ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සිට ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ කෙටුම්පත දක්වා

රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉවත් කර පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා 2023 මාර්තු 07 වන දින කොළඹදී පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල කාලතුවක්කු සහ කඳුළු ගෑස් භාවිතා කරයි

ඡායාරූප මූලාශ්‍රය, Pradeep Dambarage/NurPhoto via Getty Images

    • Author, බීබීසී සිංහල

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) දේශීයව මෙන් ම ජාත්‍යන්තරව ද විවේචනයට ලක්වන නීතියක් ලෙස හැඳින්විය හැක.

විවේචකයින් පෙන්වා දෙන්නේ රජයන් විසින් මෙම පනත, ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සැක කරන අයට අමතරව දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට යොදා ගන්නා බවයි.

වර්තමාන පනත, තාවකාලික විධිවිධාන පනතක් ලෙස සම්මත කරගත්ත ද දශක 4ක් තිස්සේ විරෝධතා මැද ක්‍රියාත්මක වෙමින් තිබේ.

පැවති රජයන් විසින් එය අහෝසි කර නව නීති ගෙන ඒමට ගන්නා ලද උත්සාහයන් සාර්ථක නොවූ අතර එම කෙටුම්පත් ද විවේචනයට ලක් විය.

තාවකාලික පනතක් ලෙස ගෙනා PTA

දැනට ක්‍රියාත්මක 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තාවකාලික විධිවිධාන පනතක් ලෙස සම්මත කරගත් එකකි.

එම තාවකාලික පනත වසර තුනකට පසුව 1982 වසරේ දී ස්ථිර නීතියක් ලෙසින් එවක පැවති රජය විසින් සම්මත කරගන්නා ලදී.

එම පනත 1982 අංක 10 දරන ත්‍රස්තවාදය වැළැක්විමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත, 1988 අංක 22 දරන ත්‍රස්තවාදය වැළැක්විමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත සහ, 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්විමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත ලෙස සංශෝධනයට ලක් විය.

මෙම නීතිය මඟින් සාමාන්‍ය නීතිය ඉක්මවා යමින් පොලිසියට සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට, අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට අදාළ විශේෂ බලතල පැවරිණි.

කෙටුම්පතින් අවසන් වූ CTA සහ ATA

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය සහිතව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරගත් 31/1 යෝජනාවේද, "මහජන ආරක්ෂක පනත සමාලෝචනය කිරීමට හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමටත්, ඒ වෙනුවට වත්මන් ජාත්‍යන්තර යහ පරිචයන්ට අනුකූල ත්‍රස්ත මර්දන නීති පැනවීමටත් ශ්‍රී ලංකා රජයේ පොරොන්දුව පිළිගනිමු," යන්න සඳහන්ව තිබිණි.

ඒ අනුව 2018 වසරේ දී එවක යහපාලන රජය විසින් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත (CTA - Counter Terrorism Act) හඳුන්වා දෙන ලදී.

එම පනත් කෙටුම්පතින් ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පවසමින් පාර්ශව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන ලද අතර, පනත් කෙටුම්පතේ වගන්ති හතරක් හැර ඉතිරි වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් අනුමත කිරීම ප්‍රමාණවත් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වී නීතියක් බවට පත්වූයේ නැත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී වර්තමානයේ පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට උත්සාහ කළ අතර එය ද ඉදිරියට ගමන් කළේ නැත.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්විමේ පනතට විකල්පයක් ලෙස ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA - Anti-Terrorism Act) 2023 වසරේ මාර්තු මාසයේ දී ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධියට පත් කළේ ය.

එම පනත් කෙටුම්පත හරහා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව පවසමින් එය අභියෝගයට ලක්කර පෙත්සම් 3කට වැඩි ගණනක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය.

පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ඒවා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතු බවටත්, එක් වගන්තියක් විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කර තිබිණි.

කෙසේ වෙතත් එම වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජිත පරිදි සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවය ඉවත් වන බව එම තීන්දුවේ දක්වා තිබේ.

කෙටුම්පතේ සඳහන් තවත් එක් වගන්තියක් හරහා ව්‍යවස්ථාව උල්ලංඝනය වන බැවින් එය තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.

