පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීම: ආණ්ඩුව, වෘත්තීය සමිති, ගුරුවරුන් සහ දෙමාපියන් කියන්නේ කුමක් ද?

ආගමික වතාවත්වල නිරත වෙමින් සිටින පාසල් සිසුන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් පසුගිය දා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කළේ ය.

එහි දැක්වුණු එක් කරුණක් වූයේ, මෙම ප්‍රතිසංස්කරණ යටතේ 5 ශ්‍රේණියේ පාසල පවත්වන කාල සීමාවේ වෙනසක් සිදු කිරීම ය.

ඒ අනුව, එම ශ්‍රේණිය සඳහා පාසල පවත්වන වේලාව මිනිත්තු 30කින් වැඩි කිරීමට නියමිත ය.

එනම්, උදෑසන 7.30ට ආරම්භ වන පාසල 5 ශ්‍රේණියේ සිසුන් සඳහා අවසන් වන්නේ, ප.ව. 2.00ට ය.

2026 වසරේ නව පාසල් වාරයේ සිට 5 ශ්‍රේණිය සඳහා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

පසුව, වසරින් වසර මෙය ඉහළ ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ය.

ගුරු සංගම්වල විරෝධය

පාසල පවත්වන කාල සීමාව දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගුරු සංගම් රැසක් දැඩි විරෝධය පළ කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, පාසල් පවත්වන කාල සීමාව පැය භාගයකින් දීර්ඝ කිරීමට තීරණය කළේ කුමන පර්යේෂණයක් යටතේ ද යන්න අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කළ යුතු බව ය.

"පාසල් කාලය දීර්ඝ කරන්න අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරන්නේ ගුරුවරුන්ගෙන් කිසි ම දෙයක් අහන්නෙවත් නැතුව. අපි අහනවා මොන පර්යේෂණය අනුව ද මේ තීරණය ගත්තේ කියලා. මේ ගැන අපි අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇහුවා ම ඒකට උත්තරයක් නෑ. මේ තීරණය ගත්තේ මොන පර්යේෂණය සැලකිල්ලට අරගෙන ද කියලා අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කළ යුතු ම යි. මේ තීරණය නතර කළ යුතු යි. එහෙම කරන්න බැරි වුණොත් අපි දෙසැම්බර් නිවාඩුවෙන් පස්සෙ එක්දින වැඩ වර්ජනයකට යොමු වෙන්න තීරණය කරල තියෙනවා," ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

මේ අතර, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, මෙම තීරණය නතර නොකළහොත් සියලු ගුරු සංගම් එක්ව හෝ තනි තනිව ඊට එරෙහිව පෙළ ගැසෙන බව ය.

මේ අතර, බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ නම් හෙළි කිරීමට අකමැති ගුරුවරුන් කිහිප දෙනෙකු ද ප්‍රකාශ කළේ, ගුරුවරුන්ගේ අදහස් විමසීමකින් තොරව මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ය.

ඉගෙන ගන්න කාලය දීර්ඝ කිරීම විද්‍යානුකූල ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සාමාන්‍යයෙන් දරුවෙකුට අඛණ්ඩව අධ්‍යාපන කටයුතුවල නිරත විය හැකි කාල සීමාව වන්නේ, පැය 6ක කාලයක් බව විවිධ පර්යේෂණවලින් අනාවරණය කර තිබේ.

එම කාල සීමාව විවිධ රටවලට සාපේක්ෂව පැය 6 සිට 7 දක්වා සුදුසු බව පිළිගැනේ.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ අධ්‍යාපන ක්‍රමවේදය අනුව හඳුනාගෙන තිබුණේ, පාසල් අධ්‍යයන කාලය පැය 6කට සීමා කළ යුතු බව ය.

එහිදී, මිනිත්තු 40 කාලපරිච්ඡේද 8ක් දිනකට ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත්, නව ප්‍රතිසංස්කරණ යටතේ මිනිත්තු 50 කාලපරිච්ඡේද 7ක් දිනකට ක්‍රියාත්මක වනු ඇත.

අධ්‍යාපනඥයෙකු වන අධ්‍යාපන සේවා කොමිසමේ හිටපු සභාපති පද්මිණී රණවීර බීබීසී සිංහල සේවයට පැවසුවේ, කාලපරිච්ඡේදයක කාලය සහ පාසල් කාලය දීර්ඝ කිරීම විද්‍යානුකූල නොවන බව ය.

"පැය භාගයකින් පාසල් කාලය දීර්ඝ කරන එක ලොකු ගැටලුවක් නොවන බව පෙනී ගියත්, ඒක බල කිරීමක් කරල අනිවාර්යයෙන් පාසල් කාලය දීර්ඝ කිරීම ළමයින්ට වගේ ම ගුරුවරුන්ටත් පීඩනයක් වෙන්න පුළුවන්. කොහේ හරි රටක ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් විද්‍යාත්මකව පර්යේෂණයක් නොකර මෙහෙ ඇති කරන එක අනුමත කරන්න බැහැ."

මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසුවේ, නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට පෙර යම් අත්හදාබැලීමක් කළ යුතු බව ය.

