දූෂණ චෝදනා යටතේ හිටපු ආයෝජන ප්‍රවර්ධන ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනට නඩු

Lakshman Yapa Abeywardana

ඡායාරූප මූලාශ්‍රය, Lakshman Yapa Abeywardana

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද (ජූනි 30) අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ය.

ඒ, 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමිනි.

අල්ලස් කොමිසම විසින් මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ විත්තිකරුවන්ට මෙම අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරිණි.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය විනිසුරුවරයා විමසා සිටියේ ය.

එම අවස්ථාවේ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ සඳහන් කළේ, විත්තිකරුවන් සුදුසු ඇපකරුවන් මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් මිලියනය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙස ද නියම කළේ ය.

එම අවස්ථාවේදී විත්තිකාර ජයන්ත එදිරිසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බව කියා සිටියේ ය.

එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කළේ, විත්තිකරුවන්ට චෝදනා කියවා දීමෙන් අනතුරුව එම මූලික විරෝධතා මතු කරන ලෙසයි.

පසුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 20 වන දා කැඳවීමට ද නියම විය.

විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 5ක්

මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වන දා ජාතික පුවත්පත් කිහිපයක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා සංඛ්‍යාව 5 කි.

සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21ක් ද ඉදිරිපත් කර තිබේ.