ප්‍රතිත්‍රස්ත පනතට මෙන්ම ත්‍රස්ත විරෝධී පනතට දේශීය මෙන් ම ජාත්‍යන්තර විරෝධය එල්ල වූයේ ඒවා පවතින නීතිය ඉක්මා යමින් මානව අයිතීන් උල්ලංඝණය වන බවට පවසමිනි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ කෙටුම් පත

ජාතික ජනබලවේගය දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අහෝසි කරන බවට සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු විය.

"ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දනකාරී අණ පනත් අහෝසි කර සියලු ජනතාවගේ නිදහස සහතික කිරීම," යනුවෙන් පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇත.

එම ප්‍රතිපත්තිය වෙනස් කරමින් ත්‍රස්ත පනත අහෝසි කිරීම වෙනුවට වෙනත් පනතක් වත්මන් රජය විසින් හඳුන්වා දීමට පියවර ගනිමින් සිටින අතර එම කෙටුම්පත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (Protection of the State from Terrorism Act-PSTA) ලෙස නම් කර ඇත.

ඒ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කර ඇති අතර, පෙබරවාරි 28 වන දා තෙක් ඒ සඳහා කල් ලබා දී ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, මීට මාස කිහිපයකට පෙර ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වතුන් 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් එම කෙටුම්පත සකස් කර ඇති බව ය.

මේ දිනවල එම කෙටුම්පතට මහජන අදහස් විමසීම සිදුවන අතර, එය 2026 පෙබරවාරි 28 දක්වා විවෘත බව අධිකරණ අමාත්‍යංශ වෙබ් අඩවියේ සඳහන් වේ.

කෙසේ වෙතත් එම කෙටුම්පතට ද විවිධ පාර්ශවලින් විරෝධය එල්ල වෙමින් පවතින බව දැකිය හැක.

මහජන අදහස් විමසන කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව බහුවිධ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක එම කෙටුම්පත මහජන අදහස් ලබා ගැනීමට ඉදිරිපත් කිරීම ගැටලු මතු කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

එවැනි සන්දර්භයක් ඕනෑම යෝජිත නීති සම්පාදනයකට අර්ථවත් මහජන සහභාගීත්වය සීමා කරන අතර සීමිත කාලය ඇතුළත් සහ විනිවිද පෙනෙන නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට තවදුරටත් බාධා කරන බව ඔවුහු අවධාරණය කරති.

පනත් කෙටුම්පත සම්බන්ධව මහජන අදහස් විමසීමට රජය ගත් තීරණය අගය කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඒ සඳහා ලබා දී ඇති කාලය දිර්ඝ කරන ලෙස ඉල්ලා සිටියි.

ත්‍රස්තවාදී වැරදි සහ අනෙකුත් වැරදි, සන්නද්ධ හමුදා හෝ වෙරළ ආරක්ෂයින් විසින් සිදු කරන අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම, තහනම් නියෝග සහ ඇඳිරි නීතිය සහ තහනම් ස්ථාන පිළිබඳව පවතින ගැටලු සිය නිවේදනයෙන් විස්තර කර තිබේ.

'ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස් අයිතිවාසිකම්වලට බරපතල තර්ජනයක්'

"ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත හරහා දැනට අසම්පූර්ණව හෝ ආරක්ෂා වී පවතින ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස් අයිතිවාසිකම්වලට බරපතල තර්ජනයක් එල්ල කරමින් ඉතිහාසයේ පැවති අඳුරු යුගයන් වෙත රට යළිත් රැගෙන යාමට වර්තමාන රජය දරන ප්‍රයත්නය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළීකුලෙන් යුතුව හෙළා දකිමු," යැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ත්‍රස්තවාදය අර්ථ දැක්වීම, දිගු කාලීන රඳවා තබා ගැනීම, නීතිය බලාත්මක කිරීමේ මිලිටරිකරණය, පුළුල් විධායක බලතල අපයෝජනය, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මර්දනය සම්බන්ධව එම සංගමය සිය නිවේදනයේ දක්වා ඇත.

"මෙම පනත් කෙටුම්පතෙහි නීති සම්පාදනය තුළ බරපතල විධිවිධාන අඩංගු වීම මගින් පුරවැසියන්ගේ ව්‍යවස්ථාපිත නිදහසට සහ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට නිගරු කරමින් කෙසේ හෝ රාජ්‍ය බලය පවත්වාගෙන යාමට ප්‍රමුඛත්වය දී ඇති බවක් පෙන්නුම් කරයි," යනුවෙන් නිවේදනයේ සඳහන් වේ.