ජනාධිපති සමාව යටතේ සැකකරුවෙකු මුදා හැරීම: අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප

Anuradhapuraya Magistrate court
    • Author, බීබීසී සිංහල

අනුරාධපුර මහාධිකරණයේ පැවති නඩුවක විත්තිකරුවෙකු වෙසක් පොහොයදා ජනපති පොදු සමාව යටතේ නිදහස් කර ඇතැයි සිය අත්සනින් ලේඛනයක් ඉදිරිපත් කර විත්තිකරුවෙකු නිදහස් කර මුදා හැරීමට අදාළ නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ අද දින [ජූනි 23] කැඳවූ අවස්ථාවේදී විත්තිකාර අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග කළේ ය.

දෙසතියක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සැකකාර අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න රුපියල් ලක්ෂ 5ක් වටිනා ශරීර ඇප දෙකක් හා පවුලේ ළඟ ම ඥාතියෙකුගේ ඇපයක් මත මුදා හැරුණි.

විදෙස් ගමන් තහනමක්

පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට ද සැකකාර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට විදේශ ගතවීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය.

සැකකරුට විදෙස් ගමන් බල පත්‍රයක් නොමැති නම් ඒ බව පැය 24 ක් ඇතුළත දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දෙන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියෝග කරනු ලැබී ය.

ලබන අගෝස්තු මස 04 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අධිකරණය නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් දීර්ඝව කරුණු දක්වමින්, සැකකරු ඇප මත මුදා හැරියහොත් විමර්ශනවලට බලපෑම් එල්ල විය හැකි බව පවසමින් ඔහුට ඇප ලබා නොදෙන ලෙසත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියා ය.

සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද දීර්ඝව කරුණු දක්වමින් අධිකරණයනේ ඉල්ලා සිටියේ ඕනෑ ම ඇප කොන්දේසියක් මත සිය සේවාදායකයා මුදා හරින ලෙස ය.

දෙපාර්ශවය ම දීර්ඝව කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය සැකකරු යළි රිමාන්ඩ් කර ලෙස රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කෙරිණි.

සැකකාර අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ කූඨ ලේඛනයක් සකස් කිරීම, සිරකරුවෙකුට පළා යාමට ආධාර අනුබල දීම සහ රජය අපකීර්තියට පත් කිරීම යන චෝදනා යටතේ ය.

මෙතෙක් සිදුවූයේ කුමක් ද?

විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න අනුරාධපුර මහාධිකරණය හමුවේ මූල්‍ය වංචා චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් සිරදඬුවම් නියම වීම

විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්නට වෙසක් පොහෝ දින ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දීම

විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස ලබා ඇතැයි අනුරාධපුර මහාධිකරණය හමුවේ කරුණු අනාවරණය වීම.

"ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව" යන ශීර්ෂය යටතේ ජනාධිපති ලේකම්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීම

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී මොහාන් කරුණාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී මොහාන් කරුණාරත්න ජූනි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම

Image copyright by Department of Prisons

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ජූනි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම

Image copyright by Department of Prisons