දුමින්ද සිල්වා ගේ බැංකු ගිණුම් 'පරීක්ෂා කරන්න'

ඡායාරූප මූලාශ්‍රය, Newsfirst
- Author, අසාම් අමීන්
- Role, බීබීසී වාර්තාකරු, කොළඹ
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අයත් සියලු ම බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙස අධිකරණය නියෝග කළ බව පොලිසිය පවසයි.
පසුගියදා අත්අඩංගුවට පත්වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරාම් කරුවකු බව පැවසෙන සමන්ත කුමාර නොහොත් 'වෙලේ සුදා' විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබා දුන් බව පරීක්ෂණවලදී හෙළිවීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ.
2012 වසරේ සිට 'වෙලේ සුදා' යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ශ්‍රී ලංකාවට මත්කුඩු කිලෝග්‍රෑම් 1000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කොට රුපියල් ලක්ෂ 80,000 අධික මුදලක් උපයා ගන්නට ඇතැයි හෙළිවුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම මුදල්වලට සිදුවූ දේ පිළිබඳව සොයා බැලීමේදී ඔහුත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාත් අතර යම් මුදල් ගණුදෙනුවක් සිදුවී ඇතැයි හෙළි වූ බව අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
භාරත ලක්ෂමන්
"ඒවගේම දුමින්ද සිල්වා යන අය පසුගිය දිනක අතුරුගිරිය ප්‍රදේශයේදී මිය ගිය කුඩු ලාලිත යන අයගෙන් මුදල් ලබාගත් බවත් හෙළිවී තිබෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේය.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට අදාලව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා රටින් පිටවීම වළක්වමින් දී තිබෙන අධිකරණ නියෝගය බලපවත්වන කාලසීමාව දීර්ඝ කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
ගිණුම් පරික්ෂා කිරීමෙන් පසු තවදුරටත් කරුණු අනාවරණය වුවහොත් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
පොලිසිය එල්ල කරන චෝදනාව පිළිබඳව විමසීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇමතීමට සංදේශය ගත් උත්සාහය සාර්ථක නොවීය.
ශ්‍රී ලංකා බලධාරීන් විසින් පකිස්ථානයේ දී අත්අඩංගුවට ගැනුණු 'වෙලේ සුදා' නමැති සැකකරු පසුගියදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබිණ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු සමඟ මුදල් හා දේපළ ගණුදෙනු සිදු කළ බවට සැකකෙරෙන හිටපු පොලිස්පතිවරයකු හා පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පිළිබඳවත් තොරතුරු හෙළි වී තිබේ.