"කිසි ම අත්හදාබැලීමක් කරල නෑ. අඩුපාඩු ගැන හොයල බලල නෑ. අත්තනෝමතික විදිහට මේ වගේ තීරණ ගන්න බෑ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්."

'අතිකාල ගෙවීමක් කළ යුතු යි'- ගුරුවරුන්

මේ අතර, පැය භාගයකින් පාසල් කාලය දීර්ඝ කිරීමෙන් ගුරුවරුන්ට ද අසාධාරණයක් සිදුවන බවට ඇතැම් ගුරුවරු චෝදනා කරති.

මාතලේ ප්‍රදේශයේ පාසල් ගුරුවරියක පැවසුවේ, කාලය දීර්ඝ කිරීම පිළිබඳව දැඩි විරෝධයක් නැතත්, වැඩි වන කාලය සඳහා අතිකාල දීමනාවක් ලබා දිය යුතු බව සිය ස්ථාවරය බව ය.

"මම නම් දැනටමත් අතිරික්ත වැඩ ගොඩක් කරනවා. අපි පාසලෙන් යන්නේ පැයක් දෙකක් පරක්කු වෙලා. ඒ නිසා පාසල් කාලය දීර්ඝ කරන එක ලොකු ගැටලුවක් නෙවෙයි. ඒත් ස්වේච්ඡාවෙන් කරන දේ වගේ නෙවෙයි, නීතියක් දාල පාසල් කාලය දික් කරනවා නම් අපට ඒ සඳහා ගෙවීමක් කළ යුතු යි," ඇය පැවසීය.

මේ අතර, තවත් ගුරුවරුන් දෙදෙනෙකුගේ අදහස වූයේ ද, සාධාරණ දීමනාවක් ලබා දිය යුතු බව ය.

'පැය භාගයකින් වැඩි වෙන්නේ අලුත් කාලපරිච්ඡේද ක්‍රමය නිසා' - අධ්‍යාපන නියෝජ්‍ය ඇමති

පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට පදනම් වූයේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කාලපරිච්ඡේදයක කාලය මිනිත්තු 50ක් දක්වා දීර්ඝ කර ඇති හෙයින් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.

"අලුත් ක්‍රමය යටතේ කාලපරිච්ඡේදයක කාලය මිනිත්තු 50යි. ඒ වගේ කාලපරිච්ඡේද 7ක් ක්‍රියාත්මක කරන්න ගියා ම පැය 6ක කාලය ප්‍රමාණවත් නැති නිසයි පාසල 7.30 ඉඳන් 2.00 දක්වා පවත්වන්න තීරණය කළේ. අලුත් මොඩියුල් එක ක්‍රියාත්මක කරන්න මිනිත්තු 40ක් මදි."

මේ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීමේදී දැනුවත් කරන බවත්, පුහුණු සැසිවලට සහභාගි වන ගුරුවරුන්ගේ ප්‍රතිචාර විමසන බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

'පාසල ආරම්භ කරන වෙලාව පැය භාගයකින් පමා කළ යුතු යි'

මේ අතර, ඉහත අදහස් දැක්වූ මාතලේ ප්‍රදේශයේ පාසල් ගුරුවරිය පැවසුවේ, පාසල පවත්වන කාලය දීර්ඝ කිරීමකට වඩා කළ යුත්තේ, ආරම්භ කරන වේලාව පෙරවරු 8 බවට වෙනස් කළ යුතු බව ය.

ඇය පෙන්වා දුන්නේ, පෙරවරු 7.30ට පාසල් ආරම්භ කිරීම නිසා බොහෝ පාසල් දරුවන්ට නිදා ගැනීමට ඇති කාලය අඩු වන බව ය.

පාසල් ආරම්භ කරන වේලාව දරුවන්ගේ විවේකයට ඍජුව බලපාන බව ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමය පවසයි.

එම සංගමය පළ කර ඇති පර්යේෂණ වාර්තාවක දැක්වෙන්නේ, ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක පාසල් පෙරවරු 8.30ට ආරම්භ කරන බව ය.

අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට පාසල් දරුවන්ට නිසි විවේකයක් අත්‍යවශ්‍ය බව ද එහි සඳහන් වේ.

'විෂය බාහිර කටයුතුවලටත් බලපාන්න පුළුවන්'

මේ අතර, නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල පස්වරු 2.00ට අවසන් කිරීම පාසල් කාලයෙන් පසුව සිදු කෙරෙන ක්‍රීඩා පුහුණු ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ද බලපෑමක් වනු ඇතැයි පානදුර ප්‍රදේශයේ පාසලක ක්‍රිකට් පුහුණුකරුවෙක් පැවසීය.

"දැනටත් අපට සීමිත වෙලාවක් තියෙන්නෙ ක්‍රිකට් පුහුණුවීම්වලට. ළමයි ගොඩක් සහභාගි වෙනවා පුහුණු සැසිවලට. ඒ හැම කෙනෙකුට ම පුහුණු වෙන්න අවස්ථාවක් දෙන්න ඕන. දැනටත් අපට ඒකට වෙලාව මදි. පාසල් කාලය පැය භාගයකින් දික් වෙනවා කියන්නෙ අපට තවත් පැය භාගයක් අඩු වෙනවා. ඒක අපට ගැටලුවක්." ඔහු පැවසීය.