ඔන්ලයින් ආරක්ෂණ පනතට කරන්න යන දේ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය රජය සමයේ සම්මත කළ දැඩි මතභේදයට තුඩු දුන්, 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත'ට නව සංශෝධන කීපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
නීතිපතිවරයා විසින් මෙම දැනුම් දීම කරනු ලැබුවේ, අදාළ පනත සම්මත කර ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද (පෙබරවාරි 05) කැඳවූ අවස්ථාවේදී ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න විසින් මෙම දැනුම්දීම කරන ලදී.
ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක්

ඡායාරූප මූලාශ්‍රය, SCREENSHOT
පාර්ශව කිහිපයක් විසින් ගොනුකරන ලද පෙත්සම අද (පෙබරවාරි 05) එස්. තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මේ වන විට සම්මත කර ඇති, 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත'ට සංශෝධන කීපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇති බව ය.
ඊට අදාළව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් ඔහු දැනුම් දී සිටියේ ය.
එම පනතට පසුගිය රජය සමයේ ද සංශෝධන ගෙන ඒමට පියවර ගෙන තිබුණ නමුත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග ම එම කටයුතු අඩාළ වූ බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී පැවසුවේ ය.
මෙහිදී, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනානි දයාරත්න සහ ජනාධිපති නීතීඥ විරාන් කොරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම පනත සම්මත කර ගත් ආකාරය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කළ බව ය.
පෙත්සම සලකා බැලීම ජූනි 23 වන දා
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ, අදාළ පනතට සංශෝධන ගෙන ඒම සම්බන්ධයෙන් රජය කටයුතු කරමින් සිටින නිසා එහි ඉදිරි ප්‍රගතිය සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සුදුසු බව ය.
ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම ජූනි මස 23 වන දා දක්වා කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලදී.
පෙත්සම්කරවන් කියා සිටින්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව එහි ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා කරමින් විවිධ පාර්ශව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කළ බවයි.
එම පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පනත පාර්ලිමේන්තුවේදී සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කරන්නේ නම්, ඊට සිදු කළ යුතු සංශෝධන ගණනාවක් රජය වෙත යෝජනා කර තිබූ බවත් පෙත්සම්කරුවන් පවසන ලදී.
එහෙත්, එම පනත සම්මත කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ නිර්දේශ ගණනාවක් ම ඊට ඇතුළත් කිරීමට එවකට රජය කටයුතු නොකළ බව චෝදනා කරන පෙත්සම්කරුවෝ, ඒ අනුව අදාළ පනත නිසියාකාරව නීත්‍යනුකූලව සම්මත වී නොමැති බව ද පවසති.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සන්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
පෙත්සම්වල පසුබිම කුමක් ද?
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත 2024 පෙබරවාරි 01 වන දා සිට බලාත්මක වූයේ එම පනත් කෙටුම්පතට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය අත්සන යොදා සහතිකය සටහන් කිරීමත් සමග ය.
ඒ සමග 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස මෙය බලාත්මක විය.
මෙම පනත් කෙටුම්පත පසුගිය 2024 ජනවාරි 24 වන දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාමූහික ප්‍රයත්නයක් ලෙස, ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන සහ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත විවෘත ලිපියක් යොමු කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග අකුරට ම පිළිපදින තුරු ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් වළකින ලෙස එම ලිපිය යොමු කරමින් ඔවුන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඊට අමතරව දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ද මෙම කෙටුම්පතට අත්සන් කිරීමෙන් වළකින ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින ලදී.
එවකට කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මෙම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත බලාත්මක කරමින් සිය සහතිකය යොදනු ලැබුවේ, එවැනි ඉල්ලීම් රැසක් මධ්‍යයේ ය.














