
එම අවධියේ ඔහුට එරෙහිව ළමා අපචාර චෝදනාවක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විනය පරීක්ෂණයක් ද පැවැත්විය.
ළමා අපචාර සම්බන්ධයෙන් වූ චෝදනාව දුමින්ද සිල්වා තරයේ ප්‍රතික්ෂේප කළේය.
දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූයේ, 2007 වසරේදීය.
ඒ අතරතුර, ළමා අපචාර සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහිව පැවති නඩුව එවක නීතිපති මොහාන් සිල්වා ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ද නිර්මාණය විය.
ඒ සම්බන්ධයෙන්, එවක අග්‍ර විනිශ්චයකාර අසෝක ද සිල්වා බීබීසී සංදේශය වැඩසටහන සමඟ පැවසුවේ, දුමින්ද සිල්වාට එරෙහිව සාක්ෂි තිබුණේ නම් එවක නීතිපති මොහාන් සිල්වා විසින් එම නඩුව ඉල්ලා අස්කර ගනු ලැබීම "වැරදි" අතර නීතිපතිවරයාට එවැනි බලයක් නොමැති බවය.
මේ අතර, ජනප්‍රිය නිළියක වූ අනර්කලී ආකර්ෂා සහ ඇයගේ මව ඝාතනය කරන බවට දුමින්ද සිල්වා තර්ජනය කළ බවට චෝදනා කරමින් අනර්කලී ආකර්ෂා 2008 වසරේදී අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.
මීට අමතරව, කොලොන්නාවේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් ද එවක ඔහුට එරෙහිව දැඩිව චෝදනා එල්ල විය.
අදාළ චෝදනා දුමින්ද සිල්වා විසින් ප්‍රතික්ෂේප කරයි.
මේ අතර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගය පැවති වකවානුවේ මාස කිහිපයක් දුමින්ද සිල්වා සිංගප්පූරුවේ සිට ප්‍රතිකාර ලබන බවට අධිකරණයට කරුණු වාර්තා කෙරිණ.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එවක පැවති මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයින් කිහිප දෙනෙකුම ඔහු බැලීමට සිංගප්පූරුවට ගිය බවට ද මාධ්‍ය වාර්තාවල දැක්විණ.
මේ ගැනත් කියවන්න:













