දුමින්ද සිල්වා නිදහස් කිරීම: 'එක් රටක්, සැමට එක් නීතියක්' සහ ජනාධිපති සමාව

ඡායාරූප මූලාශ්‍රය, Duminda Silva
මරණ දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව දෙනු ලැබීම පිළිබඳ සමාජ ජාල සහ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ වේ.
තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ බ්‍රහස්පතින්දා (ජුනි 24) නිදහස් කෙරිණි.
ඔහු ඇතුළු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් 93 දෙනා අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණු රැඳවියන් 16 දෙනෙක් ද වෙති.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසු වූ රැඳවියන් නිදහස් කිරීමට ගත් පියවර පිළිගන්නා නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද වරදකරු බව තහවුරු කෙරුණු දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍ය අනතුරේ හෙලීමක් බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ සටහනක් තබා ඇති ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, "වගවීම සහ යුක්තිය වෙත පිවිසීමට ඇති සමාන ප්‍රවේශයන්, ශ්‍රී ලංකා ආණ්ඩුව කැප වී ඇති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් අතර ප්‍රධාන වන" බව කියා සිටී.

'එක් රටක්, සැමට එක් නීතියක්', ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් විය. ඔහුගේ 'සෞභාග්‍යයේ දැක්ම' මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ද ඊට ඉඩක් වෙන් විය.
එවන් පසුබිමක ඝාතනයකට වරදකරුව මරණ දණ්ඩනය හිමිව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව දෙනු ලැබුවේ කුමන පදනමකින් දැයි ප්‍රශ්න කෙරේ.
මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ, දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම ඊට අදාළ නඩු අදාළ තීන්දුව ලබා දුන් විනිසුරුවරුන්ගේ වාර්තාවට, නීතිපතිවරයාගේ මතය අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය අනුව සිදුව ඇත්දැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවය.
ඉහත කී ආකාරයේ වාර්තාවක්, මතයක් හෝ නිර්දේශයක් ලබා දී ඇත්දැයි යන්න පිලිබඳ ජනතාව දැනුවත් කරන ලෙස එම සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටී. එවැන්නක් ලබා දී ඇත්නම් විනිසුරුවරුන්, නීතිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා දුමින්ද සිල්වාට සමාව ලබා දෙන ලෙස නිර්දේශ කර තිබේද නැද්ද යන්න ජනතාවට දන්වන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී.
ජනාධිපතිවරයාට, සිය අභිමතය පරිදි ජනාධිපති සමාව ලබා දීමට බලය ඇතත් එම අභිමතය සෑම විටම යුක්තිසහගත ලෙස ක්‍රියාවට නැංවිය යුතු බව පෙන්වා දෙන නීතිඥ සංගමය, එවැනි බලයක් අත්තනෝමතික ලෙස හෝ විශේෂ සැලකිල්ලක් දක්වමින් ක්‍රියාවේ නොයෙදවිය යුතු බව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මේ අතර 2019 ජනාධිපතිවරණය සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී රෙනෝ සිල්වාට අයත් හිරු රූපවාහිනිය සහ එහි සහෝදර නාලිකා ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරෙමුණ වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදුනු බවට දැඩිව චෝදනා එල්ල විය. රෙනෝ සිල්වාගේ සොහොයුරු දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමි වූයේ 'කළගුණ සැලකීමක්' වශයෙන් බවට ද සමාජ ජාල ඔස්සේ අදහස් ඉදිරිපත් වේ.
කෙසේ නමුත් ආණ්ඩුවට පක්ෂ ඇතැම් කණ්ඩායම් එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර දුමින්ද සිල්වාට දඬුවම් හිමි වුණේ දේශපාලන උවමනාවන් මත බවට තර්ක කරති.

මේ අතර දුමින්ද සිල්වා නිදහස් කිරීමත් සමග ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති, මරණ දණ්ඩනයට නියමව සිටින මහර බන්ධනාගාරයේ රැඳවියෝ, දුමින්ද සිල්වා නිදහස් කළ ලෙස ඔවුන් ද නිදහස් කරන ලෙස ඉල්ලා සිටිති. එසේ නැති නම් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටින බව BBC සිංහල සේවයට වාර්තා විය.
පහත දැක්වෙන්නේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩු විභාගය සහ දුමින්ද සිල්වාගේ දේශපාලන ගමන් මග පිළිබඳ BBC සිංහල සේවය විසින් කරන ලද කෙටි පසු විපරමකි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීරණයක්
2011 ඔක්තෝම්බර් 08 වෙනිදා, බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේය.
තීන්දුව ලබා දුන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන්:
- ප්‍රියසාද් ඩෙප් - එවක අගවිනිසුරු
- බුවනෙක අලුවිහාරේ
- ප්‍රියන්ත ජයවර්ධන
- විජිත් මළල්ගොඩ
- නලීන් පෙරේරා
මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමට එහිදී අධිකරණය නියෝග කළේය.
දුමින්දට මරණ දඬුවම නියම වුණේ ඇයි?

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.
එහිදී, බහුතර විනිසුරු මඬුල්ල තීන්දුව දෙමින් කියා සිටියේ, විත්තිකාර දුමින්ද සිල්වා කලක පටන් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග අමනාපයකින් පසුවූ බව පැහැදිලි වී ඇති බවය.
මේ හේතුවෙන් අදාළ ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු බවට සාක්ෂි මගින් තහවුරු වී ඇති බව කී බහුතර විනිසුරුවරු ඒ අනුව මරණීය දණ්ඩනය පැනවීමට තීන්දු කළහ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරුවේ, 2015 වසරේ මාර්තු මස 03 වෙනිදාය.
එහිදී, නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කරනු ලැබූ අධිචෝදනා සංඛ්‍යාව 17 ක් විය. මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා රැසක් ඊට ඇතුළත් විය.
2011 වසරේ ඔක්තෝබර් මස 8 වෙනිදා පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව කොලොන්නාව ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමකදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය යාමෙන් පසු ඊට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ, චෝදනා පවත්වා ගෙන යාම සඳහා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවය.
2015 අප්‍රේල් 01
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමට අදාළ චූදිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනෙකුට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ 2015 වසරේ අප්‍රේල් මස 01 වෙනිදාය. ඒ, අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.
2015 අගෝස්තු 04
දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබුවේ, 2015 අගෝස්තු මස 04 වෙනිදාය.
විනිසුරු මඩුල්ලේ සාමාජිකයන්
- ශිරාන් ගුණරත්න - විනිසුරු මඩුල්ලේ සභාපති
- පද්මිණී රණවක ගුණතිලක
- එම්.සී.බීඑස්. මොරායස්
2015 අගෝස්තු 06
අදාළ නඩු විභාගය 2015 වසරේ අගෝස්තු 06 වෙනිදා කොළඹ මහාධිකරණයේදී ආරම්භ වූ අතර, විත්තිකරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
2011 ඔක්තෝබර් මස 08 වෙනිදා අංගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමකට සම්බන්ධ වී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම, රාජු උරුගේ ගාමිණි නමැත්තා ඝාතනයට තැත් කිරීම, එදින ඡන්දය භාවිත කිරීමට පැමිණ සිටි පිරිස ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බිය ගැන්වීම, නීති විරෝධී රැස්වීමකට සම්බන්ධවීම ඔවුන්ට එරෙහි චෝදනා අතර විය.
අදාළ සියලු චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ අධිකරණය හමුවේ කියා සිටියහ.
මේ අතර මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ 'යහපාලන ආණ්ඩු' සමයේ එවක අමාත්‍යවරයෙකුව සිටි රන්ජන් රාමනායක සහ ආණ්ඩුවේ ඇතැම් පාර්ශව ඉහත කී නඩු විභාගයට බලපෑම් කර ඇති බවට 2020 ආරම්භයේ චෝදනා එල්ල විය. ඒ රන්ජන් රාමනායක සහ මහාධිකරණ විනිසුරන් අතර සිදු වූ බව පැවසෙන දුරකථන සංවාද ඇතුළත් හඬ පට අන්තර්ජාලය වෙත මුදා හැරීමේ සිදු වීමත් සමගය.
කවුද මේ දුමින්ද සිල්වා?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවෙනි අදියරයේදී ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළේය. එවක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය.
දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියට අවතීර්ණ වූයේ, එක්සත් ජාතික පක්ෂය හරහාය. 2004 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.
එම අවධියේ ඔහුට එරෙහිව ළමා අපචාර චෝදනාවක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විනය පරීක්ෂණයක් ද පැවැත්විය.
ළමා අපචාර සම්බන්ධයෙන් වූ චෝදනාව දුමින්ද සිල්වා තරයේ ප්‍රතික්ෂේප කළේය.
දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූයේ, 2007 වසරේදීය.
ඒ අතරතුර, ළමා අපචාර සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහි නඩුව එවක නීතිපති මොහාන් සිල්වා ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ද නිර්මාණය විය.
ඒ සම්බන්ධයෙන්, එවක අග්‍ර විනිශ්චයකාර අසෝක ද සිල්වා බීබීසී සංදේශය වැඩසටහන සමග පැවසුවේ, දුමින්ද සිල්වාට එරෙහිව සාක්ෂි තිබුණේ නම් එවක නීතිපති මොහාන් සිල්වා විසින් එම නඩුව ඉල්ලා අස්කර ගනු ලැබීම "වැරදි" අතර නීතිපතිවරයාට එවැනි බලයක් නොමැති බවය.
මේ අතර, ජනප්‍රිය නිළියක වූ අනර්කලී ආකර්ෂා සහ ඇයගේ මව ඝාතනය කරන බවට දුමින්ද සිල්වා තර්ජනය කළ බවට චෝදනා කරමින් අනර්කලී ආකර්ෂා 2008 වසරේදී අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.
මීට අමතරව, කොලොන්නාවේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් ද එවක ඔහුට එරෙහිව දැඩිව චෝදනා එල්ල විය.
අදාළ චෝදනා දුමින්ද සිල්වා ප්‍රතික්ෂේප කරයි.
මේ අතර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගය පැවති වකවානුවේ මාස කිහිපයක් දුමින්ද සිල්වා සිංගප්පූරුවේ සිට ප්‍රතිකාර ලබන බවට අධිකරණයට කරුණු වාර්තා කෙරිණ.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එවක පැවති මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ඔහු බැලීමට සිංගප්පූරුවට ගිය බවට ද මාධ්‍ය වාර්තාවල දැක්විණ.
මේ ගැනත් කියවන්න:








