2026 වසරේ ආණ්ඩුව මුහුණ දෙන දැවැන්ත අභියෝග 10ක්

අනුර දිසානායක සහ හරිනි අමරසූරිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කුමුදු ජයවර්ධන

අභියෝග රැසක් මැද 2025 වසර ගෙවා දැමූ රජය 2026 වසරට පා තබන්නේ, තවත් අභියෝග රැසකට මුහුණ දෙමිනි.

රටේ ඉදිරි පැවැත්ම මෙන් ම, රජයේ පැවැත්ම ද ඔවුන් එම අභියෝගවලට මුහුණ දෙන ආකාරය මත රඳා පවතිනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

විශ්ලේෂකයින්ගේ මතයන් අනුව වත්මන් රජය 2026 වසරේදී මුහුණ දෙන අභියෝග මොනවා ද? යන්න මෙම ලිපියෙන් විග්‍රහ කෙරේ.

මෙහිදී, රජය මුහුණ දීමට නියමිත අභියෝග ආර්ථික, දේශපාලනික සහ සමාජයීය වශයෙන් වර්ගීකරණය කර ඇත.

ආර්ථික අභියෝග

වත්මන් රජය 2026 වසරේදී ආර්ථික අභියෝග කිහිපයකට මුහුණ දීමට නියමිත බව විශ්ලේෂකයින්ගේ අදහස යි.

1. 'ආර්ථික වර්ධනය 7%ක් කර ගන්න බැහැ'

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වූ මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දුන්නේ, ආණ්ඩුව අපේක්ෂා කළ පරිදි ආර්ථික වර්ධනයක් 2026 වසරේදී සිදු නොවනු ඇති බව ය.

ඔහුගේ අදහස අනුව, ආණ්ඩුව මුහුණ දෙන පළමු ආර්ථික අභියෝගය එය යි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ආණ්ඩුව හිතුවා ආර්ථික වර්ධනය යි, ආර්ථික ස්ථායීතාව යි දෙක ම ඇති කර ගන්න පුළුවන් වෙයි කියලා. ආණ්ඩුව බලාපොරොත්තු වුණා ආර්ථික වර්ධනය 7%ක් දක්වා ඉහළ යයි කියලා. ඒක ජනාධිපතිතුමා අයවැය කතාවෙදිත් කිව්වා. 2020, 2021 වසරවල ඇති වුණ ආර්ථික අර්බුදය ක්‍රමානුකූලව නැති වෙලා යාවි කියලා ආණ්ඩුව හිතුවා. දැන් මේ දිට්වා කුණාටුවෙන් වුණේ මොකක් ද? ලංකාවේ ආර්ථිකයට විශාල පසුබෑමක් ඇති වුණා. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලටත් ඒක බලපාල තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන විදිහට ආර්ථික වර්ධනයක් ඇති වෙන්නෙ නෑ ලංකාවෙ. අයවැය පරතරය මේක නිසා වැඩි වෙනව. ඒ නිසා ලංකාවේ ආර්ථික පසුබෑම තව අවුරුදු දෙක තුනක් පවතිනවා."

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ, දිට්වා සුළි කුණාටුව ඇති වීමට පෙර ඉදිරිපත් කළ අයවැය වෙනසක් නොකර සම්මත කර ගැනීම හරහා රජයට 2026 වසරේ ආර්ථික අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවන බව ය.

"2026ට අයවැය සකස් කරන්නෙ 2026 සාමාන්‍ය ආර්ථික තත්ත්වයක් තියෙයි සහ 2025ට සාපේක්ෂව 7%ක විතර ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගන්න පුළුවන් කියන උපකල්පනය උඩ තමයි. හැබැයි අයවැය ඉදිරිපත් කරල ටික දවසකින් අයවැය සම්මත වෙන්නත් ඉස්සෙල්ල සුළි කුණාටුවත් එක්ක විශාල හානියක් සිද්ධ වුණා. මේ රජය ඒ ගැන නොසලකා අර පරණ අයැවය ම සම්මත කර ගත්තා. සුළි කුණාටුව නිසා ඇති වුණ හානිය බැලුවොත් දළ වශයෙන් ඩොලර් බිලියන 6-7ත් අතර, රුපියල්වලින් ගත්තොත් රුපියල් බිලියන 1800ක් 2100ක් විතර. රජය කියනව ඒකෙන් 500ක් වෙන් කළා කියලා. ඒකෙන් අදහස් වෙන්නෙ ඊළඟ අවුරුද්දෙදි අපට ඕනෙ දළ වශයෙන් රුපියල් බිලියන 1300ත් 1600ත් අතර ප්‍රමාණයක්."

"ඉතින් අපි බලන්න ඕනෙ අපේ රටේ ආදායම කීය ද කියලා. අපේ රටේ ආදායම රුපියල් බිලියන 5300 යි. එතකොට බිලියන 5300ට අතිරේකව මේ වගේ විශාල වියදමක් ආවොත් ඒ කියන්නෙ අපේ රටේ සාමාන්‍ය රාජ්‍ය ආදායම වගේ 30%ක් 40%ක් හොයන්න ඕනෙ. විදේශ හරහා තාම ලැබුණෙ ඉතා ම සුළු මුදලක්. ඒ නිසා රජයට තියෙනවා ඊළඟ අවුරුද්දෙ මෙන්න මේ අතිරේක වියදම හොයා ගන්නෙ කොහොම ද? කියන අභියෝගය. ඒකට අලුත් බදු ගහනව ද? එහෙම නැත්නම් ණය ගන්නව ද? වියදම් කපා හරිනව ද? ඒ කියන අභියෝගවලට විසඳුම් රජයට හොයා ගන්න වෙනවා. ඒක තමයි රජය මුහුණ දෙන පළවෙනි ආර්ථික අභියෝගය."

2. 2027 වසරේ ණය ආපසු ගෙවීමේ අභියෝගය

රජයට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන තවත් ප්‍රධාන අභියෝගයක් වන්නේ, 2027 වසරේදී ණය ආපසු ගෙවීම ය.

"ඊළඟට ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයෙනුත් එනව බලපෑමක්. දිට්වා ව්‍යසනයට මුහුණ දීමත්, ණය ගෙවීමත් එකට කරන්න පුළුවන් ද?" යන අභියෝගයට රජය 2026 වසරේදී මුහුණ දෙනු ඇතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසයි.

එය යථාර්ථයක් කර ගැනීම අභියෝගාත්මක දුෂ්කර කටයුත්තක් බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැහැදිලි කළේ, මෙලෙසිනි.

"2027දී ණය ගෙවන ආර්ථිකයකට යන්න නම් 2026දී දළ විදේශ සංචිත අවම වශයෙන් ඩොලර් බිලියන 10.5කට වඩා තියෙන්න ඕනෙ. හැබැයි අපට අදටත් තියෙන්නෙ, 6.2ක විතර සංචිතයක්. මං දැක්කා පෙරේදා මේ රජය කියනවා 7.1කට වැඩි වුණා කියලා. නමුත් ඒ ගැන නිල ලේඛන තව ම නැහැ. ඒක එහෙම වුණා කියල හිතමුකො. එහෙම වුණත් මේ අවුරුද්දෙ ඩොලර් බිලියන 3.5ක විතර අතිරේක ආදායමක් හොයන්න ඕනෙ. ඒක විශාල අභියෝගයක්."

දේශපාලනික අභියෝග

මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙන්නේ, 2026 වසර ජාතික ජන බලවේග ආණ්ඩුවට දේශපාලනික වශයෙන් අතිශයින් අභියෝගාත්මක වසරක් බව ය.

3. විපක්ෂයේ විරෝධතාවලට මුහුණ දීම

2026 වසරේදී ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ ක්‍රියාකාරීත්වය උත්සන්න වනු ඇති බව ය.

"මේ අවුරුද්දේ විපක්ෂයේ කැම්පේන් එක උත්සන්න වෙනවා. එතකොට ආණ්ඩුවත්, විපක්ෂයත් අතර තියෙන ප්‍රතිවිරුද්ධතාව තියුණු වෙනව මේ අවුරුද්දෙදි. එතකොට අපට දකින්න පුළුවන්, ආණ්ඩුව සහ විපක්ෂය අතර සම්බන්ධය සතුරු සම්බන්ධයක් හැටියට තවදුරටත් පරිහානියට පත් වෙනව. රටේ අමාරුකමක් ඇති වෙන තරමට විපක්ෂයට හොඳ යි. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර තියුණු ගැටුමක් අවුරුද්ද පුරා ම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ තත්ත්වයට මුහුණ දීම ආණ්ඩුවට විශාල අභියෝගයක්."

4. ආණ්ඩුව සහ ජනමාධ්‍ය අතර ගැටුම

මේ අතර, ආණ්ඩුව සහ ජනමාධ්‍ය අතර ගොඩනැගෙන ගැටුම්කාරී තත්ත්වය ද ආණ්ඩුවට විශාල අභියෝගයක් වනු ඇතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දුන්නේ ය.

"ඊළඟට ආණ්ඩුවත් ජනමාධ්‍යත් අතර තියෙන ගැටුමත් උත්සන්න වෙනවා. ඒක දැනටමත් පටන් අරන්. ඒ කියන්නෙ මේ අවුරුද්දෙ සාමකාමී අවුරුද්දක් කියල මට නම් පේන්නෙ නෑ."

කෙසේ වෙතත්, මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා වත්මන් රජය නව වසරේ මුහුණ දෙන අභියෝග පිළිබඳව පැහැදිලි කළේ, වෙනස් ආකාරයකට ය.

5. පළාත් පාලන ආයතන, සමූපකාර, පළාත් සභාවල බලය තහවුරු කර ගැනීම

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දෙන්නේ, පළාත් පාලන ආයතන, සමූපකාර සහ පළාත් සභාවල බලය තහවුරු කර ගැනීම ආණ්ඩුව මුහුණ දෙන තවත් දේශපාලනික අභියෝගයක් බවයි.

"දේශපාලනික වශයෙන් බලපුවා ම අපි දැක්කා පහුගිය කාලෙ රජය ගොඩක් පළාත් පාලන ආයතනවල අයවැය පරදිනවා. සාමාන්‍යයෙන් අයවැය පරදින්න පුළුවන් අවුරුදු දෙක යි උපරිමව. එහෙම පැරදුණොත් ඒ පළාත් පාලන ආයතන විසුරුවන්න ඕනෙ. ඊළඟට සමූපකාර වගේ ප්‍රාදේශීය ඡන්ද විශාල ප්‍රමාණයක් පරදින්න පටන් අරන් තියෙනවා. ඒකෙන් මේ රජයේ ස්ථාවරභාවය විශාල වශයෙන් අස්ථාවරත්වයට ලක්වෙනවා."

මේ අතර, පළාත් සභා මැතිවරණය ජය ගැනීම ද වත්මන් ආණ්ඩුව මුහුණ දෙන තවත් දේශපාලනික අභියෝගයක් බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.

"ඊළඟට පළාත් සභා ඡන්දය තියන්න ඕනෙ. පළාත් සභාවෙ ජයග්‍රහණය රැක ගන්න බැරි වුණොත් කාඩ් කුට්ටම වැටෙනව වගේ තමයි. 2015 ආණ්ඩුවට වුණෙත් ඒක ම තමයි. වැටෙන්න ගියා ම වැටෙනව නවත්තගන්න බැරි වෙන්න. ඒ නිසා දේශපාලන ස්ථාවරත්වය රැක ගන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා."

6.'ජනතාව අපේක්ෂා කළ සාධාරණ යහපාලනය පවත්වාගෙන යාම අභියෝගයක්'

ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව ඔවුන්ගේ රජයක් යටතේ සාධාරණ සහ යහපාලන පරිසරයක් බලාපොරොත්තු වූ බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.

කෙසේ වෙතත්, ඇතැම් දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපයන් මගින් පැරණි දේශපාලන සංස්කෘතිය නැවත හිස ඔසවන පරිසරයක් මතුව ඇති අතර, එය නිවැරදි කර ගැනීම ආණ්ඩුව මුහුණ දෙන තවත් අභියෝගයක් වනු ඇති බව ඔහුගේ අදහස යි.

"අපි රජයෙන් බලාපොරොත්තු වුණා ඉතා ම සාධාරණ, හොඳ, යහපාලන පරිසරයක්. ඒත් පසුගිය කාලෙ ම අපට පේන්නෙ, ප්‍රාදේශීය මන්ත්‍රීවරු ජනතාවට ගහනව. පොලිසිය නීතිය නවනවා. අර පරණ සංස්කෘතිය ආයෙත් ඔළුව උස්සන පරිසරයක් තියෙන්නෙ. ඒක මේ රජයට එල්ල වෙන විශාල චෝදනාවක්. මේ කට්ටියගෙන් බලාපොරොත්තු වුණේ ඊට වඩා හොඳ දේශපාලන කළමනාකරණයක්. ඒක නිවැරදි කර ගැනීමත් විශාල අභියෝගයක් මේ රජයට."

7. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කිරීම

මේ අතර, ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම ද රජය මුහුණ දෙන දැවැන්ත අභියෝගයකි.

බලයට පත්වී වසරකට අධික කාලයක් ගත වී ඇතත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැත.

ඊට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා ව්‍යවස්ථාමය වෙනසක් සිදු කිරීමට ද රජයට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකට අධික බලයක් හිමි වී තිබේ.

එහෙත්, ඊට අදාළව මෙතෙක් සාධනීය පියවර ගත් බවක් දක්නට නොලැබේ.

මේ හේතුවෙන්, ආණ්ඩුවට බලයට පත්වීමට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම අභියෝගයක් බවට පත්ව තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ද වත්මන් රජය මුහුණ දෙන තවත් අභියෝගයකි.

බලයට පත්වීමට පෙර ඔවුහු එම පනත පවත්වාගෙන යාම නිර්දය ලෙස විවේචනය කළහ.

කෙසේ වෙතත්, එම පනත මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවට වත්මන් රජය ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතක් (Protection of the State from Terrorism Act) මේ වන විට ඉදිරිපත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කර ඇති අතර, පෙබරවාරි 28 වන දා තෙක් ඒ සඳහා කල් ලබා දී ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, මීට මාස කිහිපයකට පෙර ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වතුන් 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් එම කෙටුම්පත සකස් කර ඇති බව ය.

මහජන අදහස් විමසීමෙන් පසුව අදාළ කෙටුම්පතට සංශෝධන සිදු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විරෝධය පළ කරන අතර, එය ද රජයට අභියෝගයක් වනු ඇත.

සමාජයීය අභියෝග

මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා යන දෙදෙනා ම පෙන්වා දෙන්නේ, දිට්වා සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකාවට එල්ල වූ බලපෑම හේතුවෙන් සමාජයීය අභියෝගවලට ද ජාතික ජන බලවේග රජයට මුහුණ දීමට සිදුවනු ඇති බව ය.

8. ජනතාවගේ ජීවනෝපාය ගැටලු

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ව්‍යසනය හේතුවෙන් වින්දිතයින්ට වන්දි ගෙවීම, සහන සැලසීම ආදිය වෙනුවෙන් රාජ්‍ය වියදම් ඉහළ යන බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙයි.

ඊට අමතරව, රැකියා අහිමි වීම්, ජීවන තත්ත්වය පහත වැටීම්, භාණ්ඩ මිල ඉහළ යාම ආදිය හේතුවෙන් ජනතාව යම් අසහනකාරී තත්ත්වයකට පත්වීම වළක්වා ගැනීමට රජය විසඳුම් සෙවිය යුතු බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දුන්නේ ය.

9. වෙඩි තැබීම් අවම කිරීම

2025 වසරේ ජනවාර් 01 වන දා සිට එම වසරේ අගෝස්තු 18 වන දා දක්වා ශ්‍රී ලංකාවේ සිදුවූ වෙඩි තැබීම් පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා පොලිසිය බීබීසී සිංහල සේවය කළ ඉල්ලීමක් අනුව ලබා දී තිබේ.

එම වාර්තාවට අනුව එම කාලය තුළ වෙඩි තැබීම් සිද්ධි 73ක් පොලිසියට වාර්තා වී ඇත.

ඒ අනුව, අදාළ කාලයේ දින 230ක් තුළ සිද්ධි 73ක් වාර්තා වී තිබේ. එය ආසන්න වශයෙන් අනුපාතයක් ලෙස ගත් විට දින 3කට වරක් වෙඩි තැබීමක් සිදුව ඇතැයි ඇස්තමේන්තු කළ හැකි ය.

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය නිසා අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇති අතර, එය මෙරට සංචාරක කර්මාන්තයට ද ඍජුව බලපාන බව ය.

"ඒක හරහා ආරක්ෂාවක් නැති පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒක කොහොම ද වෙනස් කරන්නෙ. එහෙම නැත්නම් ලංකාවෙ සංචාරක කර්මාන්තයට පවා ඒක බලපානවා. ඒවා රජය නවත්ත ගන්න ඕන."

10. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභියෝග

අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දුන් පොරොන්දු ඉටු කිරීම ද මේ වන විට රජයට අභියෝගයක් වී තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය දැඩි අභියෝගයකට මුහුණ දී ඇති අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ විද්වතුන් පවසන්නේ, ආණ්ඩුව නිසි අගැයීමක් හෝ නියමු ව්‍යාපෘති කිසිවක් නොමැතිව හදිසියේ නව ප්‍රතිසංස්කරණ සිදු කිරීමට උත්සහ කරන බව ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින පරිසරයක 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට 'නුසුදුසු වෙබ් අඩවියක නමක්' ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් ද දැඩි ආන්දෝලයක් මතු වී තිබේ.

මේ වන විට, එම ගැටලුව සම්බන්ධයෙන් CID පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

නව ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩියුලවල තවත් බොහෝ දෝෂ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ, රජය ප්‍රමුඛතා හඳුනා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ පා සිටින බව ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට පෙර අදාළ සියලු පාර්ශව සමග ගැඹුරින් සාකච්ඡා කර වගකීම්සහගතව තීන්දු ගත යුතු බව ඔහු අවධාරණය කළේ ය.

මේ අතර, ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර විපක්ෂය නියෝජනය කරන සමයේ ඔවුන් දැඩිව හඬ නැගුවේ, අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක මුදල් ප්‍රතිශතයක් වෙන් කළ යුතු බවට ය.

එහෙත්, ඔවුන් ඉදිරිපත් කළ අයවැය දෙකේ ම එය ඉටු කිරීමට රජයට නොහැකි විය.

ඒ අනුව, එය ඉටු කිරීම ද වත්මන් රජයට අභියෝගයක් වී තිබේ.

මේ කරුණු සියල්ල සලකා බැලීමේදී පෙනී යන්නේ, 2026 වසර ජාතික ජන බලවේග රජයට අතිශයින් අභියෝගාත්මක වසරක් වනු ඇති බව ය. මේ වන විට ආණ්ඩුව සිය දෙවන අයවැය ඉදිරිපත් කරමින් දෙවන වසරට පා තබන අතර, බලයේ සිටින ආණ්ඩුවක ජනප්‍රියතාව අඩු වැඩි වීම සාමාන්‍ය තත්ත්වයකි.

දිට්වා සුළි කුණාටුව වැනි අනපේක්ෂිත ආපදාවන්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතු වන ආන්දෝලන, ආර්ථික වර්ධනය මන්දගාමී වීම, උද්ධමනය ඉහළ යාම ආදී ගැටලුවලට රජය විසඳුම් දෙන ආකාරය මත රජයේ ජනප්‍රියත්වය ස්ථාවර බව සහ තීරණය වනු ඇත.

ඒ අනුව මෙම සියලු අභියෝග වලට මුහුණ දෙමින් ජනතා අපේක්ෂා ඉටු කිරීමට 2026 වසරේදී ආණ්ඩුවට සිදුවනු ඇත.